Wednesday, May 26, 2010

තී මට තී මට කියමින් බිඟු පෙල ඇය අවටම රඟතී . . . . !



මම පුංචි කාලේ ඉඳන්ම අපේ ගෙදර අය අතරින් අම්මයි මමයි කැමති බොහෝ වෙලාවට එක වගේ සිංදුවලට. වෙලඳ සේවයේ විකාශනය වුනු අසන්නන්ගේ ඉල්ලීම්, නිවේදක තෝරයි, අම්බිගා ගීතයෙන් ගීතය, ආරාධනා සවර දැහැන, හිංදී ගී පැය, පිබිදෙන ගායක පරපුර, අයි.ටී. එන් එකේ නිශාන්තය, යාත්‍රා . . රූපවාහිනියේ හද රැඳි ගී . . . ආදී ඒවා අපි දෙන්නගේම කැමතිම වැඩසටහන්.

අක්කා ඇහුවේ . . ඇහුවේ කිව්වට බැලුවේ අයි.ටී. එන් එකේ එහෙම නිතර ගිය ඉංග්‍රීසි සින්දු තමයි. නන්දා මාලනී, වික්ටර්, අමරදේව, සුනිල් එදිරිසිංහ මගේ ලෝකයේ වීරයෝ වෙන කලේ අක්කගේ ලෝකේ හිටියේ බෝයි ජෝර්ජ්, ජෝර්ජ් මයිකල්, පෝල් යන්ග්, මැඩෝනා, සින්ඩි ලෝෆර් වගේ කට්ටිය.

ඉංග්‍රීසි සින්දු අහන අයට සෙකන්ඩ් නොවී ඉන්න කියලා මමත් ඉඳලා හිටලා එකක් දෙකක් අහනවා . . කටපාඩම් කර ගන්න හදනවා. පෝල් යන්ග් ගේ "Love of the common peple" සිංදුව එහෙම ඒ කාලයේ පොඩ්ඩක් කටපාඩම්.



ඒ අතර දවසක් බෝයි ජෝර්ජ් ගේ කැමීලියන් සින්දුවේ වචන වැරදියට කියලා අක්කා මට හෙනම හෙන නෝන්ඩියක් දාපු හැටි තාම මතකේ තියෙනවා.

නංගී නම් මැරෙන්න හැඩුවේ මයිකල් ජැක්සන්ට . . ඒකත් මයිකල්ගේ සිංදුවලට තියෙන ආසාවටද නැත්නම් තාත්තා ඒවා අහන වෙලාවට බනින නිසා එකට එක කරන්න ඕන කමට අහන්න ආස වුනාද කියලා තාම මට ෂුවර් නෑ. හැබැයි එයා බෝයි සෝන්ලගේ, බැක්ස්ට්‍රී බෝයිස්ලගේ, ස්පයිස් ගර්ල්ස් ලගේ ජේලෝ (Jlo) ගේ සිංදු එහෙම බොහෝම ආසාවෙන් එකතු කරගෙන අහපු බව නම් මම දන්නවා.

අපි ට්‍රිප් යනකොට මම "ජීවන මේ ගමන සංසාරේ" සින්දුව එහෙම කියනකොට අක්කගේ ළමයින් එක්ක එකතු වෙලා "අපෝ 18වෙනි සියවසේ සිංදුනේ ඕවා" කියලා නංගීත් භාතියගේ ඉරාජ්ගේ සිංදු එහෙම කිව්ව වුනත් . . .මාමගේ ඔල්ඩ් හිට්ස් කියලා මගේ සිංදුවලට නෝන්ඩි දාපු අක්කගේ ලොකු කොල්ලා උගේ කැම්පස් එකේ යාලුවෝ ඒවා කියනවා අහලා තේරුම් අරගෙන මාමා අහන සින්දු "මාරයි" කියලා.

කොහොමින් හරි අපි හැමෝම එක එක වර්ගයේ සිංදු ඇහුවා . . වැඩක් කරන අතරේ සින්දුවක කෑල්ලක් මුමුන මුමුන හිටියා. ඒත් අපි දැකලා නෑ අපේ තාත්තා ආසාවෙන් සිංදු අහනවා කවදාවත්ම. අපි නිතරම තාත්තට බනිනවා "අපෝ අර මල ජරා දේශපාලනේ තමයි මෙයාගේ හොඳම විනෝදාංශේ . . ඔයා මෙලෝ රහක් නෑ නේ "කියලා .

දවසක් අහම්බෙන් මට ඇහුනා තාත්තා ගීතයක කොටසක් මුමුනනවා.

"ජීවන විල මැද වැජඹෙන කැකුලකි රූබර වූ යුවතී . . ."

අපි ඒක නෝට් කලා කියලා එයාට තේරුනාම අම්මගෙන් අහනවා "කවුද ඒයි ඒ සිංදුව කියන්නේ . . ඒක හරිම ලස්සනයි" කියලා.

"ඒක කියන්නේ සුජාතා අත්තනායක" කියලා පැනලා දුන්නු මම . . . සිංදු නාහන, ඒවට වැඩිය කැමති නැති, අපේ තාත්තාත් අහන්න නම් එයාගේ සිංදු ගොඩක්ම හොඳ ඇති කියලා හිතාගෙන . . . එදා ඉඳන් සුජාතාගේ සිංදුත් බොහෝම ආසාවෙන් අහන්න පටන් ගත්තා.

. . . .



සුජාතා වැඩිපුර සිංදු කියලා තියෙන්නේ චිත්‍රපටි පසුබිම් ගීත කියලයි මම හිතන්නේ. බලන්න මේ ගීත නිකන් අහලා පුරුදුයිද කියලා .. .

. . . ..

මේ මහ රෑ හමු වූ ස්ත්‍රිය චිත්‍රපටියේ ගීතයක්

ජීවන විල මැද වැජඹෙන කැකුලකි

ජීවන විල මැද වැජඹෙන කැකුලකි රූබව වූ යුවතී
තී මට තී මට කියමින් බිඟු පෙල ඇය අවටම රඟතී . .
ජීවන විල මැද වැජඹෙන කැකුලකි රූබව වූ යුවතී

ළහිරු රැසින් පිබිදෙන පියුමින් රොන් බී මත් වුන බඹරා
මියුරු හඳින් ඒ ගී නවතා යයි පියුබේ හද අඹරා
නෑ එන පාටක් නෑ එන පාටක් ළතැවෙයි පියුම අනේ
ආ මට කෑමක් ආ මට කෑමක් තවෙකෙක් බඳිති සෙනේ

අවරට යන හිරු සවසාට් බැස යයි ගුම් නද දැන් නොඇසේ
රසයට රැවටුනු නෙළුමද හැකිලෙයි පුන්සඳ දැක අහසේ
ඒකයි දෛවය නෙළුමේ ඒකද යුවතියගෙත් දෛවේ
දාකයි දෙකකයි පමනයි විසිතුර එය ජීවන මහිමේ

. . . ..

මේ ගීතය ඔක්කෝම හරි චිත්‍රපටියේ

ආදරේ මන්දිරේ

ආදරේ මන්දිරේ සඳළුතල එලිවෙලා
මීවිතේ මී පිරී පිටාරය එයි ගලා . . .

සුවඳ අරගෙන ඔබේ සුළඟ මාවෙත ඇදේ
සුහද කිම ඔබ පමා සුසුම් වැල් යයි හමා . .

ගඟක බිහිවන සුලී වැනිය හද සිතුවිලී
නයන සනහන පුරා කොහෙද මගේ පෙම්බරා . .

. . .

ජෝතිපාල සමඟ මේ ගීතය ගයා තිබෙන්නේ ස්වීප් ටිකට් චිත්‍රපටියට

ආවා පෙම්වතා යන්නේ

ආවා පෙම්වතා යන්නේ
ඇයි ඔයා දෙනුකෝ
පෙම් සිනා ආදරෙයි කියා . .

සුලඟක් හමාවී සිසිලක් දැනේවී . .
සුදුහඳ හාමී මට හිනැහේවී . .
ඔබගේ තොල්වලා අතරේ
හැංගිලා ඉන්නයි
මා සොයා ඉන්නේ බලා. . .

දෑසින්ම නොබලා දෑතින් නො අල්ලා
ඈතින්ම රැඳිලා සැපැතා නොවේවී .. .
පායා චන්ද්‍රයා දීලා
පෙම් සිනා යාවී
හැංගිලා ආදරෙයි කියා

. . .

දුහුළු මලක් චිත්‍රපටියේ අපූරු ගීතයක් අබේවර්ධන බාලසූයිය සමඟ

බොඳ මීදුම් කඳු රැල්ලේ

බොඳ මීදුම් කඳු රැල්ලේ සුරංගනා රජ දහනේ
ඔබේ සිනා කඳුලු බිඳක්
හෙටත් වාසනා හෙටත් වාසනාවන්
සින නදී රල රැල්ලේ පැතුම් රුවල් රන් ඔරුවේ
ඔබේ නිම මෙත් රාගී මටත් වාසනා මටත් වාසනාවන්

හිතක තැවුල් සංසිඳිලා මිටියාවත මල් ඉසිලා
මල් වරුසා සුවඳ සමය මටත් වාසනා මටත් වාසනාවන්
රෑසියන්ගේ නොනිමි නාද සැවුල් කොවුල් විහඟ ගීත
අපට ඇරුනු හුදකලාව හෙටත් වාසනා හෙටත් වාසනාවන්

මාල හතක් පලඳනන්ට හීන හතක් එලි වනන්ට
දොලොස් මහේ පහන් එලිය මටත් වාසනා මටත් වාසනාවන්
අනාගතය කිරුළු දරා දෙපා මුලට වඩින තුරා
ළවන් පොඟන මියුරු තෙපුල් හෙටත් වාසනා හෙටත් වාසනාවන්

. . . .

මේ මගේ ප්‍රියතම ගීතයක් . . .හැංගි හොරා චිත්‍රපටිය වෙනුවෙන් හරූන් ලන්ත්‍රා සමඟ

හංස රාණී ආදරේ

හංස රාණී ආදරේ . . මදාරා පරසතු විලේ
මීවිතේ මදිරා බොනූ . . මගේ හිත උදුරා ගනූ . .

හංසයානෙනි ආදරේ . . මදාරා පරසතු විලේ
මීවිතේ මදිරා බොනූ . . මගේ හිත උදුරා ගනූ . .

ඉගිල්ලෙන්නට තටු සලා පියාපත් සවිබල වෙලා
අඳුර ආලෝකය වෙලා සොඳුරු හීනය එලිවෙලා

ආදරේ මල් පල දරයි දුගී පැල රස මුසු කරයි
රිදී මිණි මුතු මිල නොවෙයි මාලිගය සිත ගිය තැනයි

. . .

මේ සකුන්තලා චිත්‍රපටියේ ගීතයක්

හර්දේ රස මාලිගේ

හර්දේ රස මාලිගේ ප්‍රීති වේ මා හදේ
ඔබේ දායාදේ .
පැතුවේ මේ ජීවිතේ මහදේ ආලෝකයේ
හර්දේ රස මාලිගේ

සිය හදේහී ම රස ගන්වා පැතුවේ මෙමා
දරු සෙනෙහේ නි හදවත් හි පැතුමන් තබා
ඔබ ආවාදෝ මා වාගේ බිඳක් සොයා
මේ ජීවිතයේ

ලොව රන්වන් වූ ආලෝකේ දල්වා තබා
ඔබ එනකන් මා සිටියේ මේ ගීතේ ගයා
ප්‍රිය රස දේහිනී මා ආවේ සොයා මේ
ජීවිතයේ

. . . .

ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කල පරසතු මල් චිත්‍රපටියේ ගීතයක්

පරවුනු මල් වල සුවඳ අතීතේ

පරවුනු මල් වල සුවඳ අතීතේ
පර සතු මල් ලඟ විසිව ගියාවේ
දුවගේ මුවින් එන කැකුළු හිනාවේ
එලිය මැදින් හෙට දවස උදාවේ

අතට වළලු මම කොහින් සොයම්දෝ
පයට ගිගිරි මම කොහින් සොයම්දෝ
ඉනට හවඩි මම කොහින් සොයම්දෝ
දුවට මවක මිස පියෙකු කොයින්දෝ . .

දාවල ගෙවිලා අඳුර ගලනවා
ඈත ලොවක නිදි දෑස පියෙනවා
හීතල පාළුව ඉවුරු පිපෙනවා
ඒ අතරින් දුව දොරට වඩනවා

. . . .


rare moment where two extra-ordinary voices of the continent merged; Sujatha Attanayake with Mohmad Rafi. Her Eldest son, Heli Attanayake also present.


Sujatha with her grand children Ayodh Attanayake and Sandesha Attanayake


With "Parasathumalwal Suwanda Athithe .. " Sujatha Attanayake immortalized the film " Parasathumal". Music for the film was composed by maestro Lionel Algama

Wednesday, May 19, 2010

ආච්චී වැහිලා නටන නාඩගම් . . .!



මේ පහත සඳහන් සිදුවීම් දෙකෙන් එකකට ඔබ කවදා හෝ මුහුන දී තිබෙනවාද . . . ?

1. තමන්ට තමන්වම පාලනය කර ගත නොහැකි කෝපයෙන් කෙනෙකු වෙත කඩා පැන තුන් හිතකින් වත් කිරීමට බලාපොරොත්තු නොවූ චෝදනා වැලකින් ඔහු හෝ ඇගේ මූනට දමා ගැසීම

2. කිසිම සාධාරන හේතුවක් නොමැතිව කෙනෙකු තමාගේ මුහුනට කඩා පැන තමා කිසි දිනෙක කල හෝ කිරීමට සිතාවත් නැති චෝදනා රාශියක් කරමින් බැන වැදීම.

සාමාන්‍ය කට වහරේ මේ ක්‍රියාවට "යකෙක් වැහිලා වගේ" කියා හඳුන්වන නමුත් මගේ වචන මාලාවේ එය පහත ආකාරයෙන් හඳුන්වනවා . . .

1. මට ඒ වෙලාවේ "ආච්චී වැහිලා වගේ" කෑ ගැහුවනේ . . .

2. මොකෝ උඹ "පිස්සු වේX වගේ" කෑ ගැහුවේ . ..

(චමල්, දමිත්, නදීශා, රුචිර බ්ලා බ්ලා බ්ලා . . දන්නෝ දනී . . )

"අනේ සමාවෙන්න . . මම දන්නේ නෑ මට ඒ වෙලාවේ මොනා වුනාද කියලා" වගේ වචන මඟින් ඉස්තාලේ වහන්න හැදුවත් ඒ වෙනකොට අස්සයා ගිහින් ඉවරයි.

ඒ ක්‍රියවලිය අවසානයේ ඉතුරු වෙන්නේ රිදුනු හෝ බිඳුනු හදවතක් හෝ හදවත් කීපයක් හා මහාම මහා එපා කරපු මූසල කාලකන්නි පසුතැවීමක් පමනයි.

හාස්‍යජනක හා සංවේගජනක ම දේ තමයි මේ අපිට ආච්චී වැහිලා බනින්න තෝරා ගන්නා කෙනා අපි ගොඩක් ආදරය කරන කෙනෙක් වීම. (අම්මා, තාත්තා, සැමියා, බිරිඳ, පෙම්වතා, පෙම්වතිය, සහෝදරයා, සහෝදරිය, හොඳම මිතුරා, හොඳම මිතුරිය, දුව, පුතා)
තව දෙයක්, අපි එසේ නිතර කඩා පනින පුද්ගලයා එක අයෙක් හෝ එකම පුද්ගල කන්ඩායමක් වීමත් අරුමයක්.

අපේ බැනිල්ල නිසා තරහින් අපේ මූන කට සමතල නොකරන. අපේ හොම්බට හැටක් නො අනින, අපේ අධිපතිභාවය ඉවසන ආදරණීය කෙනෙන් බැනීමට තෝරා ගැනීම හාස්‍යජනක දේ වුවත් එසේ අපි ආදරය කරන අපිට ආදරය කරන කෙනෙකුගේ හදවත රිදවීම, අප කෙරෙහි ඇති ඔහු හෝ ඇගේ ආදරේ බිඳී යාම සංවේගජනක දේ ලෙස දැක්විය හැකියි.
මෙය මනෝ විද්‍යානූකුලව "හිස්ටීරියා" කියන රෝග ලක්ශනයේ මූලික අවදියක් ලෙස මා උපකල්පනය කරනවා.

මා දන්නා, ලඟින් ඇසුරු කරන "මා ඇතුලුව" බොහෝ දෙනෙකුට මේ රෝගය තිබෙනවා.

බොහෝ මනෝ ව්‍යාධි වලට බුදු දහමේ පිලියම් තිබෙනවා කියා මා සිතනවා. (ඕනෑම ආගමක කෙනෙකුට මේ ලිපියේ කරුනු වැදගත් වේ යැයි මා සිතනවා)

උප්පැන්න්යේ ආගම ලෙසට බෞද්ධ කියා සටහන් වීමත්, 7 ශ්‍රේනිය වෙන තුරු දහම් පාසල් ගියා වුනත්, සා.පෙ. විභාගයෙන් බුද්ධාගම විෂය සම්මානයක් සහිතව සමත් වුවත්, පාලි ගාථා කීපයක් කට පාඩමින් මතක තිබීමත්, කුඩා අවබෝදයත් හැර බෞද්ධ දර්ශනය ගැන වැඩි දැනීමක් මා සතුව නැති බව අවංකව කිව යුතුයි.

බුදු දහමේ මූලික සංකල්පයක් වූ හේතුඵල වාදය අනුව මේ ක්‍රියාවලිය විග්‍රහ කිරීම පහසු වේවී කියා මා සිතුවා.

සරලව කීවොත් ඉපදීම නම් ඵලය දුකක්. ඒ ඵලයට තේතුව තෘෂ්නාව. තෘෂ්නාව නම් හේතුව නැති කිරීමේ ක්‍රමය ආර්‍‍ය අෂ්ඨාංගික මාර්ගය. (තරිඳු හා මාරයා මා වැරදි නම් නිවරදි කරනසේක්වා . . . !)

ඒ අකාරයෙන් හිතුවොත් මේ "හිටපු ගමන් ආච්චී වැහෙන" මනෝ ව්‍යාධිය නම් ඵලයට හේතුව . . .

කෙනෙකු කෙරෙහි අපේ යටි සිතේ අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව තැන්පත් වී තිබෙන තරහවක්.

ඔහු හෝ ඇය තමා ගැන සැලකිල්ලක් නැතැයි යන සිතුවිල්ලක්.

ඔහු හෝ ඇගේ ආදරය තමාට වඩා වෙන අය කෙරෙහි වෙන දේවල් කෙරෙහි ඇත යන උපකල්පනයක්.

හා නැද්ද?

මම හිතන්නේ සිදුවිය යුත්තේ අපි ඒ ආකාරයට ඇඟට කඩන් පනින පුද්ගලයා ගැන අපේ හිතේ යම් කිසි තරහක් ඇති කියා උපකල්පනය කොට ඒ පුද්ගලයා ගැන තරහක් ඇති වෙන්න බලපෑහැකි කරනු මේ මේ යැයි ගොනු කොට ඒ ඒ කරුනට ඒ පුද්ගලයාට සමාව දිය හැකි ලෙස තරාදියේ "තරහා" තියෙන පැත්තට සමාන බරක් "අනෙක් පැත්තට" දමා ඒ තරහව අපේ හිතින් ඉවත් කර ලීමට සැලැස්වීමයි.

Sunday, May 16, 2010

ජීවිතයට නැතුවම බැරි ආදරය !



බොහෝම කාලෙකට කලින් මම ආසාවෙන් දෙමළ චිත්‍රපටි බැලුවා. ඒ කාලයේ ආසාවෙන් බලපු ද්‍රවිඩ චිත්‍රපටි අතර "තලපති", "පුදිය රාගම්", "මින්සාර කානවු (සප්නේ නම් හිංදි චිත්‍රපටිය)" "ඉංඩියන්", "අපූර්ව සහෝදරන්ගල්", "මෙල්ල තිරඳද කදෝ" "සත්‍යා" "අන්ජලී" වගේ චිත්‍රපටි කීපයක සමහර සිදුවීම් හා කතාමලාවල මතකය තාමත් හිතේ කොනක තියෙනවා වගේ දැනෙනවා. . !

අක්කගේ මහත්තයා තදබල දෙමළ චිත්‍රපටි රසිකයෙක්. මම කාලයක් අක්කලගේ ගෙදර හිටියා අක්කා අඩු වයසෙන් විවාහ වෙලා ගිය අලුතම වගේ. එහේදී මස්සිනා නිතර දෙමළ චිත්‍රපටි ගෙනත් බලන නිසා මමත් බලන්න හුරුවෙලා පස්සේ කාලේක හොඳම ෆිල්ම් එකක් හැර අනෙක් ඒවා බලන එක මඟහැරුනා.

මඟහැරුනු තරම කොයි තරම්ද කියනවනම් ලස්සනම ෆිල්ම් එකක් වූ මනිරත්නම් ගේ බොම්බේ ෆිල්ම් එක බැලුවෙත් මේ ලඟදී ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරගෙන තමයි.

ඒ කාලේ බලපු ෆිල්ම් එකක ලස්සන ගීතයක් නම් මේ අද වනතුරුත් ලාවට ලාවට මතකේ තිබුනා. වැඩිපුරම ඒක මතකේ රැඳිලා තිබුනේ මගේ ප්‍රියතම ගායකයෙක් වූ එස්.පී.බාලසුබ්‍රමනියම් ඒ ගීතය මහා අරුම පුදුම විදිහට හුස්ම නොගෙන ගායනා කරන අපූරුව නිසායි.

ලඟකදී අහම්බෙන් යූ ටියුබ් එක පීරන වෙලාවක ඒ සින්දුව අහන්න ලැබුනා. ඒ මම ඉතිං කලේ අපේ බින්කු මලයට ද්‍රවිඩ භාශාව ගැන වැටහීමක් තියෙන නිසා එයාට ලියලා යැව්වා මට ඒ සින්දුවේ තේරුම ලියලා එවන්න කියලා . . දෙතුන් පාරක් මතක් කලාට පස්සේ (බැනලා මැසේජ් යැව්වට පස්සේ) ඔන්න ඒකා තේරුම ලියලා එව්වා.

අහලා බලන්න ඔයාලටත් අල්ලලා යයිද කියලා ඒ සින්දුව.

මේක දැනට දශක 2කට කලින් ඒ කියන්නේ 1990 දී තිරගත වුනු "කේලඩී කන්මනී" කියන චිත්‍රපටියේ ගීතයක්. ඒ චිත්‍රපටියේ රඟපෑවේත් එස්. පී. බාලසුබ්‍රමනියම් සමඟ රධිකා කියන නිළිය.




මේ තියෙන්නේ අපේ බින්කු මළයා ලියා එවූ පරිදි ඒ ගීතයේ තේරුම.

மண்ணில் இந்தக் காதலன்றி யாரும் வாழ்தல் கூடுமோ
කෙනෙකුට ආදරය නැතිව මෙපිට විසිය හැකිද?
எண்ணம் கன்னிப் பாவையின்றி ஏழு ஸ்வரந்தான் பாடுமோ
(ද්රවිඩ දෙවියෙක් හෝ විශ්වාසයක්)ට ස්ත්රීයක් නැතිව සංගීතය නිපදවිය හැක්කේ කෙසේද?
பெண்மை இன்றி மண்ணில் இன்பம் ஏதடா
கண்ணை மூடிக் கனவில் வாழும் மானிடா
ඒයි පුරුෂය, ඔබ ඔබේ ඇස් වසා හීනයට පිවිසෙන්න (මවා ගන්න), කාන්තාවක් නැතිව සතුටක් තියේද?

வெண்ணிலவும் பொன்னிநதியும் கன்னியின் துணையின்றி
කාන්තාවකගේ පිහිට නැතිව..
என்ன சுகம் இங்கு படைக்கும் பெண்மையின் சுகமன்றி
සුදු සඳට හා පූනි ගඟට කුමක් කරන්නට හැකි වේද?
தந்தனமும் சங்கத்தமிழும் பொங்கிடும் வசந்தமும்
sandal , old music Tamil, season of flowers (spring)
සෙරප්පු, (සංගත්තමිලම්; පැරනි දෙමළ සංගිත වර්ගයක් (වන්නම් වගේ), මල් වසන්තය (සරත් සෘතුව)
சிந்திவரும் பொங்கும் அமுதம் தந்திடும் குமுதமும்
Flourishing ‘Amudhu’, Flowers
අමුධු නම් මල් විකසිත කරමින්...
கன்னிமகள் அருகே இருந்தால் சுவைக்கும்
It all beautiful when you have women beside you
මේ සියල්ලම කාන්තාවක් ඔබ ළඟ සිටින විටදී සුන්දරය
கன்னித்துணை இழந்தால் முழுதும் கசக்கும்
If she’s gone then everything mentioned will be bitter
ඇය ගියහොත් සියල්ලම වේදනාකාර වනු ඇත
விழியினில் மொழியினில் நடையினில் உடையினில்
In eyes, language, way of walking, dressing,
ඇසෙන් භාෂාවෙන් (කථාවෙන්) ඇවිදිමෙන් ඇදුමේන්....
அதிசய சுகம்தரும் அனங்கிவல் பிறப்பிதுதான்
In everything women can give pleasure.
මේ කියල්ලෙන්ම කාන්තාව (අපට) සොම්නස දෙයි

මෙන්න මෙතනින් ගන්න පුලුවන් ලිරික්ස්

මේ තියෙන්නේ වචන් ටික එතනින් ගත්තු විදිහටම :

mannil indhak kaadhalanri yaarum vaazhdhal koodumoa
ennam kannip paavaiyinri aezhu svarandhaan paadumoa
penmai inri mannil inbam aedhadaa
kannai moodik kanavil vaazhum maanidaa

(mannil indha)

vennilavum ponninadhiyum kanniyin thunaiyinri
enna sugam ingu padaikkum penmayil sugamanri
thandhanamum sangaththamizhum pongidum vasandhamum
sindhivarum pongum amudham thandhidum kumudhamum
kannimagal arugae irundhaal suvaikkum
kanniththunai izhandhaal muzhudhum kasakkum
vizhiyinil mozhiyinil nadaiyinil udaiyinil
adhisaya sugamtharum anangival pirappidhudhaan

(mannil indha)

muththumani raththinangalum kattiya pavazhamum
koththumalar arpudhangalum kuvindha adharamum
sitridaiyum sinna viralum villenum puruvamum
sutrivarach cheyyum vizhiyum sundara mozhigalum
ennivida marandhaal edharkoa piravi
iththanaiyum izhandhaal avandhaan thuravi
mudimudhal adivarai muzhuvadhum sugamtharum
virundhugal padaiththidum amudhamum avalallavaa

(mannil indha)

. . . . .. . . . .. . .

හැමදෙනාම පදමලාවේ අරුතත් වටහා ගෙන ගීතය රසවිඳලා බලන්නකෝ දශක ගනන් කල් ගියත් උසස් නිර්මාණයක කලා රසය අඩු වෙනවාද කියා . . .

Thursday, May 6, 2010

සතුටයි කිරුළ අපේ . . . . !



"මල්ලී දන්නවාද ශාන්ත අයියා තමයි මේ ලොකේ හොඳම පිරිමියා . . . හොඳම සැමියා . . . "

වාහනය පැයට කි.මී. 120සේ අධිවේගයී මාර්ගයට අවතීර්ණ වී පලමු වේග සීමා කැමරාව පහු වුනු ගමන්ම වේගය පැ.කි.මී. 135ට වටා වැඩි කල සැනින් ඉදිරි අසුනේ හරි-බරි ගැසී වාඩිවූ මිනෝලී අක්කා පැවසුවේ ඉදිරිපස වීදුරුවෙන් එහා හිස් අවකාශය දෙස නෙත් යොමා ගෙන . ..

මගේ දෙකනින් පටන් ගත් හිරි වැටීමක් බඳු හැඟීමක් . . . බෙල්ල . . පිට . . හරහා දෙකකුලේ මාපටඟිලි දක්වා දිව වනු මැට දැනුනා.

ඒ හිරියත් සමඟම වේගය යලිත් වරක් 120 පමණ දක්වා අඩුවූ බව වේග සීමා මාපකයෙන් දුට මා වෙනසක් නොපෙන්වා යලි 135ට වටා වැඩි වේගයක රඳවාගෙන ඉදිරිපස මැද කන්නාඩියෙන් පසුපස බැලුවේ පසුපස ආසනයේ කුඩා දරුවා සමඟ ඉඳගෙන උන් මිනෝලි අක්කාගේ සේවිකාව මේ සංවාදය කෙරෙහි සවන් යොමා සිටිනවාදැයි පරීක්ෂා කර බැලීමට.

"මැනිකාගෙයි මගෙයි රහසක් නෑ මල්ලී. දුකට සැපට මගේ ලඟ ඉන්න මැනිකා මට මගේ සහෝදරියෙක් වගේ" මා පසුපස බැලූ කාරණය වැටහුනු මිනාලි අක්කා පැවසුවේ තවදුරටත් කලින් මෙන් හිස් අවකාශයෙන් මුහුන ඉවතට හරවා නෙගෙනම.

අප ගමන් කරමින් සිටියේ ඇගේ නිවසේ සිට කි.මී. 150කට පමන එහා තිබූ ගුවන්තොටුපල වෙත.

පිටරටෙක දී මිතුරෙකුගේ මිතුරියක් ලෙසින් හඳුනා ගත් අපි . . . දැනහඳුනාගෙන කෙටි කලෙකින් ඇගේ මානව දයාවේ බල මහිමයෙන් . . . කුඩා කල සිට එකට හැදී වැඩුනු සොයුරු සොයුරියන් මෙන් වීමු.

මගේ ම අක්කා හැරුනු කොට මතක ඇති කාලෙක අක්කා කෙනෙකුගේ නියම සෙනෙහසින් මට සැලකූ අක්කා කෙනෙක් ලෙස ඈ මගේ සොයුරු සෙනෙහස නිතැතින්ම හිමිකර ගත්තාය.

සමහර විට ඈ සංසාරයේ කෙදිනක හෝ මගේම අක්කා වී සිටින්න ඇති.

වසර ගනනක් එකට එක කුටුම්බයේ ජීවත්වන මුත්, කොතරම් හොඳ සැමියෙක් ලැබුවත් මිය යන තෙක්, මිනී පෙට්ටිය වසද්දී පෙට්ටිය බදාගෙන

"අනේ රත්තරනේ ඔයා කොයි තරම් හොඳ මිනිහෙක්ද . . ඔයා වගේ ආදරයෙන් සලකන මිනිහෙක් මේ ලොකේ නෑ දෙයියනේ"

කියා ප්‍රාණය සුන්වුනු කලේබරයට පවසන තෙක් සැමියගේ හොඳ අගය කරන බිරියන් නොදුටු . . . මුන නොගැසුනු . . . ලෝකෙක ජීවත් වූ මා . . . ජීවිතයේ පළමු වතාවට බිරිඳකගේ කටින් සැමියා පනපිටින් සිටියදී ඔහුගේ ගුණවැනුම් අසා සිටියදී සියොලඟ හිරියකින් වෙව්ලා යෑම අහම්බයක් ලෙස ඔබට සිතෙයිද . . ?

. . . . . .

මගේ මිතුරු තුෂාර ඔහුගේ බිරිඳ අනුරාධා මා නදීශා අපගේ පවුල් දෙකත් තව මිතුරු පවුල් කීපයකුත් සමඟ විනෝද චාරිකාවක යෙදෙද්දී අප අතර ඇතිවූ කතාබහක් මෙවැනි අවස්තාවක නිතැතින් සිහිවෙනවා.

“තුෂාර : මේ ගෑනුන්ට කොයි තරම් හොඳ මිනිහෙක් ලැබුනත් කිසිම වැඩක් නෑ . . කිසිම වටිනාකමක් නෑ. අගය කිරීමක් නෑ”

“මම : ඒකනේ සීයට සීයක් සම්පූර්ණ මිනිස්සු මේ ලොකේ නෑ නේ . . සීයට 95 ක් හොඳ එකෙක් හම්බුනත් මුන්ට මදි . .. “

“බිරින්දෑවරු දෙදෙනාම: (එකවර) අපිට ඕන කරන්නේ ඒ සීයට 5”

. . . . . .

“ශාන්ත අයියා මගේ අයියගේ හොඳම යාලුවා . . . . “

මගේ කල්පනා ලෝකය මිනෝලි අක්කා බිඳ දැම්මා.

“අපේ අම්මයි තාත්තයි රජයේ උසස් රැකියා කරපු අය. දෙන්නම හොඳ උගත්තු. එයාලා කවදාවත් අපිට බල කලේ නෑ කිසිම දෙයක් කරන්න කියලවත් කරන්න එපා කියලවත්. අපි ඉගෙන කාලෙ වත් අපිට බලපෑම් කලේ නෑ. හොයලා බැලුවා, අපි ට අසීරු වෙලාවල් වලදී ගයිඩ් කලා විතරයි. ඒ නිසාම අපි හතර දෙනාම හොඳට ඉගෙන ගත්තා. දෙන්නෙක් චාර්ටඩ් ඉන්ජිනියර්ස්ලා වුනා එක්කෙනෙක් ඩොක්ට කෙනෙක් වුනා එක්කෙනෙක් චාර්ටඩ් එකවුන්ටන්ට් කෙනෙක් වුනා.”

“ශාන්ත අයියගෙයි මගෙයි ලව් එකට ත් කිසිම ප්‍රශ්නයක් ආවේ නෑ . . . එකක් ශාන්ත අයියා ගැනයි අයියගේ පවුලේ අය ගැනයි අපේ ගෙදර අය හොඳින් දැනගෙන උන්නු එක. අනික ශාන්ත අයියගේ හොඳ ගතිගුන ගැන අපි හැමෝටම තිබුනු විස්වාසේ. “

“අපි කසාද බැන්ඳට පස්සේ තමයි ශාන්ත අයියා පී.එච්.ඩී. එක කලෙත්.”

“අපි බොහෝම සංතෝසෙන් හිටියා මල්ලී. තුන්වෙනි දරුවා හම්බු වෙච්චි මුල් කාලේ තමයි ශාන්ත අයියා නොහිතපු විදිහට බීමට පුරුදු වූනේ . . . “

මම තවදුරටත් නිහඬතාවය රකිමින් රිය ධාවනයේ . . .

“ඒක හරියට අර මල්ලී ලඟ තියෙන සුනේත්‍රා රාජකරුණානායකගේ "පූර්ව ජන්ම අපූර්වය" පොතේ වගේ පෙර කරපු අකුසලයක් පල දුන්නා වගේ.”

“ශාන්ත අයියත් රජයේ ලොකු ජොබ් එකක් කරපු නිසාත් මම ප්‍රයිවෙට් කම්පනි එකක ඉහල පොස්ට් එකක වැඩ කරපු නිසාත් අපිට ආර්ථික ප්‍රශ්න කිසිදෙයක් මුලින් නොතිබුනාට අයියා බොන්න ගත්තාට පස්සේ ඒ හැම දේම වෙනස් වෙනන් ගත්තා. “

“ඒ තරමටම බිව්වාද??”

මම අහුවේ දිගටම නිහඬතාවය රකින එක නොසුදුසුයි කියා සිතුනු බැවින්.

"ඔව් මල්ලී. ශාන්ත අයියා හම්බුකරපුවයින් බීලා අසනීප වෙලා ප්‍රයිවෙට් හොස්පිටල් වලින් නිතර නිතර බෙහෙත් ගනන් වුනායින් නතර වෙන්න වුනායින් මගේ සල්ලී විතරක් නෙමෙයි මගේ සහෝදර සහෝදරයින්ගෙනුහ් මට සල්ලී ඉල්ලන්න වුනා ලමයින්ගේ වියදම් වලට එහෙම."

"කොයි තරම් කිව්වත් අයියා හැදෙන පාටක් පෙන්නුවේ නෑ"

"පස්සේ අපේ පවුලේ අය ඔක්කෝම මට එයාලට කරන්න සිදුවුනු අකමැතිම යෝජනාවක් කලා"

"ඒ මොකද්ද? මම ඇහුවේ කුතුහලයෙන්.

"ශාන්ත අයියාව අතහරින්න කියපු එක. ඒ වෙනකොට නංගීයි අයියයි ස්ටේස්ට්ස් වලයි යූකේ වලයි හිටපු නිසා එයාල කිව්වේ ඩිවෝස් වෙලා ලමයි ටිකත් අරගෙන මට එයාලා කාගේ හරි ලඟට එන්න කියලා.

"ඉතිං"

"ඒ වෙනකොට ශාන්ත අයියගේ බීම නිසා මම හෙම්බත් වෙලා අයියව එපා වෙන තරමට වෙලා තිබුනත් අයියව එහෙම ලේසියෙන් මට අතහරින්න බෑ කියලා මගේ හිත කිව්වා මල්ලී. අනෙක ශාන්ත අයියා ඒ දවස් වල බිව්වා වුනත් ඊට කලින් අයියා පුදුම හොඳ ගතිගුන තිබුනු කෙනෙක්."

"මම ඉතිං කලේ කිසිම ගෑනියෙක් නොකරන දෙයක් කරන්න තීරණය කරපු එක"

"ඒ මොකද්ද . . ?

"කිරි බිබී හිටපු මාස හයේ ළමයියි, ඉස්කෝලේ යන අනිත් ළමයින් දෙන්නයි අම්මල ලඟ දාලා ශාන්ත අයියවත් අරගෙන ඩුබායි වලින් මට ජොබ් එකක් හොයාගෙන ආපු එක"

"ඩුබායි . . ?" මම අහුවේ ප්‍රශ්නාර්ථයකින් . ..

"ඔව් මල්ලී, මම කලින් හිතුවේ ඩුබායි කියන්නේ අරාබි රටක් නිසා මෙහේ ක්ලබ් නෑ . . . බොන්න නෑ කියලනේ"

“හ් හ් ම් ම් ම්”

"කිරි බොන ළමයවත් අම්මලා ලඟ දාලා . . .?"

"ඔව් මල්ලී . . මට ශාන්ත අයියගේ ජීවිතේ විනාස වෙන්න දාලා අයියව අතහරින්න පුලුවන්කමක් නෑ අපි අවුරුදු 13ක් ලව් කරලා බැන්දේ . . එහෙම කලා නම් ලමයින්ට තාත්තෙක් නැති කලාට වඩා හොඳ මනුස්සයෙක් හදන්න මම කිසි දෙයක් කලේ නෑ කියලා මගේ හිත මට දොස් කියයි මම මැරෙනකම්ම"

"මම ළමයි තුන්දෙනාවත් ගෙන්න ගෙන මෙහේ ස්කෝල වලට දාලා මැනිකාවත් ගෙන්න ගෙන, ශාන්තඅයියට ත් ජොබ් එකක් හෙව්වා මෙහෙන්. ඒත් අයියගේ උගත්කමේ තරමට හොඳ එකක් සෙට් වුනේ නෑ."

"ආවට පස්සේ ටික කාලයක් ශාන්ත අයියා හොඳට හිටියා"

"මෙහේ ඇවිත් ටික කාලයයි . . ශාන්ත අයියා ආපහු බීමට වැටුනා. කෙටි කාලෙකට අයියා ජොබ් එකක් කලා එකෙන් ලැබුනු සල්ලි වලින් ආපහු බොන්න ගත්තා. පස්සේ මගෙන් සල්ලි ඉල්ලගෙන ඒවායිනුත් බොන්න ගත්තා"

"අයියෝ"

"ඔව් මල්ලී. . මට තව ඉවසන්න පුලුවන් කමක් තිබ්බේ නෑ . . .මම අයියට කිව්වා ආපහු යන්න කියලා"

"ඒ කියන්නේ වෙන් වෙන්න??

"මම දන්නේ නෑ මගේ හිතේ ඒ වෙලාවේ මොනා තිබුනාද කියලා"

"ශාන්ත අයියව එයාපෝර්ට් එකේ ඩ්‍රොප් කරලා මම ආවේ එක පාරක් වත් හැරිලා බලන්නේ නැතුව. ගෙදර ඇවිත් තමයි මම හොඳටම ඇඬුවේ. ඇයි අපිට මෙහෙම වුනේ කියලා හිතලා . . . "

"ශාන්ත අයියට ත් තේරුනා ඒ පාර වෙනදට වඩා ගොඩක් වෙනස් කියලා . . එයා ලංකාවට ඇවිත් තනියෙම හිතලා බොහොම මහන්සි වෙලා බීම නතර කරගෙන"

"පොඩ්ඩක් වත් බොන්නේ නැද්ද"

"නෑ මගේ යාලුවෙක්ට කියලා එයාට තිබුනේ ලෙඩක් කියලා ඒ කියන්නේ ඇඩික්ට් වුනු එක. දැන් ආපහු පරන අයියා මයි . . ."

"ළොකු ළමයි දෙන්නව කලින් යවලා මම මේ පාර යන්නේ ලොකූ සතුටකින්. අපි දෙන්නා දැන් මාස හයක් දැක්කේ නෑ මල්ලී. . . මට සිහිය නෑ දැන් ගිහින් ශාන්ත අයියව දකින කම් . . . "

මෙතුවක් කල් ඇගේ මුහුනේ නිතර රැඳුනු සිනාවට අමතරව අද උද්දාමයක්ද රැඳී ඇතැයි ඈ දෙස බැලූ මට සිතුනා . . . .

"මම මෙහේ ආවේ ජීවත් වෙන්න බැරුව සල්ලී නැතුව නෙමෙයි මල්ලී . . එක අරමුණක් වෙනුවෙන්. . .. ඒ අරමුණ දැන් ඉෂ්ඨ වෙලා තියෙනවා"

"මට ආපහු පරන විදිහට සංතෝසෙන් ජීවත් වෙන්න පුලුවන් වෙයි මල්ලී . . . මට විස්වාසයි ඒක . . . "

නිරංජලා සරෝජනී ගායනා කරන ගීයක කොටසක් මගේ සවනට පාවී ආවා . ..

"රජෙකුට හිමිවූ . . මා දැන් රැජිනකි . .. . සතුටයි . . කිරුල අපේ . .. "


මට සොයුරිකගේ සෙනෙහස නොලැබී යනවා වුවත් ඇගේ ත් ඇගේ කුටුම්බයේත් සෙහෙහස යලිත් දෝර ගලා යනු මනසින් විඳි මා ඈට ගුවන් තොටුපලේදී සමුදුන්නේ මගේ කලින් සටහනක් වූ "දුර්ග තරණය" පොතේ ඇග්නස් මෙන් මානව දයාවේ ගුණ සුවඳ විහිදුවා ජීවිතය ජය ගත් තවත් මානවිකාවක් ගැන මගේ මතක පොතේ පිටු අතර නොමැකෙන ලෙස සටහන් තබා ගනිමින්.

ඉදින් "සුරංගනා කතාවක් නොවූ ප්‍රේමයක කතාවක්" හි විහඟි වෙනුවෙන් ඇගේ කුටුම්බයේ ආරක්ශාවටත් ඇගේ සතුට වෙනුවෙනුත් සුභ පැතූ ඔබ සැම මිනෝලි අක්කාගේ ආදරයේ නාමයෙන් කල පරිත්‍යාගය අගය කරන්නත් . . .ඇගේ සතුට වෙනුවෙන් ඈට සුභ පතන්නත් මා සමඟ එකතු වෙනවා නොවේද . . .. ?

Monday, May 3, 2010

වෙලාවකට මේ ජීවිත පවු කියලා හිතෙනවා . . . . . !!



ප්‍රධාන කාර්‍‍යාලයේ සිට කි.මී. 150ක් පමන දුරින් තිබූ වැඩබිමකට මාරුවක් ලැබුණි.

වැඩබිම අවටින් නිවසක් සොයා පිලිවෙලක් වෙන තුරු බිරිඳ හා පුතා ටික කලකට බිරිඳගේ නිවසට යන්න තීරණය විය.

නිවසක් සොයා ගන්නා තුරු වැඩබිමට කිට්ටුව මිතුරෙකුගේ නිවසේ තාවකාලිකව නවාතැන් ගැනීමට සිදුවුණි.

මිතුරාගේ බිරිඳ දෙවෙනි දරුවා ලබීම සඳහා ගමට ගොස් සිටියාය.

නිවසේ සිටියේ මාත් මිතුරාත් ඔහුගේ බිරිඳගේ සොයුරාත් පමණි.

මගේ පුරුද්දක් වූ, කෑම කන අතර පොතක් කියවීම හා ශරීරකෘත්‍යය සඳහා වැසිකිලි යාමේදී පොතක් රැගෙන යාම මිතුරාගේ සොයුරා විසින් නිතර නිතර සමච්චලයට ලක් කරන ලදි.

මිතුරාගේ හිතවත් සොයුරියකගේ නිවසේ රාත්‍රී ආහාරයකට ආරාධනා ලැබ අප තුන් දෙනාම එහි ගියෙමු.

ලංකාවේ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක ඇදුරුතුමෙකු වූ ඒ සොයුරියගේ සැමියා පළමු වරට දැන හඳුනා ගත්තෙමි.

මිතුරා හා ඔහුගේ මස්සිනා ඔවුන්ගේ පවුලේ මිතුරන් හෙයින් අලුතෙන් හඳුනාගත් මා ඔහු හා මිතුරු වන තෙක් අප විවිධ මාතෘකා කතාබහ කරමින් සිටියෙමු.

සුලු මොහොතකින් මිතුරාගේ මස්සිනා සුපුරුදු සමච්චලය පටන් ගන්නා ලදි.

"වෙලාවකට මේ ජීවිත පවු කියලා හිතෙනවා අයියා" ඔහු වි.වි. ඇදුරු සොයුරාට මා පෙන්වා පැවසීය.

"ඇයි ඒ" වි.වි. ඇදුරු සොයුරාගේ නෙත් එක් වරම මා දෙස යොමුවුනේ "එහෙම පවු කියලා හිතන්න දෙයක් මුගේ පේන්නේ නෑ නේ " කියා සිතමින් විය හැකියි.

"නෑ අප්පා කන්න ගියත් අතේ පොතක්. ටොයිලට් යන්නෙත් පොතක් අරන්. මොකටද අප්පා ඔහොම. පවු නේද මේ ජීවිත."

"මේකනේ මල්ලී" වි.වි. ඇදුරු සොයුරා බොහෝම නිස්කලන්කව පටන් ගත්තා.

"අපි හිතන්නේ, අපි කරන දේ අපි සතුටු වෙන විදිහ තමයි හරිම විදිහ, ඒ විදිහට නොකරන ඒ විදිහට සතුටු නොවන අය අසතුටෙන් කියලා තමයි අපි හිතන්නේ"

අපි හැම දෙනා පාෂාණීභූත විලාසයකින් ඔහු දෙස බලා සිටියෙමු.

"එහෙම හිතලා අපි නිකන් ඉන්නේ නෑ, බල කරනවා අනෙක් අයට අපි කරන දේම කරන්න අපි සතුටු වෙන විදිහට සතුටු වෙන්න කියලා. ඒක කොයි තරම් වැරදිද?"

අප තවදුරටත් කතා නොමැතිව. .

"අනෙක් අය ඒ අය ට පුරුදු විදිහට, කැමති විදිහට ජීවිතේ සතුට ලබනවා. අපිට කිසිම අයිතිවාසිකමක් නෑ කිසිකෙනෙකුට කියන්න උඹ මේ විදිහට සතුටු වෙයන් කියලා. . . "

ඒ මොහොත සිහිවෙන හැම වාරෙකම මා ඔහු සිහි කරන්නේ ඉමහත් බැතියෙන්. හදපිරි කෘතගුණයෙන්.

ඒ ඔහු ඒ සුලු මොහොත ඇතුලතදී ජීවිත කාලයටම වටිනා විශාල පාඩමක් මට ඉගැන්වූ නිසාවෙන්.

සාමාදානෙන් සහයෝගයෙන් මිනිසුන් ඇසුරු කිරීමට නැතිනම් මානුෂික සබඳකමකදී එකිනෙකාගේ රුචි අරුචිකම් අඳුනාගෙන ඒවා අගය කිරීමෙන් හෝ හැකි පමනින් සහයෝගය දැක්වීමෙන් අපගේ මානුෂික ගති අන් අයට පෙන්වා දීමෙන් අපගේ ජීවිතයට අන් අයගේ වැඩි සැලකිල්ලක්, ආදරයක් ලබා ගතහැකි ඒ පාඩම ඉගැන්වූ ඔහු ගැන මගේ හිතේ ඇත්තේ විශාල ගෞරවයක්.


. . . . . . . . . . . . . . .

මගේ පෝස්ට් දිග වැඩී කියලා දෝශාරෝපන එල්ලවෙනවා වුනත් පෝස්ට් එක මෙතනින් නවත්තන්න හිතක් ඇති කර ගැනීම බොහෝම අපහසුයි.

තවදුරටත් කියවන්න කැමැත්ත ඇත්තෝ කියවත්වා . . .

ලඟදී දිනෙක අප (මාත් බිරිඳත්)වාදයකට පැටළුනා (වලියක් නෙමේ දුර ගමනක් ගොස් රෑ 12ට එන විට නිදිමත සෑදීම වැලැක්වීමේ අරමුණින්)

ඒ වාදය මට එකිනෙකා ගේ විනෝදාංශ හෙවත් එකිනෙකා (මා දන්නා) සතුටු වෙන ආකාරයවල් ගැන ගැඹුරින් හිතන්න මට අවස්ථාව උදා කලා.

මේ ඒ මා දන්නා අය කීප දෙනෙක් සතුටු වෙන ආකාරයවල් . . .:

A - හැම සති අන්තෙම හොඳටම බොන එක (බොනවා නෙමේ නානවා) හා පුලුවන් හැම වෙලාවෙම එකක් නිවෙන්න එකක් සිගරට් ඉරීම (සිගරට් කනවා . . ඉඳලා හිටලා එකක් දෙකක් නම් කමක් නෑ . . හික්ස් . . . මේ වගේ ඔවුන්ටත් අපිටත් හානි කර විනෝදාංශ වලට නම් අනිවාර්යෙන් විරුද්ධ වෙන්න ඕන )

B - බ්‍රෑන්ඩඩ් සපත්තු එකතු කිරීම (කැටපිලර්, පූමා, මෙරිල්, නයිකි, ඇඩිඩාස් බ්ලා බ්ලා බ්ලා . . මටත් කාලයක් තිබුනා බ්‍රෑන්ඩඩ් සන්ග්ලාස් එකතු කිරීමේ පිස්සුවක්. බුදු අම්මෝ හොඳ වෙලාවට ඒක ඇතහැරුනේ. . .)

C - මුලු ජීවිතේම අනුන් වෙනුවෙන් කැප කිරීම (දහම් පාසලේ ඉගැන්වීම හා දහම් පාසැලේ වැඩ වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසීම, අසරණ දරුවෝ වෙනුවෙන් පාසැල් ඉදිකිරීම, කොම්පියුටර් ලබාදීම ආදී සමාජ සේවා හා මිතුරන්ගේ ඕනෑම වැඩක් සඳහා ඇප කැප වී සිටීම )

D - නොකා නොබී හෝ මුදල් එකතු කිරීම (යනකොට ගෙනියන්න වගේ)

E - තමන්ගේ වැරදි අම්බානක් තියාගෙන අනුන්ගේ පොඩි හෝ වැරද්දක් සොයාගෙන සිනා වීම (මාර ජොලි ඇති . . පවු අප්පා)

F - මාස ගනන් උත්සාහ කොට අමාරුවෙන් ලබාගත් රැකියාවට වත් නොගොස් (හැකි නම්) දවසේ පැය විසිහතරම (කන්න බොන්න ටොයිලට් යන්න විතරක් ඇහැරී) නිදා ගැනීම (මම පොත් බලන එක නරකයි මේක හොඳයි එතකොට ආ. . ?? )

G - රැකියාව කරන කාලයට අමතර සියලුම කාලය . . . පෙම්වතිය බිරිඳ වූ පසුවත් ඈ සමඟම චැට් කිරීමට යෙදවීම. (ලඟපාතක නැති නිසාවෙන් - මේකට නම් තවත් සමහරු කැමතිය. "ඒක හොඳයිනේ. ඒ ගෑනු කෙනාට මනුස්සයා එක්ක වලි දාගන්න ඕන නෑ නේ, ඇයි ඒ මනුස්සයා වෙන වැඩක් කරන්න නෑ නේ . . . ගෑනි ගැන හිත හිතා . . .. ගෑනි එක්කම විතරක් චැට් කරන නිසා" . . හ්හ්හ්හ්ම්ම්ම්ම්ම් . . . . වෙන පිලිතුරු නැත)

H - උදේ නැගිටපු වෙලාවේ සිට ගේ අස්පස් කරන . . . අතුගාන . . . කන බොන වෙලාව හැරුනු කොට, නින්දට යනතෙක් අනෙක් සියලුම කාලය . . . සැමියා සමඟ රන්ඩුවක් ඇද ගැනීමට හේතු සෙවීම (ජීවන රේඛාව එක කෙලින් තිබ්බාම කිසි ගතියක් නෑ නේ එකයි මේ වලියක් දාගන්න හදන්නේ . . . හි හි )

J - මුලු දවසම රූපවාහිනියෙයි, අයි.ටී.එන් එකෙයි කියන බොරු බේගල් අසා සිටීම හා දිවයින පත්තරේ ඒකපාර්ශවික නිව්ස් කියවීම හා අහුවුනු එකෙක් සමග ඔහුට ගැලවී යන්න නොදී ඒවා ගෙඩි පිටින් වමාරා තමා දේශප්‍රේමියෙක් බව ලෝකෙට පෙන්නා සිටීම (පුහ් . . අනේ සකෝ බලලෝ . . )

K - මෙලෝ දෙයක් දන්නේ නැති වුනත්, (නෑ නෑ මූ සිරාවටම දන්නවා මම නම් හිතන්නේ ) හැම විෂයක් සම්බන්ධයෙන්ම තමා උගතෙක් බව කියා පෑම හා මවා පෑම (නෑ ඕක ඔහොම නෙමෙයි, ඕකේ මෙන්න මෙහෙමත් එකක් තියෙනවා)

L - අනිත් අයගේ ඕපා දූප සෙවීම (අපි ගොඩක් අය වගේ සුලු පරිමාණයෙන් නෙමෙයි . . මහා පරිමාණයෙන් හික්ස්) තොරතුරු සොයා ගැනීමට අවශ්‍ය අයගේ විස්තර දුරකතන මඟින් ලංකාවේ ඉන්න අයට යවා ඒවා ගෙන්වාගෙන ඒ අය දන්නා අඳුනන අය අතරේ නොමිලේ බෙදා හැරීම . . . (අපරදේ වැරදි රැකියා කරන්නේ . . බුද්ධි අංශයට බැඳෙන්නයි තිබ්බේ . . නැත්නම් පත්තර වාර්තා කාරයෝ දෙන්නෙක් වෙන්නත් තිබබා . . ??)

මේ මා දුටු / ඇසුරු කල / දන්නා කියන . . විශේෂ විනෝදාංශ ඇති අය කීප දෙනෙකුගේ විනෝදාංශ පමනයි . . .

මේ සමහර විනෝදාංශ වලට එරෙහිව සටන් කරපු කාලයන් මගේ ජීවිතේ නොතිබුනාම නොවේ . . .

ඒත් අර සොයුරාගේ උපදෙසින් පසු මේ සියලුම විනෝදාංශ දෙසත් ඒවා හිමි අය දෙසත් අලුත් ඇසකින් . . උපේක්ෂා සිතකින් බලන්න මට හැකි වූ බව නම් නොකියාම බැරිය . . ..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails