Monday, June 12, 2017

ඇඳලා කල් ගිය රෙදි වැරලි . . . නෑ මට වාවන්නේ . . !


සමහර සිංදු හදවතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරනවා කියනවා.

ඒත් අපිට සමහර වෙලාවට ඒක හරියටම තේරුම් ගන්න අමාරුයි කොයි විදිහටද ඒ සපර්ශය වෙන්නේ කියන දේ.

සමහරවිට අඬන්න හෝ හිනාවෙන්න බැරි උනු සමහර සිදුවීම් දිහා ආපහු බලද්දී දැනෙන වේදනාව හෝ අමුතු හැඟීම වෙන්න බැරිද?

මම හිතන්නේ ඒක හරියට . . .

ගොළු හදවත පොතේ සුගත් වීරසේකර එයාගේ දෙමව්පියෝ නැති බව හිනාවකින් කියද්දී ඒක අහලා කම්පනයට පත් උනු දම්මිට අඬන්න බැරි උනා වගේ දෙයක් ?

මාලනී බුලත්සිංහලගේ "රජ මැදුරක ඉපදී සිටියානම්" ගීතයේ කොටස් ඇහෙද්දී සිතේ මැවෙන අපූරු චිත්තරූප වලින් මැවෙන දේවල් දිහා ප්‍රේක්ෂකයෙක්ගේ ඇසින් බලද්දී දැනෙන හැඟීම් වගේ දෙයක් ?

"පුංචි පැටික්කන් මඟ දිග හඩවන සිල්ලර රසකැවිලි..
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී..
අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ..."

ඒ කොටස ඇහෙද්දී මට පුලුවන් පෙරහැර කාලෙට කෝට්ටේ රජමහ විහාරයේ ඉස්සරහා පාරේ මැදට වෙන්න ඉස්සර තිබුනු වතුර මලේ ගැට්ටේ වාඩිවෙලා දෙපැත්තෙන් යන එන මිනිස්සු දිහා බලන් ඉන්න ප්‍රේක්ෂකයෙක් වෙන්න.

පැට්‍රෝල් මැක්ස් වලින් හරි ජෙනරේටර් වල විදුලියෙන් එලිය උනු, පාර දෙපැත්තේ තොරොම්බල් කඩ වල සෙල්ලම් බඩු පාරේ යන එන පොඩි උන්ට අත වනනවා.

ඒ අතරින් පොඩි කොල්ලෙකුයි කෙල්ලෝ දෙන්නෙකුයි එයාලගේ අම්මලට දරන්න පුලුවන් උනු මුදලින් අරන් දුන්නු උක් පුරුක් ටිකක් සූප්පු කර කර යනවා,  යෞවන වයසේ ලස්සන කෙල්ලයි පොඩිම කෙල්ලයි අම්මගේ අත් දෙකේ එල්ලිලා, පොඩි කොල්ලා තාත්තගේ අතේ එල්ලිලා.

අර පුංචි ඇස් ලොකු ආයාසයෙන් ගන්නවා අර තොරොම්බල් කඩ වල එල්ලිලා අත වනන සෙල්ලම් බඩු දිහා දිහා නොබලා ඉන්න.

වතුර මල් පොන්ඩ් එකේ ගැට්ටේ ඉන්න ප්‍රේක්ෂකයාට හිතෙනවා "අනේ ඒ පොඩි උන් සෙල්ලම් බඩුවක් ඉල්ලලා පොලොවේ හැපි හැපී ඇඬුවා නම් කියලා"

"ඉද හිට මොලවන ලිපත් දනී පුත කැද රස සුනු සහලේ..
දිව බොදුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ..
ඇදලා කල් ගිය රෙදි වැරලි නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ."

ඒ කොටස ඇහෙද්දී මට පුලුවන් මධ්‍යම පාන්තික සාමාන්‍ය මිනිස්සු ජීවත්වෙන මාවතක් අද්දර පරන පහේ ගෙදරක ඉස්සරහා අඹ ගහක් පාමුල, පොඩි ලී කනු දෙකකට පිටපලුවක් ගහපු ලොවි බන්කුවක වාඩි වෙලා ඒ ගේ ඇතුලට එබෙන ප්‍රේක්ෂකයෙක් වෙන්න.

අර පෙරහැර පොළේ දැකපු පවුලම වගේ පේන්නේ.

පවුලේ තාත්තා දුර රැකියවකට ගිහින් ටික දවසකින් ඇවිත් නෑ වගේ හිතෙනවා.

පොඩි කොලුවා දුවලා ගිහින් මාවත කෙලවරේ සිල්ලර කඩෙන් පාන් ගෙඩියක් ගෙනත්.

ඒක හතරට කපලා පොල් සම්බෝල එක්ක ගිල දාලා පොඩි උන් ඉස්කෝලේ යන්න මිදුලට පනිනවා.

කොලු පැංචා සුදු ෂර්ට් එක නිල් කලිසමට උඩින් දාගෙන ඉන්නේ කලිසම ගෙවිලා හමගිහින් බව අනිත් අයට නොපෙනෙන්න වෙන්න ඇති.

"මට අලුත් කලිසමක් මහලා දෙනකම් ඉස්කෝලේ යන්න බෑ" කියලා ඇයි ඒ කොලුවා අම්මා එක්ක රන්ඩු නොකලේ? අර බන්කුවේ ඉන්න ප්‍රේක්ෂකයාට හිතෙනවා.

"රජ මැදුරක ඉපදී සිටියානම්
නුඹත් රජෙකි පුතුනේ..
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරියහනේ...
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ..."

අර ප්‍රේක්ෂකයා තාමත් අඹ ගහ පාමුල ලොවි බන්කුවේ වාඩිවෙලා අර පරන තාලේ කුලී ගෙදර දිහා බලන් ඉන්නේ. එතනින් නැගිටලා ගේ ඇතුලට යනවා දැන්.

සිංහල උළු හෙවිල්ලපු පරන තාලේ ටිකක් විසාලෙට පේන ගෙයක්

පඩි 4ක් 5ක් නැග්ග ගමන් ආවරණය නොකල ඉස්තෝප්පුවක්. වම් පැත්තේ ස්ටෝරු කාමරේ විදිහට පාවිච්චි කරන ඔෆිස් කාමරයක්.

ස්තෝප්පුවෙන් ඇතුල් උනාම සාලයක්. රතු පාටින් කුෂන් කරපු පුටු සෙට් එකක්. දකුනු පැත්තේ ජනේලේ ගාව කෑම මේසේයි පුටු 6යි.

දකුනු පැත්තේ කාමරයක්. නැදුන් ලීයෙන් හදපු පරන අල්මාරියක්, පොරවපු රෙද්ද පවා පිලිවෙලට තියෙන ඩබල් ඇඳක්. අර යෞවන වයසේ ලස්සන ළමස්සිගේ වෙන්න ඕන.

සාලේ ආරුක්කුවෙන් ගියාම තව කොටසක්. ඒකෙත් වම් කොනේ ඩබල් ඇඳක්. දකුනු පැත්තේ ටිකක් අඳුරු පොඩි කාමරයක්. ලොකු රෙදි ඉස්කිරිමක් තියෙන සින්ගල් ඇඳක් තියෙන, උසින් තියෙන ජනේලේ පාමුල පොත් තියපු පොඩි  මේසයක් තියෙන පොඩි කාමරයක්. අර කොලු පැංචන්ගේ. ප්‍රේක්ෂකයා අනුමාන කරනවා.

මැද කෑල්ලෙන් එහා කුස්සියට කලින් කොටසක්. ගෑස් ලිපක් මේසේ උඩ. වම් පැත්තේ එලියට යන්න දොර. දකුනු පැත්තේ දර ලිපක් තියෙන දුම්මැස්සක් තියෙන කුස්සියක්.

මහ වැස්සක් කඩන් වැටෙනවා.

වහලේ තැන් 5-6කින්ම වතුර බේරෙනවා.

සිංහල උනු හෙවිල්ලපු වහලේ ගෙවල් අයිති කාරයෝ කාලෙකින් රෙපෙයාර් කරලා නැද්ද කොහේද?

"අක්කේ මගේ පොත් මේසේ අල්ලන්න එන්ඩෝ, මේන් මෙතනත් තෙමෙනෝ" පොඩි කොලුවා කාමරේ ඉඳන් කෑ ගහනවා.

අම්මයි ළමයි ටිකයි තරඟෙට කුස්සියට දුව දුවා බාල්දි බේසම් විතක් නෙමේ ඇලුමිනියම් කොරස් මැටි ඇතිලි පවා තියෙනවා වතුර වැටෙන තැන් වලට.

ඒ තරඟේ ඉවර උනු ගමන් පොඩි උන් දෙන්නා මිදුලට බැහැලා මහ පීල්ලෙන් වැටෙන වතුර පාරට ඔලුව අල්ලනවා.

ඉස්තොප්පුවේ පුටුවක ඉඳන් පොඩි උන් දෙන්නා දිහා බලන් ඉන්න අර යෞවන වයේ දැරිවිගේ ඇස් වල ඇත්තේ වේදනාවක්ද?

පොඩි උන් දෙන්නට ඒක තේරුම් ගන්න බෑ. උන් වැස්සේ එක එකා තල්ලු කරමින් පීල්ලට ඔලුව අල්ලනවා.

ඒ සිදුවීම දුක් වෙන්න ඕන එකක්ද සතුටු වෙන්න ඕන එකක්ද?

අර ප්‍රේක්ෂකයාගේ හදවතේ ගැඹුරුම තැනින් ප්‍රශනයක් ඇහෙනවා.

අන්න එහෙම වෙන්න ඕන සමහර ගීත හදවතේ ගැඹුරුම් තැන් ස්පර්ෂ කරන්නේ.



රජ මැදුරක ඉපදී සිටියානම්
නුඹත් රජෙකි පුතුනේ..
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරියහනේ...
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ...

පුංචි පැටික්කන් මඟ දිග හඩවන සිල්ලර රසකැවිලි..
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී..
අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...

රජ මැදුරක...//

ඉද හිට මොලවන ලිපත් දනී පුත කැද රස සුනු සහලේ..
දිව බොදුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ..
ඇදලා කල් ගිය රෙදි වැරලි නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...

රජ මැදුරක...//

ගායනය : විශාරද මාලනී බුලත්සිංහල
පද රචනය : ලූෂන් බුලත්සිංහල
සංගීතය : එච්. එම්. ජයවර්ධන

9 comments:

  1. දුකා...
    මාත් කැමතිම සංවේදී ගීතයක් තමයි මේ. ඒ වචනවලට මාලනී බුලත් සිංහලයන් අපූරුවට හඬ වගේම හැඟීමත් මුහුකරලා තියෙනවා. දුකාගේ මේ ලියවිල්ලත් අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete
  2. මම ආසම සිංදු වලින් එකක්...

    ReplyDelete
  3. ගීතයක් හිත සංවේදී කළ තරම්... ශෝකී හැඟීමක් ඇති කරවන ගීතයක් එක අතකින් තවත් පැත්තකින් ජීවිතයට, මනුෂ්‍යත්වයට ඇල්ම බැඳීම වැඩි කරවන ගීතයක්...

    ReplyDelete
  4. මෙ නිර්මාණයේ දරාගන්න අමාරුම ටික තමා දරුවන්ගේ මැසිවිල්ලක් නැති කම..
    ජයවේවා..!!

    ReplyDelete
  5. ගීත වලට පුලුවන් හිත අස්සේ හිරවෙලා ඉන්න මනුස්සයව ඇහැරවන්න. සමහර ගීත තියනවා ගීත විතරක්ම නොවී ජීවිතයම විච්ච ඒවා. ඒත් ගැටලුව වෙන්නේ මේවා අහන වෙලාවට ඇහැරෙන අපේ හිතේ ඉන්න මනුස්සයව දිගින් දිගටම අපිත් එක්කම තියාගන්න අපේ තරඟය අපිට ඉඩනොදෙන එකයි දුකා.ඒ කාලේ හිත සංවේදිකරපු ගීතයක් මේ ලඟදී ඩවුන්ලෝඩ් කරගන ආපහු ආපහු අහනවා.

    ඔබ නැතුව ගියේ මටමයි
    මේ රටට නොවේ
    මහ පොලවට මිසක මිනිස් කමට
    පෙම්නොකරන රටට නෙමෙයි

    ඒ වෙලාවට හිතන්න ගන්නවා.ඒත් ඒ දේවල් ආපහු මතක්වෙන්නේ මේ වගේ ඒවා ආපහු කියවනකොටයි.

    මේ ලිපිය මෙච්චරම සංවේදීවෙන්න හේතුව අත්දැකීම් ඇසුරුකිරීමයි කියලා හිතුනට සමාවියන්

    ReplyDelete
  6. අපේ අම්ම ඉස්සර බොහෝ විට කියන සිංදුව.. දැන් නම් අම්ම සිංදු කියන්නේ නෑ... උඹ ඔය හිතෙන මවා ගත්ත පොඩි එකා මම කියල මොහොතකට හිතපන්.. මේ අම්ම ඒ දවස්වල මාව දැකපු විදිය..

    කොළරය ගෙවී ගිය නිල පැහැ කමිසේ හැටි..
    වියැකුණු කලිසමත් සත දහයක් නොවටී..
    කැරකුණු කෙහෙරැල්ල ගෙල තෙක් ඇතේ වැටි..
    එනමුදු කළු මැණික උඹ රූපයකි ඉටි..

    දැන් දෙන්න ගැලපෙනවා නේද?මේක අඩු වැඩි වශයෙන් අපේම සිංදුව.. උඹ දැකපු පවුලට වඩා බරපතල පවුලක් වීම විතරයි වෙනස..

    අදටත් ඔය සිංදුව අහන්නේ/ ඇහෙන්නේ ඒ අතීත කතාවත් එක්ක..

    සාහිත්‍යමය වශයෙන් ඔය සින්දුවේ යෙදෙන 'දිව බොජුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ' කියන පදේට මම බොහොම මනාපයි.. ඒකෙ දිව කියන වචනය වෙනස් අර්ථ තුනකින් එක ළඟ යොදාගෙන තියෙන අපූරුව!

    ස්තුතියි මේ පොස්ට් එකට!

    ReplyDelete
  7. ඒ සිංදුවට අමුණපු වචන ටික
    දැනුණ බොක්කටම

    ReplyDelete
  8. හැඩට රුවට සළු පිලිද නැතේ මට...එනමුදු අද ඔබෙ මනමාලිය මම..
    ඒක කියද්දිත් මට මැවෙන්නේ ආසාව තිබුනත් සාරියක් ගන්න වත් සල්ලි නැති අහිංසක දුප්පත් ජෝඩුවක් කසාද බදින සීන්ස් එකක්.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails