UAE Sri Lankans Events

Tuesday, April 27, 2010

කල්පිතයක්දැයි සිතා ගත නොහැකි දුර්ග තරණය





මේ දුර්ග තරණය පොතේ පසු කවරයේ කතාවයි . .

මජරයෙකු හා දීග යාම නිසා සැහැසි ලෙස තම පවුලෙන් කොන් වී, පතොක් ගාලක තම කුටුම්බය අටවා ගන්නා ඇග්නස්, පවුලේ දැවැන්තයින් අභිබවා ජීවිතයේ ජය කෙහෙලි නංවන්නේ මත් වතුර හෝ නිරුවත හෝ වණික් කර්මයේ ගොදුරු බවට පත්කොට නොවේ.

ඈ අලෙවි කලේ මානව දයාවේ ගුණ සුවඳ හා ස්ත්‍රීත්වයේ අව්‍යාජ සෙනෙහසයි.

දෘඪතර අධ්‍යාත්මික සංහිඳියාවකින් ඔප් නැඟුනු අකපට ලාංකීය ගැමි ජීවිතයේ දයාර්ද කුටුම්බය සතු තීරනාත්මක සාධකය වන ගැමි කාන්තාවගේ තථ්‍ය ප්‍රතිමූර්තියක් වූ ඇග්නස් ගේ සුසුම් අන්දරය ඇගේම ලේ කඳුළු මුතුකැට බවට පෙරළා රන් හුයක අමුණා ප්‍රවීන ලේඛක "තිලක කුඩාහෙට්ටි" තවත් අභිමානවත් පියවරකින් ඔබ හමුවට එන්නේ ඔහුගේ නවතම සුන්දර නිර්මාණය වූ "දුර්ග තරණය" නවකතාවද සමඟිනි . . . !

. . . . . . . . . . .. . . . . .

සත්‍ය සිදුවීම් මාලාවක්

"අක්කේ අක්කේ . . අවුරුදු දවසට අලුත් ඇඳුම් අඳින්නම ඕනද?"

"නෑ නංගියෝ . . කවුද එහෙම කිව්වේ"

"පුංචි අම්මලගේ ගෙදර අය යි කිව්වේ. බොරු නම් අයියගෙන් අහන්න"

"ඔව් අක්කේ, නිශාන්ත මල්ලියි, අනෝමා නංගීයි කිව්වේ. එයාලයි තාත්තා අරන් දුන්නු අලුත් ඇඳුම් විතරක් නෙමෙයි පොඩි මාමත් එයාලට අලුත් ඇඳුම් අරන් දුන්නා කිව්වා"

"අලුත් ඇඳුම් වෙන්න ම ඕන නෑ, පිරිසිදු ඇඳුම් ඇන්දම හොඳටම ඇති. අනික අපේ තාත්තට සල්ලි නෑ නේ අලුත් ඇඳුම් අරන් දෙන්න. සල්ලි හම්බු වුනු ගමන් අම්ම අරන් දෙයි හොඳේ"

"හා"

"ඔයාලට දුක හිතුනාද අනිත් අයට තියෙද්දී ඔයාලට අලුත් ඇඳුම් නෑ කියලා"

"අපෝ නෑ"

. . .

"අම්මේ මට හැමදාම මේ පැට්‍රොල් මැක්ස් ලාම්පුවට හුලං ගහන්න බෑ"

"බැරි නම් චිමිනි ලාම්පුයි, කුප්පි ලාම්පුයි පත්තු කරගෙන පාඩම් කරපන්"

"ඇයි අම්මේ ආච්චිලගේ ගෙදර ඔච්චර ඉඩ තිබිලත් අපි මේ ලයිට් නැති ගේක කුලියට ඉන්නේ. අපිට බැරිද එහේ යන්න"

"ඔය මම සල්ලි නැති මිනිහෙක්ව මගේ කැමැත්තෙන් කසාද බැන්දා කියලනේ. පවුලේ අනෙක් අයට ඉඩම් අරන් දීලා ගෙවල් දොරවල් හදලා දුන්නා. මට කිසි දෙයක් නෑ"

"අපි පොඩි මාමට කියමු අපිට ගෙදරින් කෑල්ලක් දෙන්න කියලා"

"අනේ අපිට ඕන නෑ බං ඒවා. අපි මේ ඉන්න විදිහට ඉමු. අපිටත් කවදා හරි හරි යන්නේ නැතැයි"

. . .

"පුතේ ඔය දර ටික කුස්සියට දාලා බත් ටිකක් කාල පලයන්”

“ආච්චී අම්මේ කෝ විමර්ශා නංගීයි මල්ලිලයි ??”

“රම්‍යා නැන්දා උයලා තියලා ළමයිත් අරන් ඔය කොහේද මන්දා ලොකු ටියුෂන් පන්තියකට යනව කියල ගියේ."

"දර ටික දාලා ඉවරයි ආච්චී අම්මේ. කන්න ඕන නෑ, මම ගෙදර ගිහින් ම කනවා"

"උඹලගේ නංගී ත් ආව දැං ටිකකට කලින්. ඒකිටත් බත් කන්න කිව්වම බෑ කියලා ගියේ ඔන්න"

"අම්ම උයල තියලා වැඩට ගියේ"

"මොනා නැතත් උඹලට උඹලගේ අම්මගේ වගේ මහන්තත්තේ නම් තියෙනවා"

. . .

"අයියේ

ඔයාගේ අලුත් ගෙදර මම දවසක් අම්මලට හොරෙන් ගියා. ඒක තාත්තට අහුවෙලා ආයේ ගියොත් මගේ කකුල් කඩනවා කියලා බැන්නා. අපේ අම්මයි තාත්තයි, පොඩි නැන්දලගේ ගෙදර අයයි හැමෝම උඹලා තුන්දෙනා අලුත් ගෙවල් හැදුවා කියලා හරිම ඉරිසියාවෙන් ඉන්නේ.

සුදු නැන්දව මතක් කලා කියන්න. එහේ ආපහු යන්න බැරි එකට තරහා වෙන්න එපා කියන්න.

මීට විමර්ශා නංගී "

. . . .

"අයියේ මාර වැඩේ හලෝ"

"ඇයි"

"මම පොඩි උන් දෙන්න එක්ක තනියෙම මගේ කාර් එකේ පන්සල් ගිය ගමන් ආච්චිලගේ ගෙවල් පාරෙන් ආවේ. නිකමට ආච්චීව බලන්න කියලා ගියා. ඔක්කෝම හෙන ඉරිසියාවෙන් වගේ මගේ දිහා බැලුවේ"

"තමුසේ ෂෝ දාන්න ගියා කියලා හිතන්න ඇති"

"නෑ හලෝ, අක්කලත් ගිය සුමානේ ගියා කිව්වම මටත් යන්න හිතුනා. රම්‍ය නැන්ද කියනවා අක්කගේ ළමයි ටික අපි තුන්දෙනා වගේ හැමෝටම ආදරේ කරන්න මනුස්සකමින් සලකන්න උගන්වලා තියෙනවා කියලා. පුදුමයි"

"මේකනේ නංගී, අපි නැති බැරි කාලේ වත් කාටවත් ඉරිසියා කලේ නෑ. අපේ අම්ම ඒ අයට බැන්න මිසක් අපිට කිව්වේ තරහා මරහා තියා ගන්න එපා කියලනේ"

. . .

"පුතා මෙන්න විමර්ශා ඔයාට එවපු ලියුමක් ඔයාගේ වෙඩින් ඉන්විටේෂන් එකට රිප්ලයි එකක් විදිහට"

"දයාබර අයියේ

ඔයාගේ වෙඩින් ඉන්විටේෂන් එල ලැබුනා.
උඹලා හැමදාම වගේ මුල අමතක නොකර තරහ මරහ පිරිමහන්නේ නැතුව හැමෝටම වෙඩින් එක කියපු එක ලොකු දෙයක්.
ඒත් අපේ ගෙදර අයට නම් ඒවා දිරවා ගන්න තාම අබෙ විශෙෂයෙන් උඹේ වෙඩින් එක ෆයිව් ස්ටාර් හොටෙල් එකක තියෙන බව දැක්කම අපේ කස්ටියට තවත් මල.
මට එන්න විදිහක් නෑ අයියේ ආවොත් මට ගෙදට ඉන්න බැරි වෙනවා.
උඹ තරහා වෙන්න එපා ඒකට.
මද්දු මහප්පා ගේ පවුල ආච්චී අම්මව බලන්න අපේ ගෙදර ආපු වෙලාවක අපේ තාත්තා කිව්ව උඹේ වෙඩින් එකට එයාල ගියොත් අපේ ගෙදර අය රොෂාන් අයියගේ වෙඩින් එකට එන්නේ නෑ කියලා.
ලොකු අම්මා කිව්ව උයා නාවට කමක් නෑ මට පුංචි අක්කගේ කොල්ලයි, කෙල්ලො දෙන්නයි පුංචි අක්කයි ඊට වඩා වටිනවා කියලා.
හොඳ වැඩේ.


උඹලාට තව තවත් හරියන්න කියා ප්‍රාර්ථනා කරන මම

විමර්ශා නංගී

. . .

"ඇයි අම්මේ මේ මිනිස්සු අපිත් එක්ක මේ තරම් තරහා?? ඉරිසියා??? මේ අය ඒවා යනකොට ගෙනියන්නද??? අපි නැති බැරි කාලෙත් කිසි කෙනෙකුට කරදරයක් කලේ නෑ අපිට පුලුවන් තරමින් ළමයෙකුට අකුරක් ඉගන්නුවා මිසක්, උදව්වක් කලා මිසක්. ඒත් ඇයි මේ මිනිස්සු මේ තරම් කුහක???"

"වෛරය ක්‍රෝධය වගා කරන අය ඒවම නෙල ගනී බං . . අපි ඔන්න ඔහේ පුරුදු විඩිහට කාටවත් වෛර නොකර, ඉරිසිය නොකර,කුහක නතිව ඉමු"

. . . .

දශක ගනනාවකට ඉහත සිදුවූ සිදුවීම් මාලාවක් ලෙස ලියා ඇති මේ පොතේ කතාවත් දශක දෙක තුනකට මෙපිට මෑත කාලයේ සිදුවූ මා දන්නා සත්ය සිදුවීම් මාලාවත් එකිනෙක සමපාත වූයේ නොසිතූ විරූ අයුරින්.

රාත්‍රී 12.30 ට පමන කොටසක් කියවා ඉතිරිය පසුව කියවමියි අදිටනින් අතට ගත් පොත කියවා නිමා වූයේ පසුදා පාන්දර 5ට පමන.

රෑ මැද්දේ බිරිදඟේ මැසිවිලි . . . "විකාරද මන්දා " . . . "නිදි මත නැද්ද? " . . "ලයිට් ඕෆ් කරලා නිදා ගන්න පිස්සු නතුව ". . . වලට හිනාවකින් විතරක් පිලිතුරු දී පොත කියවා නිමා කර උදේ පාන්දර නින්දට ගියේ

"මේ කතාව සත්‍ය කතාවක්ම විය හැකි නොවේදෝ" කියා සිතමින් සහ

අවෛරය, කරුණාව, මෛත්‍රීය, දයාව හා ඊර්ශ්‍යාවෙන් තොරවීම සැබෑ ලෙසම දියුනුවට ඉවහල් වෙනවා නොවේදෝ සිතමින් . . .

Thursday, April 22, 2010

තොටිලි වැටෙන් පනින පුතා ඒ වැටවල් බිඳිනු ඇතී . . . !



මගේ සොඳුරු ත්‍රස්තවාදියා වූ විරුල් ත් මමත් නිතර වාහන නො එන අපගේ නිවස ඉදිරිපස පාරේ බයිසිකල් පදිමින් සිටියෙමු.

කොළුවාත් හරි හරියට පැද්ද නමුත් ඔහුගේ වේගයෙන් ගිය විට මට ව්‍යායාමයක් නොලැබෙන බැවින් මා ඔහු ගැන තැකීමක් නොකොට වේගයෙන් එහා මෙහා ගියෙමි.

අපගේ පාරට හැරවූ වාහනයක් නෙත් මානයට හසුවූවා පමණි, මා වහා පුතා අසලට ගොස් සැබෑ සාම්ප්‍රධායික ආසියාතික පියෙකුගේ භූමිකාවට අවතීර්ණ වී ඔහු බයිසිකලය පාර මැදට දැමීමෙන් වැලකීමි.

වාහනය අප පසු කර ටික දුරක් යන තෙක් කොළුවා බයිසිකලය නතරකරගෙන සිටියේය.

පුතාව අණතුරක් විට හැකි සිදුවීමකින් වැලැක්වූ මා කෙතරම් ආදරබර පියාණන් කෙනෙක්දැයි සතුටක් මසිතේ උපන.

මා කෙතරම් ආදරබර පියාණන් කෙනෙක්දැයි වාහනයේ ගමන් ගත් අය සිතාවී යැයි සිතා සතුට දෙගුණ විය.

මොහොතකින් මට සිතුනේ මා කෙතරම් මෝඩයෙක්දැයි කියායි.

. . . . . .. .

පුංචි එකාට මා ලබාදුන් දුන් ආදර්ශය නැතහොත් ඔහුට ඒ සිදුවීමෙන් මා ඉගැන්වූ පාඩම නම් අභියෝග හමුවේ නොසැලී නොබියව එයට මුහුන දිය යුතුයි වෙනුවට අභියෝග දුටුවිට නතර වී බලා සිටින්න නැතහොත් අභියෝග වලින් පලා යන්න බව මට පසක් වන විට මා පමා වැඩිය.

කම් නැත හෙට දිනයේදී වාහනයක් එනවිට එයට ඉඩදී ඔහුත් ඔහුගේ ගමන යා යුතු බව කියා දීමට මා සිතා ගතිමි.

මගේ සිතේ ඔහු වෙනුවෙන් ඇති ආදරයේ නාමයෙන් ඔහුට, ඔහුගේ අනාගතයට අවැඩක් සිදුවන ලෙස හැසිරීමෙන් වලකින්නට මා ඉටා ගතිමි.

. . . . .. . .. . .. .

පෞරුෂ වර්ධනය ගැන මහා ඉහලින් කෑ කොස්සන් ගසන වැඩිහිටි අපි විසින්ම අනාගත පරපුරේ පෞරුෂ වර්ධනයට අකුල් හෙලන බව නොදකින්නෙමු. වැඩිහිටි බාල තරුණ මහලු කියා වෙනසක් නැත. අප සියලු දෙනා එකාවන්ව මේ වැරැද්ද යලි යලිත් කරමින් සිටින්නෙමු.

මොහොතක් තම ජීවිතය දෙස හැරී බලන්න. මේ පහත සඳහන් වැකි වලින් කීයක් අතීතයේදී ඔබ විසින් වෙනකෙනෙකු වෙත පවසා ඇත්දැයි කියා. වර්තමානයේ කී දෙනෙක් වෙනුවෙන් මෙවන් වැකියකින් දමා ගසා සමච්චල් කිරීමට පෙලඹීමට ඔබ දෙවරක් සිතයිද කියා . . .

"හා හා රෑට සිංදු කියන්න එපා නරි එනවා. "

"බලන්නකෝ මෙයා ඩාන්ස් කරන්නේ හරිය ට මඩ තලනවා වගේ නේ. "

"අපෝ උඹ සිංදු කියන කොට ගැරඬි කකුල් කඩාගෙන දුවන්නේ. "

"ඒයි මෙන්න මූට ඉංග්‍රීසි බඩ යනවා."

"ඔයා ලියන ඒවා හරියට සුජීව XXXX ලියන ඒවා වගේ හරිම බොලඳ කිසිම තේරුමක් නැති ඒවනේ. "

"මේ මොකද මේ සික්ස් එයිට් සිංදුවක් ඇහෙනකොට ම මූ දඟලන්නේ කරන්ට් එක වැදුනද. "

"ඔයා ලියන කවි, කවි කියලා ඔයාට ෂුවර්ද??"

"අපෝ ඔයාට ගස් නගින්න බෑ පැත්තකට වෙන මම කෙක්කෙන් කඩලා දෙන්නම්. "

"බයිසිකල් පදින්න ගිහින් තුවාල කරගෙන එනවා නෙමෙයි ගෙදර. "

"ඔයාව තනියෙම මාර්කට් යවන්න බෑ ඔයාට තේරෙන්නේ නෑ බඩු ගන්න. "

"මගුල් ගෙදර ගිහින් කතා පවත්වන්න කිව්වොත් බෑ කියන්න හොඳේ. ඔයාට පුලුවන්ද සභාවක් ඉස්සරහා කතා කරන්න. "

මේ මතකයට නැගෙන කීපයක් පමනයි. ඔබට මතකයට නැගෙනවානම් සටහන් තබන්න.

මේ වචන හරහා අපි උත්සාහ කලේ කෙනකුගේ පෞරුෂ වර්ධනයට උපකාරයක්ද . .??

මොහොතක් සිතන්න. මේ එක කුඩා වචනයකින් අප අනාගතයේ මහා යුග පුරුෂයෙක් විය හැකි කීදෙනෙකුගේ ගමන් මඟ ඇහුරුවාද කියා.

අනාගතයේ ලොව සුපතල නැට්ටුවෙක් විය හැකි අයෙක්, ගායකයෙක් විය හැකි අයෙක්, කවියෙක් විය හැකි අයෙක්, නවකතා කරුවෙක් විය හැකි අයෙක්, නොවේද ඔබ අකර්මණ්ය කලේ වචන මඟින්.

කොටින්ම තමා තුල තමා කෙරෙහි ස්වයංවිස්වාසයක් නැති පුද්ගලයෙක් බිහි කරන්න ඔබේ වචන හේතු විය හැකි යැයි ඔබට මොහොතකට වත් සිතෙන්නේ නැත්ද?

. . . .. . . .. .

මා කුඩා කල මගේ මව්පියන් විසින් පවුලේ එකම පිරිමි දරුවා වූ මා රැක බලා ගත්තේ ඉතා අත්තනෝමතික ලෙස.

ගේ ඉදිරිපස තිබූ අතුපතර විහිදී ගිය විශාල අරලිය ගසේ අඩි 15ක් 18ක් උසින් ඇති කරුවට නැගීමට නංගීට අවසර ඇතත් අඩි 7කට වඩා ඉහලින් ඇති අත්තකට යාම මට තහනම්.

පාසැල් විනෝද චාරිකා වලට සහභාගී වීමට අක්කාට නංගීට අවසර ඇතත් මට ඒවාට අවසර නැත.

"පුතාගේ ඔලුවේ සුලියයි පිටේ සුලියයි සුලි දෙකක් තියෙනවානේ ඒක නිසා මෙයාට වතුරෙන් අගුනයි. මම කොහේවත් යවන්නේ නෑ ගඟක මූදක නාන්න" කියා අම්මා ආඩම්බරයෙන් කියන කොට "වතුරෙන් අගුනයි නම් හදිසියකදී ජීවිතේ බේර ගන්න කියලා නම් පීනන්න උගන්වනවා මිසක් වතුරෙන් අයින් කරලා තිබ්බාම හරි යනවද" කියලා අහන්න හයියක් ලැබුනේ පීනන්න ඉගෙන ගන්න වැය කරන්න තරම් කාලයක් නැති කාලෙක බව මතක් වෙද්දී දෙමාපියන් ගැන ඇති වෙන්නේ සියුම් තරහක්.

උසස් පෙල කරන වයසේදී මට තනිවම බස් රියකින් යා හැක්කේ පිටකෝට්ටේ නිවසේ සිට උපකාරක පංති තිබූ නුගේගොඩ ටත් අම්මාගේ කාර්‍යාලය තිබූ බොරැල්ල ටත් පමනයි. එයත් පිටකෝට්ටේ සිට එක බස් එකෙන් යා හැකි නිසාවෙන්.

පසු කලෙක මා නිදහස සොයා ගත්තේ බලෙන්. නිවසින් පිටවීමේදී අම්මා සමඟ ඇතිවන දෙබස් බොහෝ විට පහත පරිදියි:
"කොහේද යන්නේ"
"එලියට"
"කීයටද එන්නේ"
"එන වෙලාවට"
"කාත් එකක්ද යන්නේ"
"මනුස්සයෝ එක්ක"


නිදහස නොදී බලෙන් හිරකර සිටි අවදියේ තිබූ තරහා පිට වූයේ එලෙසින්. වාසනාවට මා ඇසුරු කලවුන් අතර මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවූවන් කිසිවෙක් සිටියේ නෑ. සිටියානම් ඔවුන් ආරාධනා කලානම් දෙමාපියන් සමඟ තිබූ තරහාව පිට කර ගනීමේ මාර්ගයක් ලෙස මාත් ඔවුන්ගේ ගොඩට වැටෙන්න දෙපාරක් නොහිතන බව මට හොඳටම විස්වාසයි.

අපගේ ඥාතියෙක් ඔහුගේ පුතුන් තිදෙනාව හැදුවේ කිසිම පිටස්තර අයෙක් හා කිට්ටු ඇසුරක් තබා ගන්නට ඉඩ නොදෙමින්, තනිවම ඔවුන් ගෙයින් එලියට වත් නො යවමින් හා ඔවුන්ට කිසිම වැඩක් පලක් කරන්න ඉඩක් නොදී ඔහු විසින්ම සියලු දේ ඉටු කිරීමෙන්. ඔහුගේ බිරිඳ ටිකක් අන් අයට ඊර්ශ්‍යා කරන අන් අය සමඟ සුහදව දිවි ගෙවන්න නොදන්නා අයෙක්. ඈත් දරුවන්ට උගන්වන්න ඇත්තේ (අනුමානිකව ) තමන්ගේ පවුලේ අය හැර අන් අය ඔවුන්ට සතුරු ලෙස.

දක්ෂ දරුවන් වුවත් අද දවසේ ඔවුන් සාපේක්ෂව ඉදිරියට ගිය අය නොවේ. සාමාන්‍ය රැකියා කරගෙන කිසිවෙක් ඇසුරු නොකර ඉතා සාමාන්‍ය ලෙස දිවි ගෙවනවා. කලාතුරකින් මුනගැසෙන පවුලේ ලඟම නෑදෑයන් සමඟ පවා ඔවුන් වචන 10කට වැඩිය කතා නොකරන බව දනිමි. තිදෙනාම විවාහකයින්, දෙදෙනෙක් පියවරු. ඔවුන්ගේ පියා විශ්‍රාම ගියා වුවත් තාමත් දරුවන් වෙනුවෙන් අතිරේක රැකියා කරමින් මුදල් උපයනවා. මගේ හැඟීම නම් පියාගේත් මවගේත් ඉහවහාගිය මෝඩ ආදරය ඔවුන්ට සිදු කලේ අවැඩක් කියන එකයි.

"අපේ පුතාව අපි ගෙයින් එලියට යැව්වේ නෑ. පරිස්සමින් හැදුවේ. කාන්ඩෙට යැව්වේ නෑ, ගංගාවල් වල නාන්න යන්න දුන්නේ නෑ . . . හරිම ආදරෙන් හැදුවේ" කියා අම්මා ආඩම්බරයෙන් කිසිවෙකුට පවසන වෙලාවල් වල
"ඔව් ඔව් මම බලෙන් එලියට ගිහින් සමාජේ ආශ්‍රය නොකලානම්, මටත් මෙයාලට ගෙවල් දොරවල් හදලා දීලා ජීවත් වෙන්න මාසේ ගානේ සල්ලි එවන්න නෙමෙයි අර XXX ගේ (ඉහත සඳහන් කල ඥාතියාගේ නම ) පුතාල වගේ අම්මයි තාත්තයි මැරෙනකම් හම්බුකරලා මට ගෙනත් දෙනකම් ගෙදරට වෙලා බකංනිලාගෙන ඉන්න එකෙක් වෙන්න තමයි ඉඩ තිබුනේ" කියා කෑ ගසන්නේ ඉමහත් කේන්තියෙන් . . .

. . . . . .. . . .. . .

හිතන්න දරුවන්ගේ පෞරුෂ වර්ධයනට මුලින්ම වැටකඩොලු බඳින්නේ කිසිවෙක් නොවේ දෙමාපියන්. එය ඔවුන් (අප ) තදබල ආදරය ලෙස හඳුන්වන බවත් කීමට මා මොහොතක් වත් පැකිලෙන්නේ නෑ. අබේවර්ධන බාලසූරිය මහතාගේ "තොටිල්ලෙ ලී වැටෙන් එහා තව වැටවල් ගොඩක් ඇති . . තොටිලි වැටෙන් පනින පුතා ඒ වැටවල් බිඳිනු ඇතී" කියන ලෙස පුතාට තොටිලි වැටෙන් පනින්න ඉඩ දෙන්න . . . දුරින් සිට ඔහු දෙස බලා ඉන්න . . . ඔහු වැටෙන්න ගියොත් පමනක් උදව් දෙන්න . . . තොටිලි වැට පනින පුතා අනෙක් සියලුම වැටවල් බිඳ අභියෝග ජයගෙන ලෝකය ජයගෙන එන දවසට ඔහු හා එක් වී සිනා සෙන්න . ..

තොටිල්ලෙ ලී

තොටිල්ලෙ ලී වැටෙන් එහා
තව වැටවල් ගොඩක් ඇති . .
තොටිලි වැටෙන් පනින පුතා
ඒ වැටවල් බිඳිනු ඇතී
තොටිල්ලෙ ලී වැටෙන් එහා

බුදුන් දවස මර දූවරු
මපුතනුවන් මුණගැසෙතී
උන්ගේ සිව් සැට මායම්
මගේ පුතුට අරුම නැතී

තොටිල්ලෙ ලී

බිතු සිතුවම් රූ මෙන් සිටි
මිතුරෝ හෙට සතුරු වෙතී
උන් සදනා මළපුඬු වල
මගේ පුතා බැඬ්නු නැතී

තොටිල්ලෙ ලී

Tuesday, April 13, 2010

තංගච්චී Tongue දාන්න එල්ලියට . . . . !



පටන් ගන්නත් කලින් කියන ඕන මේක "වල්" කතාවක්.

කලින් මම ලියපු "දරුපල ප්‍රමාද නම් Sperm Test එකක් කලොත් නරකද?" කියන පෝස්ට් එකට කමෙන්ට් එකක් දාපු කෙනෙක් කියලා තිබුනා ඒක “වල්” කතාවක් කියලා.

ඒ කමෙන්ට් එක මම හිතුවා "වල්" කතා කියවන්න අකමැති අයත් ඉන්නවා කියන්න දුන්නු රතු එලියක් කියලා.

කොහොමත් මම ඒ කමෙන්ට් එකට පිලිතුරු ලෙස ලිව්වා, මීට පස්සේ මේ වගේ "වල්" කතා ලියනකොට ඒ බව කලින්ම කියනම් කියලා.

ඔන්න කිව්ව වගේම මම උඩින්ම ඒ බව ලිව්වා හොඳේ.

ඒක නිසා ලිපියේ අන්තර්ගතය ජීර්ණය නොවුනට වැරදි කාරයා මම නොමෙයි හරිය . . ?

"වල්" කතා ජීර්ණය කර ගත හැක්කෝ කියවා ජීර්ණය කර ගනිත්වා. . . නොහැක්කෝ නොකියවා අජීර්ණය සාදාගැනීමෙන් වලකිත්වා. . . .

අහ් ඒ කමෙන්ට් එකට ඌන පූර්නයක් විදිහට අපේ මේ "හද ගී පොත" ලියන මගේ මිතුරු තිසා මහත්තයා ලියලා තිබුනා පොඩි කතාවක්. පොඩි කිව්වට ඒක ඇස්ටි හැලෙන කතාවක් . . මේ තියෙන්නේ ඒ කතාව.

" තිස්ස දොඩන්ගොඩ said...

ඕකේ ඔය කියන තරම් වල් ගතියක් නෑ... තේරෙන කෙනාට තේරෙන්නත් නොතේරෙන කෙනාට නොතේරෙන්නත් කථාව යසට ලියලා තියනවා...

සමාන කථාවක්..

මනෝ වෛද්‍යවරයකු ගාවට එක්කන් ගිය පුද්ගලයෙක්... ඔහුට තිබිච්ච ලෙඩේ අසැබි මානසිකත්වය ඉහවහා යාම...

දොස්තර පොතක සිරස් ඉරක් ඇඳලා අහනවා මේ මොකද්ද කියලා

"ආ මේ නිරුවත් කාන්තාවක් හිටගෙන ඉන්නවා..."

තිරස් රේඛාවක් ඇන්දම

"ආ මේ ඒ කාන්තාව හිරු ‍රැස් තපිනවා..."

V අකුරක් මුනින් නවල ඇන්දම

"ඔහ් ඒ ගමන ව්‍යායාම කරනවා වාගේ..."

දොස්තර කියනවා " හරි මට තේරෙනවා ඔබට තියන ලෙඩේ... ඔබට තියෙන්නේ හැම දෙයක් දිහාම කාම ඇසකින් බැලීම..."

එතකොට ලෙඩා කියනවා "මට...ලෙඩක්...?? එතකොට මෙච්චර වෙලා ජරා පින්තූර ඇන්දෙ ඔහේද මමද...?

හැමවිටම අධ්‍යාපනයම ඕනේ නෑ... ඉඳහිට හිනාවෙන්නත් අපට ඕනේ... "


. . . . . . . . . . . . . . . . . . . . ..

පහුගිය දින කීපයේ, සති කීපයේ යහළු යෙහෙලියන්ගේ හා දන්නා කියන අය කීප දෙනෙකුගේ ප්‍රශ්න වගයකට ඇහුම්කන් දෙන්න සිදුවෙලා . . . බැලුම්ලන්න සිදුවෙලා (වැරදියට ගන්න එපා - මූනු පොතට, ඊමේල් වලට ආපු දුක් ගැනවිලි තමයි ඔය බැලුම් ලාපුවා හොඳේ) ඒගැන මගේ හිතේ ඇතිවුනු හැඟීම් දවසක් උදේක වැඩයට යන ගමන් එක පාරටම කවියක් වෙලා ගලාගෙන ආවා, මම ඒ ගලාගෙන ආපු වචන ටික කොලේකට දාලා හතරට නවලා ලාච්චුවේ දාලා අරන් තිබ්බා පස්සේ වෙලාවක බ්ලොග් එකට දාන්න කියලා. . . .

මේ අවුරුදු කටේ තියාගෙන ලේ රත්වෙන දේවල් මොකට කියනවාද (ලියනවද) කියලා හිතලා කට්ටිය සෙට් වෙච්ච වෙලාවක (අවුරුදු නිසා කස්ටිය සෙට් වෙනවනේ මේ දවස්වල) හැමෝටම කියලා රසවිඳින්න පුලුවන් වර්ගයේ කතාවක්ම කියන්න ඕන කියලා හිතිලා මේ කතාව කියන්න (ලියන්න)හිතුවා.

මොකද අපිත් පවුලේ කස්ටිය සෙට් වෙච්චි වෙලාවට අපේ ගෙදර වැරැන්ඩා එකේ පැදුරු දාගෙන දෙගොඩහරියක් වෙනකම් කරන්නේ මේ වගේ රසකතා කියන එක තමයි.

අම්මයි, අක්කයි - මස්සිනයි - අක්කගේ ළමයි ටිකයි, නංගීයි - මස්සිනයි - ළමයිනුයි, මායි අපේ ගෙදර උන්දැයි (ගෙදර උන්දැ සැට් වෙන්න කලින් ඉඳන් මේ අපේ තිබුනු පුරුද්දක්) තමයි මේ පැදුරු කතාබහට සැට් වෙන්නේ. අපේ තාත්තා ටිකක් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වර්ගයේ නිසා "ඔය කුනුහරුප නොකියා වෙන වැදගත් දෙයක් කතා කරපන්" කියලා කියනවා මිසක් මේ කතාවලට සැට් වෙන්නේ නෑ. හැබැයි එයා දෙකක් දාගත්තු වෙලාවට වතුවැඩට උදව් දෙන එයාගේ ගෝලයාට කුනුහරුප කියලා බනින කොට නම් මම අහගෙන ඉඳලා පහුවදාට කියනවා එයාට බීපුවා යි කියපුවායි වමාරන්න හිතෙන විදිහට . . .

අනිත් එක මී පැනි වුනත් නිතර කනකොට තිත්තට දැනෙනවා කියලා මම අහලා තියෙනවා. ඒක නිසා මී පැනි වල නියම පැනි රහ දැනෙන්නත් එක්ක ඉඳලා හිටලා කරවිල කෑවට කමක් නෑ කියලයි මට හිතෙන්නේ . . .

මේ කතාව මට කිව්වේ මගේ මිතුරු ප්‍රින්ස්. මේ කතාව අහපු දවසේ ඉඳන් අද වෙනකම් මට මතක් වෙන මතක් වෙන පාරට හිනා යනවා. (ගොඩක් අය අහලාත් ඇති මේ කතාව )

වෙන වැල් වටාරම් ඕන නෑ . . මෙන්න කතාව.

දුෂ්කර ගම්මාන වල තාවකාලික වෛද්‍ය සායන පවත්වන එක තාමත් රාජ්‍ය වෛද්‍ය සේවයේ අනිවාර්ය අංගයක් මම දන්නා තරමින්. ඒ කියන්නෙ මේ තේරෙන විදිහට කිව්වොත් රෝහලක්, ඩිස්පැන්සරියක් ලඟපාතක නැති ඈත දුෂ්කර ගම්මාන වලට වෛද්‍ය වරයෙක් හෝ කීප දෙනෙක්, හෙදියක් හෝ කීප දෙනෙක් තව සේවක සේවිකාවෝ කීප දෙනෙක් ගිහින් එක දවසින් වගේ ඒ ගමේ රෝගී අයව පරීක්ෂා කරලා නියමිත බෙහෙත් ලබා දෙන එක තමයි මේ තාවකාලික වෛද්‍ය සායන කියන්නේ මම හිතන විදිහට.

ඔන්න මේ වගේ තාවකාලික වෛද්‍ය සායනයකට දමිළ වෛද්‍යවරයෙකුට තනියෙම සහභාගී වෙන්න සිදු වුනාලු. මේ වෛද්‍යවරයාට එතරම් හොඳින් සිංහල කතා කරන්න ත් බැරිලු. මොනා වුනත් ඒ දවසේ කරන්න වෙන කිසිම දෙයක්, දෙන්න කිසිම විකල්ප විසඳුමක් නැති කමින් ඔහුට ඒක සායනයට යනන්ම සිදුවෙලා . . .

සායනය තිබිලා තියෙන්නේ පාසැලක. රෝග පරීක්ෂාවට ලක්වෙන රෝගීන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කල යුතු නිසා එක පංති කාමරයක තිර රෙදි වලින් වටකර ඒ මැද මේසයක් මේසයක් පුටු දෙකක් ඇතුලු අවෂ්‍ය අනෙකුත් උපකරන තව තිබුනාලු.

ඔන්න ඉතිං මේ තිර රෙදි වටකරපු පංති කාමරයේ වෛද්‍යවරයා රෝගීන්ට ආපු පිලිවෙලට රෝග පරීක්ෂා කරලා බෙහෙත් නියම කරමින් ඉන්නවාලු. වෛද්‍යවරයාගේ සහයට සිටින හෙදියත් මොකද්දෝ උවමනාවකට එලියට ගිය අල්ල පනල්ලේ ඊලඟ රෝගියා ආවලු.

මොකද්ද වැඩක් කරමින් සිටි වෛද්‍යවරයාත් ඔලුව උස්සලා බැලුවාම දැක්කේ අවුරුදු 25ත් 30ත් අතර වයස, මල් මල් චීත්ත රෙද්දකිනුත් කර හොඳටම පලල් නමුත් බෝරිච්චි අත්දාපු හැට්ටයක් ඇඳපු ඇඟපත් ටිකක් මහත දෙහෙතට හැදුනු කාන්තාවක් බෙහෙත් ගන්න තනියෙම ඇවිත් ඉන්නා බවලු.

වෛද්‍යවරයා වයස අවුරුදු 35ක විතර තරුණ අයෙක් නිසා බොහෝම කරුණාවෙන් අර කාන්තාවට හිනාවක් දාල . .

"යින්ද ගන්ඩ තංගච්චී . . " කිව්වලු.

අර කාන්තාවත් ඇගේ රියසකයුරු පුළුලුකුල වන වන ඇවිත් වෛද්‍යවරයා ලඟ තිබුනු පුටුවේ ඉඳ ගත්තලු.

"යේක මොක්කද ලෙඩේයි තංගච්චී" කියලා අර ඩොකා මහත්තයා ඇහුවලු.

අර කාන්තාවත් තමන්ගේ රෝග ලක්ෂන ටික ඔක්කෝම කිව්වලු.

වෙද නලාව අරගෙන පිටට, හංසයෝ එලියට පනින්න ඔන්න මෙන්න තියෙන පපුවට එහෙම තියලා ඉවර වෙලා ඇස් දෙකත් චෙක් කරලා ඉවර වෙලා රෝගියාට කිව්වලු

"තංගච්චී Tongue දාන්න එල්ලියට" කියලා . ..

අර කාන්තාව ඇස් ගෙඩි දෙක ලොකු කරලා බලාගෙන ඉන්නවලු ඩොකා මහත්තයා දිහා . . .

ඩොකා මහත්තයා ආයේ පාරක් කිව්වලු "තංගච්චී ටන් (Tongue) දාන්න එල්ලියට" කියලා . ..

මේ ගෑනි නැහැලු කිසි හෙලවිලල්ක්. . කන්න වගේ ඩොකා මහත්තයා දිහා බලාගෙන ඉන්නවලු.

ඩොකා මහත්තයා ට ටිකක් තරහ ගිහින් වගේ කිව්වලු "ආඬවනේ . . තංගච්චී  ටන් (Tongue) දාන්න එල්ලියට" කියලා . ..

වට පිට බලපු අර ගෑනු කෙනා එක පාරටම හැට්ටෙ ඇතුලට අත දාලා එක හංසයෙක් දැම්මලු එලියට . ..

ඩොකා මහත්තයා ෆුල් හොල්මංලු . . .

බය වෙච්චි පාර ඩොකා මහත්තයා "නේ නේ තංගච්චී . . . ඔය ටං නෙමේ . . . අනෙක් ටන්  අනෙක් ටන් . . " කිව්වලු . . .

අර ගෑනු කෙනාටත් දැං ටිකක් මල පැනලා වගේ ලු . . . ගෑනි මූන රකුසු කරගෙන හැටේ අස්සට අත දාලා අනෙක් හංසයාවත් එලියට දැම්මලු . . . . ..

ඩොකා මහත්තයාට හීං දාඩිය දාලලු . . .

"අයියයියෝ . . නේ නේ . . . තංගච්චී . . . මම කීවේ කටේ ටන් කටේ ටන් " කියලා කට ඇරලා කටේ ඇතුල පෙන්නුවාලු . ..

අර ගෑනු කෙනා අල්ල ගත්තලු ඩොකා මහත්තයාගේ ඔලුවෙන් . . . අල්ලලා එබුවලු අර එලියට ගත්තු හංසයෙක් ඩොකා මහත්තයාගේ කටේ . .. . !

අනේ වැඩේ කියන්නේ අර ගෑනු කෙනාට ඉංග්‍රීසි තේරෙන්නේ නෑලු . . .

. . . .. . .

හැම දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා . . .

Sunday, April 11, 2010

ආසන දෙකේ බණ සහ මල්සරා ගේ දුන්න . . . !

අපේ අම්මා කෙල්ල කාලේ හරි හැඩකාර ගැටිස්සියෙක් . .

බොරු නෙමේ බලන්න ඔය පහල පින්තූරේ. ඕක අරගෙන තියෙන්නේ අම්මට අවුරුදු 21 දී.



අම්මගේ තාත්තා හෙවත් අපේ අත්තා තරුණ කාලේ ඉඳන් ජ්‍යෝතිෂය හා කැඩුම් බිඳුම් වෙදකම ඉගෙන ගෙන බොහොම සාධාරනව ඒක සේවයක් විදිහට කරමින් හිටි කෙනෙක් නිසා පලාතේ ටිකක් ජනප්‍රිය කෙනෙක්.

අත්තගෙන් ඉගෙන ගන්න කියලා ආපු දන්න කියන පවුලක කොල්ලෙක් අම්මලගේ පවුලේ ලස්සනම කෙල්ල හෙවත් වැඩිමහල් කෙල්ල වුනු අපේ ලොකු අම්මගේ හිත ඩැහැගෙන හොරෙන් පන්නගෙන ගියායින්. . . අපේ අත්තා අම්මලගේ නිදහසට උපරිමයෙන් සීමා පැනෙව්වලු .

අම්මට ටිකක් ඉගෙන ගන්න පුලුවන් කම තිබුනා කියලා අම්ම කියනවා ඒත් අත්තා කැමති වුනේ නෑලු එස්.එස්.ඊ (S.S.E = O/L) වලින් එහා උගන්වන්න.

අනිත් ලොකු අම්මවත් (අම්මගේ පොඩි අක්ක)එයාගේ අකමැත්තෙන් ම බන්දලා දීලා පස්සේ අම්මට මගුල් හොයන්න පටන් අරන් . එකෙන් බේරෙන්න අම්මා කරලා තියෙන්නේ ජ්‍යෝතිෂය ඉගෙන ගන්න ඕන කියලා රන්ඩු කරපු එකලු. හැබැයි අපේ පුංචි නම් කියන්නේ ගෙදර දොරේ වැඩ කරන්න කම්මැලි නිසාත් තමයි අපේ අම්මා ඒ Option එක තෝරා ගත්තේ කියලා.

ගෙනාපු මංගල යෝජනා ඔක්කෝම අම්මා මග හැරියලු "කළුයි, කැතයි, තට්ටේ, බඩ වැඩී, වයස පරතරේ වැඩී, දුර වැඩී " වගේ හේතු කියලා බැරිම උනාම කිව්වේ මට මේක (ජ්‍යෝතිෂය) හරියට ඉගෙන ගන්න දෙන්න කියලලු . . . (කපටි නෑ)

පස්සේ අත්ත අම්මට මගුල් හොයන එක පැත්තක තියලා අපේ පුංචිට මගුල් හොයලා එයාව අවුරුදු 19න් ම බන්දලා දෙන්න තීන්දු කලාලු
කෙනෙකුට.

. . . . . .. . . . . . . . . . . . . . . . . .

අපේ තාත්තත් තරුණ කාලේ හරිම කඩවසම් ඉලන්දාරියා.

ඒකත් බොරු නෙමේ, බලන්න ඔය එයාලගේ මගුල් පින්තූරේ දිහා . . .



ගෙවල් කොළඹින් ටිකක් දුර, ඒත් කොලඹ රැකියාවට දවස ගානේ යන එනවාලු.

දවසක් පවුලේ දුරින් නෑදෑ වෙන පවුලක තරුණයෙක් කසාද බඳිනවා කියලා තාත්තලගේ මුලු පවුලටම ආරාධනා ලැබුනත් ගමන් බිමන් අපහසුව මග හරවා ගන්න තාත්තා මුලු පවුලම නියෝජනය කරමින් ඒ මගුලට සහභාගී වුනාලු. . .

ඒ දුරින් නෑදෑ වෙන තරුණයා තමයි තරුණයා අපේ පුංචිව කසාද බැඳපු බාප්පා. මනමාලි අපේ පුංචි (එහෙමනේ ඉතිං . .)

ඉතිං ඔන්න ඔය මගුල් ගෙදරදී තමයි ඔය අනංගයාද මොකාද එකා හෙවත් මලසරා උගේ මල් දුන්නෙන් අපේ අම්මටයි තාත්තටයි විදලා තියෙන්නේ . . . !

අත්තට කොච්චර බය උනත් අම්ම කතා කර කර ඉන්න ගමන් ගෙදර එඩ්‍රස් එකත් දෙන්න ඇති.

පුංචිගේ මගුලෙන් පස්සේ තාත්තා බොරු බොරු හේතු හොයාගෙන අම්මලගේ ගෙදර නිතර එනවාලු. බලන්න ආපු අනිත් මනමාලයින්ගේ ඇද හෙව්ව උනත් අම්මත් ඇඟිරි බැඟිරි දාන්න ඇති . .

අත්තත් ඉතිං ඔය වයස පහුකරලනේ එන්න ඇත්තේ . . . එයා කිව්වලු "ඔය ලමයා මෙහේ නිතර නිතර එන්නේ මොකක් හරි මගුල් පරස්තා කටයුත්තක් ගැන හිතේ තියාගෙන නම් ඊලඟ පාර එනකොට හඳහන අරන් එන්න" කියලා . . .

ඔන්න ඔහොමයි ඒ දෙන්න සැට් වෙලා තියෙන්නේ. . . . !

හැබැයි අපේ තාත්තා නම් ඒ ගැන කියන්නේ කියන්නේ වෙනස් කතාවක් . . .

. . . . . . . . . . . . . . . . . . . . . . . . .

ඔයාලා ආසන දෙකේ බණ අහලා තියෙනවාද? මම නම් පුංචි කාලේ එක පාරක් අහලා තියෙනවා.

අපේ ගමේ පංසලේ එක පාරක් ලොකු පෝයකට ඔය ආසන දෙකේ බණක් සංවිධානය කරලා තිබුනා . . . ඒක මෙන්න මෙහෙමයි . .

බණ මඩුවේ හරි මැද්දේ වේදිකාව උඩ පිරුවට අතුරපු ආසන දෙකක් තියෙනවා. . . හාමුදුරුවරු දෙන්නෙක් ඒ ආසනවල ඉඳගෙන ඉනන්වා. එක හාමුදුරු කෙනෙක් බණ කියලා ටිකකින් නතර කරනවා . . . ඔන්න අනිත් හාමුදුරුවෝ එතන ඉඳන් ඒ බණ කතාව කියගෙන යනවා .. (මේ මට මතක තිබුනු හැටි .. කෝ මේ තරිඳු යි මාරයයි )

. . .. . .. .

මගේ පලමු රැකියාවේ ඉඳන් අද වෙනකම් මොකද්දෝ හේතුවකට සමහර මට වැඩිය බොහෝ සුදුසුකම් තියෙන අයට වඩා වැඩි ඉපයීමක් කරන්න මට පුලුවන් වෙලා තියෙනවා. ටෙක් යන කාලේ මගේ මිතුරු මිතුරියෝ (ඒ වෙනකොට තව තව කෝසස් කරලා වැඩිපුර සුදුසුකම් තියෙන අය ) රු. 1,000 ක හරි 1,500ක හරි වැටුපක් ගන්න කොට ඊට කලින් එක කෝස් එකක් විතරක් කරලා තිබුනු මම රු. 6,000ක් විතර වැටුපක් ලැබුවා. ඒ අතරට ප්‍රයිවෙට් කරලා තව රු. 25,000ක් විතර ඉපයුවා.

හැබැයි ඉතිං උපයපු හැම සතේම වියදම් කලේ ඇඳුම්,සපත්තු ගන්නයි; යාලුවෝ එක්ක ට්‍රිප් යන්නයි, පාර්ටි දාන්නයි තමයි. සමහර මාස වල මාසේ අන්තිමට අම්මගෙනුත් සල්ලි ඉල්ල ගන්නවා වියදමට.

. . . .. . . .. . . ..

දැං කස්ටිය බලනවා ඇති අපේ අම්මටයි තාත්තටයි මල්සරා විදපු එකෙයි . . ආසන දෙකේ බණ වලයි . . මගේ ඉපයීම් වලයි තියෙන සම්බන්දේ මොකද්ද කියලා . . .

මෙන්න මෙහෙමයි . .

මම ඔය හම්බු කරන්න ගත්තු කාලවලදී කවදාවත් ගෙදරට සතයක් වත් දෙන්නේ නෑ. ඒ තියා අම්මගෙනුත් සල්ලි ඉල්ලගන්නවා කියලා කිව්වනේ. කීයක් වත් ඉතුරු කරන්නේ නෑ. අඩු තරමින් Savings Account එකක් වත් නෑ. (ඒවා අඩු වැඩි වශයෙන් තාත්තගේත් වැරදි ම් ම් ම් )

සමහර වෙලාවට මම සාලේ සෙටියේ ඉඳගෙන පොතක් එහෙම බලන කොට ඉස්සරහා පුටු දෙකේ අම්මයි තාත්තයි ඉඳ ගන්නවා.

ඉඳගෙන පටන් ගන්නවා ආසන දෙකේ බණ . . .

අම්මා: ඈ බං . . උඹ මාසෙකට කීයක් හම්බු කරනවද?

තාත්තා: ඒකෙන් කීයක් උඹ ගෙදරට දෙනවාද? කීයක් ඉතුරු කරනවාද?

අම්මා: ගෙදරට නම් නොදුන්නට කමක් නෑ. මොනාද උඹ ඔය සල්ලි වලින් කරන්නේ?

තාත්තා: අර අපේ පක්සේ අරමුදලට වත් උඹ ගානක් දුන්නද මේ වෙනකම්?

අම්මා: ඒකට නම් දෙනවට වැඩිය හොඳයි බල්ලනට ආප්ප අරන් දෙන එක. මාසෙකට කීය කීය හරි ගෙවන්න ඉඩම් කෑල්ලක් ගනින් . ඒත් නෑ. හැබෑට උඹ ඒ සල්ලි වලට මොනාද කරන්නේ . .

. . . . . . . . .. .

මම ඉතිං ඔය ආසන දෙකේ බණ අහගෙන ඉඳලා බැරිම තැන කරන්නේ වචනයක් වත් කතා නොකර ගිහින් කාමරේ දොර ඇරලා එලියට පේන්න අල්මාරියේ දොර පියන් දෙකම ඇරලා ගත්තු ඇඳුම්, සපත්තු, පොත් (නවකතා) එහෙම පෙන්නලා කියනවා මෙන්න සල්ලි වලින් කරපු දේවල් කියලා . . . !

මුල් කාලේ ආසන දෙකේ බණ වලට ඔය විදිහට ප්‍රතිචාර දැක්වුවත් මම පලමුවෙන්ම පිට රට රැකියාවකට ගිහින් අවුරුද්දකට පස්සේ මාසෙක පඩියයි . . . නිවාඩු පඩියයි විතරක් අරගෙන ගෙදර ආපු වෙලාවේ (යාලුවන්ගේ මගුල් වලට, ඔපරේෂන් වලට, උන්ට ජොබ්ස් හොයලා දෙන්න වීසා ගන්න, නෑදෑයන්ගේ උවමනා වලට සල්ලි එවලා . . ඔය වගේ දේවල් නිසා මාස 11ක්ම හම්බු කොරපුවා සීරෝ වෙලා තිබුනේ) නම් පාවිචි කලේ වෙනස්ම ක්‍රමයක්.

ඔන්න දෙන්නම සුපුරුදු පරිදි ආසන දෙකේ බණ පටන් ගන්නවා.

පටන් ගත්තේ තාත්තා නම්

"අයියෝ අම්මේ . . මොන මගුලටද කකුල් ගෙවෙනකම් ගෑටුවා කියලා අනුකම්පාවට මෙයාව කසාද බැඳ ගත්තේ . . . හරි කරච්චලයක්නේ බලන්න . . ." කියලා අම්මගෙන අහනවා

"ඔව් බන් පෙරේතයෝ පිං ඉල්ලනවා වගේ හමදාම අපේ ගෙදර එන කොට ඔය අපේ තාත්තනේ කිව්වේ . . . හඳහන අරන එන්න කියලා" අම්මා කියනවා

"හප්පෝ . . පෙරේතයෝ පිං ඉල්ලනවා වගේ බඩ ගාලම ගිහින් ඉල්ලගනන් වටින බඩුව . . . මම ගිය එකක් නෑ බං, මෙයානේ මේ ලොකු අයියා අතේ මගේ ඔෆිස් එකට පනිවිඩ එවලා මාව ගෙන්න ගත්තේ" කියලා තාත්තා කියනවා . . .

"අම්මේ ඔව් පනිවිඩ යවලා ගෙන්න ගෙන බැඳ ගන්න තරම් රාජ කුමාරයා . .. " අම්මත් අරින්නෙ නෑ . .


ආසන දෙකේ බණ අම්මා පටන් ගත්තොත් මම තාත්තගෙන් අහනවා . .

"හෆොයි තාත්තේ . . වෙන ගෑනු හිටියේ නැද්ද රටේ . . මෙයාලගේ ගෙදරට බඩගාල බඩගාල මේ කටු අත්තෙම පැටලුනේ . . ." කියලා .. .

"මම බඩ ගාපු එකක් නෑ බං, මෙයා මේ ලොකු අයියා අතේ මගේ ඔෆිස් එකට . .. . .. " බ්ලා බ්ලා බ්ලා කියලා දෙන්නා සුපුරුදු වාදේ කරගන යනවා .

දෙන්නටම මතක නෑ පටන් ගත්තේ මට බනින්න කියලා . ..

මම ඉතිං ෆුල් ජොලියේ පැත්තකට වෙලා බලන් ඉන්නවා.



Monday, April 5, 2010

If you Love Something Set it Free . . !



අසන්න මේ සුරංගනා කතාවක් නොවූ තමන් ආදරය කරන කෙනාගේ සතුට තමන්ගේ සතුටයි ලෙස සැලකූ ඒයට වන්දි ලෙස වේදනාව උරුම කරගත් මානවිකාවකගේ කතාවයි . . .. !



"විහඟ නුවන් විජේසේකර"
එක වසරේ සිටම එකට සිටි ඔහු හා මා එකල නිකම්ම නිකම් කලාස්මේට්ලා පමනක් වීමු.
නිවසේ සිට කිලෝ මීටරයක් පමන දුරින් තිබූ මගේ නිවසේ සිට මා පයින් එන විට ඊට අඩු දුරකින් තිබුනු ඔහුගේ නිවසේ සිට ඔහු පසැල් ආවේ පියාගේ කාරයෙනි.
ඔහුගේ පියා ඉතා ඉහල රැකියාවක් කල අයෙක් බවත් මවත් ගරු කටයුතු රැකියාවක් කල බවත්, පවුලේ නෑදෑයින් සියල්ලෝ ඉතා ඉහල රැකියා හෝ ව්‍යාපාර කරන ඉහල පංතියේ බව මා දැන ගත්තේ තෙවෙනිවර අප මුන ගැසුනාට පසු මිතුරු කම් අලුත් වූවාට පසුවයි.

තෙවෙනි වර කියා කීවේ මුලින්ම එක වසරේ සිට එකට සිටි අප හත වසරේදී ඔහු අපේ පාසැලින් අස්වී කොලඹ ප්‍රධාන ජාතික පාසැලකට යනතුරු තිබුනු අපේ මිතුරු කම පලමු හමුවීමයි . .

දහය වසරේදී මගේ පාසලේ මිතුරන් නිදහස තිබූ උපකාරක පන්තියකට ගියා වුවත් අක්කාගේ අනුදැනුමෙන් තද විනය නීති තිබූ උපකාරක පංතියට යාම පටන් ගත් අවදියේ ඇති වූ පෙර තිබූ මිතුරු කම අලුත් වීම අපගේ දෙවෙනි හමුවීම් වටයයි . . .

කෙතරම් තද විනය නීති තිබුනා වුවත් ගුරුවරුන්ගේ කනින් රිංගා පෙම් කල අපි සියල්ලෝ අතුරින් මූලිකයා ඔහුයි. ඔහුගේ ප්‍රේමයට උදව් කරන්නා වූ මාත් ඒ ගොඩටම වැටී, ඔහුගේ සබඳකම් ශක්තිමත් වෙද්දී මගේ පෙම් සබඳකම් නරුමයෙක් මෙන් බිඳ හෙලීමේ වරදට ඔහු මා සමඟ අමනාප වී උසස් පෙළින් වසර හයකට පසු අහම්බයෙන් එකම බස් රියේදී මුනගැසී නැවත් අලුත් වුනු මිතුරුකම අපේ තෙවෙනි හමුවීම් වටයයි ..

"අම්මෝ උඹව දැක්ක කල්"

"ඔව් නේ බං . . අවුරුදු කීයක්ද?"

"මම උඹව හිටපු ගමන් දකිනවා ඒත් අර පරන තරහට කතා නොකර ඉන්න හිතුවා. හැබැයි මම බස් එකේ ඉන්නකොට උඹ හෝල්ට් එකේ ඉන්නවා තමයි මම දැක්කේ"

"ඒකට කමක් නෑ. මොකෝ මේ බස්වල?"

"තාත්තලට වාහන තිබ්බට මට නෑ නේ බං. මගේ ගමන දැන් බස් එකේ"

"කොහොමද චමිදි? උඹල බැන්දද? දැං අවුරුදු 10ක් විතරනේ උඹලගේ ලව් එකට"

"ම් ම් ම් අපි ලඟදී එෆෙයාර් එක නැවැත්තුවා බං"

"මොක . . .. ක්? ඔච්චර ස්ට්‍රොග් රිලේෂන්ශිප් එකක්?"

"ගෙවල් වලින් කැමති වෙලා හිටියා. ඒත් පස්සේ කිසි තේරුමක් නැති ප්‍රශ්නයක් නිසා එයාලගේ ගෙදරින් කචල් දැම්මා. චමිදි ත් එකපාටම නවත්තමු කිව්වා"

"අයියෝ හරි අපාරදයක් නේ . . උඹ හෙන අප්සට් යන්න අති නේද? දැං ෂේප්ද"

"අවුරුදු 10ක් නේ බන්. මුලින් හෙන අමාරු උනා හිත හදා ගන්න ඒත් දැන් ගොඩක් ෂේප්"

ඒ විදිහට අලුත් වුනු අපේ මිතුරු කම ඔහු මගේ නිවසට නිතර යන්න එනන් ගත් හා මා ඔහුගේ නිවසට නිතරයන්න එන්න ගත් පසු දැඩි මිතුරු කමක් වෙන්න බලපෑ හේතුවක් ලෙසට මගේ විනෝදශීලී හැසිරීම ඔහුගේ පවුලේ නෑදෑයන් ඇතුලු සියලු දෙනාටම අතහැරිය නොහැකි තරමට දැනෙන්න වීම කියා කීවොත් එය බොරුවක් නොවේ. . .

එකම වත්තේ ගෙවල් කීපයක ජීවත් වූ ඔහුගේ නෑදෑ පිරිසත් ඔහුගේ පවුලේ අයත් ඇත්තෙන්ම බොහෝ දිනවල සවස 6න් 7න් පසු මා එනතුරු මඟ බලා සිටින තරමට මගේ ඇසුර ඔවුන් ප්‍රියකලා.

බොහෝ දිනවල ඔහු මා ඔහුගේ මිතුරියකගේ නිවසට කැඳවාගෙන ගියා.

ඈ "විහඟි"
කඳුරට ගම් පලාත වුවත් පවුලේ බාලයන් වූ ඇගේත් නංගීගේත් මල්ලීගේත් ඉගෙනීමේ පහසුව තකා ඇගේ පවුලේ අය කොලඹ අවට තාවකාලික පදිංචියට පැමින එතරම්ම කාලයක් ගත වී නෑ.

කන්ද උඩරට වැදගත් ව්‍යාපාරික පවුලකින් පැවත එන්නෝ. ගමේ හැදුනු අය නිසා කුලෑටි අය කියා අප සිතුවත් කොලඹ අය තරම්ම සමාජශීලී ලෙස ඔවුන් වටපිටාවේ අය ඇසුරු කලේ . .

ඇගේ වැඩිමහල් සොයුරා ඉතා තද අයෙක් බවත් නපුරු අයෙක් බවත් ඈ කීප වර පැවසූ අයුරු මට මතකයි.

මෙසේ කාලයක් යන විට ඔවුන් අතර ඇත්තේ මිතුරු කමක් පමනක්ද කියා මට ඇති වූ සැකය ඔහුගේ නිවැසියන්ටත් තිබුනා.

"පුතා ඔයා විහඟ ගෙන අහන්න විහඟි එක්ක එෆෙයර් එකක් තියෙනවද කියලා . . . ඒ කෙල්ල නම් හරි හොඳයි . . මෙයා චමිදි ගේ සීන් එකෙන් අප්සෙට් ගියාට පස්සේ හරිම නපුරු වුනා පුතා. අපි හිතුවේ ආයි කාටවත් ලව් කරන එකක් නෑ කියලා"

විහඟගේ අම්මා නිතර මා උනන්දු කලා ඒ ගැන ඔහුගෙන් අසා දැන ගන්නට.

"මචං රෑ දොලහයි . . උඹට හෙට වැඩ නේද? මම උඹව අම්මගේ කාර් එකේ ගිහින් දාන්නම්"

"කමක් නෑ විහඟ, මම ට්‍රයිශෝ එකක යන්නම්. අද මට බයික් එකේ එන්න කම්මැලි හිතුනා"

"පිස්සුද හිටපන් මම උඹව ගිහින් දාල එන්නම්"

"හරි උඹ මට තාම කිව්වේ නෑ නේ උඹයි විහඟියි අතරේ තියෙන්නේ මොනවගේ ෆිට් එකක්ද කියලා"

"නිකම් ප්‍රෙන්ඩ්ෂිප් එකක් විතරයි බං"

"උඹට ෂුවර් ද"

"ඔව් මචං ඔව්. චමිලි හිංදා බිඳුනු හිත හැදුවේ විහඟි. එයා තමයි මට මගේ දුක කියන්න පුලුවන් වුනු, මගේ දුක අහපු, ඒ දුකින් මිදෙන්න මට පාර පෙනන්පු කෙනා. අපි හොඳ යාලුවෝ"

"හ්හ්හ්හ්ම්ම්ම්ම්ම්"

පහුවදා සවස 2ට පමන මගේ කාර්‍‍යාලයේ පියන් පැවසුවේ කිසිවෙක් මා මුනගැසෙන්න පැමින ඇති වගයි

"විහඟ. . මොකෝ සීන් එක"

"බලපන් අර කැබ් එක ඇතුලේ ඉන්නේ කවුද කියලා"

"විහඟි . . . හායි නංගී. . . මොකෝ මේ අලි බෑග් එකකුත් කැබ් එකේ දාගෙන"

"නුවන් අයියගෙන්ම අහන්නකෝ"

"මොකෝ බන්. . උඹල පැනලා යනවද?"

"මචං, අපි දෙන්න කසාද බඳින්න යන්නේ. උඹ එන්න ඕන සාක්කියට අත්සන් කරන්න"

"මොකා . . .. . ක්?? ඇයි යකෝ ඊයේ රෑ 12ටත් මම ඇහුවාම උඹ කිව්වේ උඹලා අතරේ එෆෙයා නෑ කියල . . දැන් මොකෝ මේ??"

හරි කතාව කියන්නම් උඹ ෂෝර්ට් ලීව් දාලා වරෙන් කෝ.

මා පහලට එන විට ම මගේ තවත් මිතුරෙක් මා මුන ගැසෙන්න ඇවිත්.

"මචන් වරෙන් පොඩි ගමනක් යන්න"

"හරි විහඟ . .දැං කියපන් මොකෝ මේ හදිස්සිය කියලා"

"මෙහෙමයි අපි අතරේ කාලෙක ඉඳන් එෆෙයාර් එකක් තිබුනා. චමිලිගේ සීන් එකෙන් මාස ගානකට පස්සේ තමයි ඒක පටන් ගත්තේ. ඊයේ විහඟි ලගේ අම්මා අපි දෙන්නගේ හඳහන් බලලා, මේක කොහොමත් කරන්න දෙන්න එපා කියලා කිව්වලු. පස්සේ විහඟිට අම්මා ආදරෙන් කිව්වලු මාව අමතක කරන්න කියලා"

"මම කියලම හිටියා අයියා නුවන් අයියව අමතක කරන්න බෑ කියලම. අපේ අම්මා මට ගැහුවේ බැන්නේ නෑ ආදරෙන් කිව්වේ."

"තව පාරක් කියලා තේරුම් කරල දුන්නොත් මොකද?

"අපෝ අපේ අයියට කිව්වොත් එයා මාව ගමේ එකක්ගෙන යනවා ෂුවර්. ඊට පස්සේ නුවන් අයියට ආයේ පාරක් පරන වේදනවාම විඳින්න වෙන්නේ. මට බෑ ඒ දේ කරන්න ඉතිං මම අකමැත්තෙන් වුනත් මේ තීරනේ ගත්තා"

කෙසේ හෝ පවුල් දෙකේම බලවත් ඉල්ලීම මත කීප දිනකට පසු පැමිනි ඔවුන් පවුලේ දෙකේම නෑදෑ හිතමිතුරන් මැද විවාහ උත්සවයක් පවත්වා පවුල් දෙකටම සිදුවිය හැකි අවමානයෙන් ගලවා ගත්තා . . .

ඉන් පසු සියල්ලෝ සතුටින් ජීවත් වුනා යැයි කීමට ම සතුටු වුවත් එය එසේ නොවීම කෙසේ නම් අදහන්නද . .. ?

ඔවුන්ගේ විවාහයෙන් වසර හතරකට පමන පසු දිනක මට නුපුරුදු අංකයකින් ලැබුනු දුරකතන ඇමතුමක් . . .

"අයියා මම විහඟි"

"හලෝ . . කොහොමද ඉතිං . . කොහෙන්ද මගේ මේ නම්බර් එක හොයා ගත්තේ"

"නුවන් අයියගේ පොතක අහම්බෙන් දැකලා මම ලියා ගත්තේ. ඒක නෙමෙයි අයියා කවදද ආපහු ලංකාවට එන්නේ?"

"ලබන මාසේ එනවා ඇයි නංගී"

"අයියා මට අයියට කතා කරන්න ඕන . . මට මේක කියන්න වෙන කිසි කෙනෙක් නෑ අයියා. ඔයා ලංකාවට ආපු ගමන්ම නැතත් පුලුවන් ඉක්මනට මාව මීට් වෙන්න අනේ ලොකු පිනක් "

"හරි මම අපු ගමන් කතා කරන්නම්කෝ මේ ඔයාගේ මොබයිල් න්ම්බර් එකනේ. . ?

"ඔව් අයියා"

ඒ වෙනකොට විහඟ ඔහුගේම ව්‍යාපාරයක් හිමි වාහන දෙකක් හා ඉහල සමාජ සම්බන්ධකම් ඇති මධ්‍යම ප්‍රමානයේ නමුත් සාර්ථක ව්‍යාපාරිකයෙක්.

නිවාඩුවේ මුල් දින කීපයෙන් පසු මා විහඟ ලගේ නිවසට ගිය විටෙක එහි සිටියේ ඔහුගේ මව පමනයි . .

"අනේ පුතා බලන්න මේ අපේ බූරුවා කරන වැඩ. මට නම් මූ මගේ දරුවෙක් කියන්නත් ලැජ්ජයි"

"ඇයි ඇන්ටි මොකද්ද සීන් එක?"

"මූ මුගේ සෙකට්‍රි එක්ක යාලු වෙලානේ. ඒ ගෑනි දනන්වා මූ බැඳපු එකෙක් කියලා ඒකි මූව රවට්ටගෙන මුගේ සල්ලි වලට ද කොහෙද"

"මොකක් . . මට නම් හිතා ගන්නවත් බෑ. විහඟ ඒ ජාතියේ එකෙක් නෙමෙයි ආන්ටි කාගේ හරි බොරුවක් වෙන්න ඇති

"නෑ පුතා මූ මයි විහඟි දූට කියලා තියෙන්නෙ කෙල්ල රන්ඩු කරද්දී . . .එහෙම එකක් තියෙනවා ඉන්න පුලුවන් නම් හිටපන් බැරි නම් පලයන් කියලා."

"අයියෝ"

"ඒකනේ පුතා දැන් දරුවො දෙන්නෙක්. අනික මේ කෙල්ල වගේ කෙල්ලෙක් මම හිතන්නේ නෑ අපේ රටෙන් හොයන්න වත් පුලුවන් කියලා.හරිම අන්ඩර්ස්ටෑන්ඩබල්, ඒ වගේම ජොලි යෙ ඉන්න කැමති කෙල්ල . . ඕන දෙකට ඕන වෙලාවක . . . අපේ පවුලේ හැමෝම මූට වැඩිය අදරෙයි මේ කෙල්ලට"

“අන්න විහඟි ආවා ලමයින්ව ටියුෂන් අරන් ගිහින්. මම ළමයින්ව මේ ලඟ පාර්ක් එකට එකක්ගෙන යන්නම් පුතා එයා එක්ක කතා කරන්නකෝ”

"හලෝ හලෝ කොහොමද?"

"අනේ හරිම දුකෙන් ඉන්නේ අයියා. අම්මා කිව්වද සීන් එක?"

"ඔව්"

"මම මුලින්ම අම්මට වත් කිව්වේ නෑ ඒත් නුවන් අයියා නිතර නිතර මාත් එක්ක රන්ඩු කරද්දී අම්මල තේරිලා ඇහුවා"

"ඒක නෙමේ කෝ ගෙදර අනිත් අය"

"හැමෝම යුරෝප් වල සිටිසන් ලැබිලා ගියා. අම්මා ගිහින් ආවා මාව දාල යන්න බෑ කියලා"

"ෂා හොඳයිනේ"

"මම හැම දේම තනියෙන් විඳ ගත්තා අයියා මෙහේ අම්මට වත් කිව්වේ නෑ එයාල නුවන් අයියත් එක්ක තරහ වෙයි කියලා."

“ඇත්තෙන්ම මට මෙහේ අම්මට කියන්න වුනේ එක පාරක් නුවන් අයියා මත් එකක් රන්ඩු වෙලා මම මට ගෙදරින් යන්න කිව්වා. මම කැබ් එකක් ගෙන්නගෙන, බෑග් දෙකකට මගේයි ළමයි දෙනන්ගෙයි ඇඳුම් ටිකක් දාගෙන අම්මලගේ ගෙදර ගියා (මේ වන විට ඔවුන් තාවකාලික පදිංචිය විහඟ ලගේ නිවසේ සිට කි.මී. 10කට පමන දුකකට වෙනස් කරගෙන තිබිණ )අපේ අම්මල ඇහුවට මම කිව්වේ නෑ විස්තරේ. ගෙදර ගියා වුනත් මම බෑග් දෙක දොර ගාව තියාගෙන බලං හිටියේ නුවන් අයියා කොයි වෙලාවේ එයිද කියලා"

"ඉතිං"

"මම දන්නවා මෙහේ අම්මා ආපු ගමන් නුවන් අයියට බැනලා මාව එකක් යන්න එනවා කියලා. මෙහේ අම්මා මට හරිම ආදරෙයි. මමත් මගේ අම්මට තරම්ම මෙහේ අමම්ටත් ආදරෙන් සලකන්නේ. අම්මා වැඩ ඇරිලා ආපු ගමන් නුවන් අයියා එක්ක ආවා. මම වෑන් එක නතර කරපු ගමන් ගිහින් නැග්ගා අපේ අම්මලා එයාගෙන් මොකුත් අහන්න කලින්."

"ඔයා නම් මාර ගෑනියෙක් නංගී"

"ගියා වුනත් මගේ හිත මෙහෙමයි. අයිය කිසිම වැඩක් තනියෙන් කර ගන්නෙ නෑ. මට ඉතිං දුකේ බෑ තරහට යන්න කිව්වට එයා තනියෙම කොහොම කනව බොනව ඇත්ද කියලා හිතෙනකොට"

"ඔයාට නම් පිස්සු ද කොහෙද විහඟී"

"නෑ අයියා මම නුවන් අයියා අඳුන ගත්තු දවසේ ඉඳන් ප්‍රර්ථනා කලේ එයාගේ සතුට. මම එයාට ආදරේ නිසා තමයි එයගේ සතුටට කවදාවත් බාදා කලේ නැත්තේ"

"අයියෝ මට නම් හිතන්නත් බෑ විහඟ ඔය වගේ වැඩක් කරයි කියලා."

"ඒකනේ අයියා මටයි ළමයි දෙනන්ටයි හරිම ආදරෙන් හිටියේ. ඒත් දැන් ගෙදර ඉන්නේ බෝඩින් කාරයෙක් වගේ. ගොඩක් රෑ වෙලා එනවා, කනවා, නිදා ගනන්වා. අනිත් අය එක්ක කතා කලත් මාත් එක්ක වචනයක් වත් කතා කරනෙන නෑ"

"මට හිතා ගන්නවත් බෑ නංගී මොනා කරනන්ද කියලා"

"එයා එක්ක තරහා වෙන්න එපා අයියා . . මට මේවා අපේ අම්මලට වත් අයියලට නංගිලට මල්ලිලට කියන්න බෑ. අපි බැඳපු දවසේ ඉඳන් අයියා මට මගේ ම අයියා කෙනෙකුට වැඩිය හිතවත්කමින් සැලකුවා. අනික අපේ කසාදේ සාක්කියටත් අත්සන් කලේ අයියා. ඉතිං මට ඕන මේක කාට හරි කියන්න. . පංසලකට පල්ලියකට ගිහින් කියනවා වගේ කියනවට වැඩිය මගේ දුක, ආදරේ තේරුම් ගන්න පුලුවන් පන තියෙන කෙනෙකුට කියන්න . . . අයියා අහං හිටපු එකට පිං . .”

මෙය කෙටි කතාවක් පමනක්දැයි නො අසන්න . . !

Thursday, April 1, 2010

අබේවර්ධන බාලසූරියට උපහාර පිනිස . . .




පසුගිය මාර්තු 27 වෙනිදා අප අතරින් වියෝ වූ සදාදර ගායක අබේවර්ධන බාලසූරිය මහතාට මේ සියවෙනි ලිපියෙන් උපහාර පිරිනමනු වස් ඔහුට නිවන් සුව පතනු වස් ඔහුගේ ගීත කීපයක් මෙසේ සටහන් කර තැබීම මගෙන් ඒ උසස් කලාකරුවා වෙනුවෙන් ඉටුවිය යුතු සේවයක් ලෙස මා සිතුවා.

චතුර විජේකෝන් සොයුරා ලියන හද පතුල බ්ලොග් අඩවියේත් ගායක අබේවර්ධන බාලසූරිය ගැන සටහනක් තබා තිබෙනු මා දුටුවා. . . මෙතනින් කියවන්න

තව දුරටත් ලංකා ඊ නිවුස් අඩවියේ වටිනා ලිපියක් ජයනත කළුපහන නම් මහතෙකු විසින් ලියා තිබෙනු දුටුවා. . . මෙතනින් කියවන්න

. . . .. . . .. .

නිල් ආකසේ රිදී පාටට දිදුල තාරුකා දෙකක් වන් ඔය දෙනෙත දෙස මට බලා ඉන්න ඕන සුලු මොහොතයි . . ඉන් මතු මා දන්නේ . . . මට දැනෙන්නේ . . . සුදු පාට සිහින් සිනිඳු සේලයක් වන් මීදුම් තීරයේ මා පාවෙලා යන බව පමනයි . . . ඒ කිනම් ආශ්චර්යක්ද . . . ඔබ මා මුසපත් කලේ ප්‍රේමයෙන් පමනක්ද . . . !

කල්පනා ලොව

කල්පනා ලොව මල් වනේ
සිහින රජ දහනේ . .
ආදරේ . . ආදරේ . . .

නීල දෑසේ තාරකා සේ
ඈ නුවන් දල්වා බලන්නී
ප්‍රේමයේ මායා දැලින් මා
සිත් නුවන් බඳවා තබන්නී

කල්පනා ලොව . . .

මා වටා සහහක් යුගත් පා
ඈ රුවින් පිලිරූ මැවීලා
පාව යයි මුලු ජීවිතේ සුදු
මීදුමින් දැවටී එතීලා . .

කල්පනා ලොව . . . . .

ගී පද : අජන්තා රණසිංහ
සංගීතය : ප්‍රේමසිරි කේමදාස

. . .. . .. . . . . .

කිරිල්ලියක් රන් කූඩුවක දමා සිටියත් . . . මී පැනි පොඟවූ පොරි ආහාරයට දුන්නත් . . . වැතපෙන්න විල්ලුද මෙට්ටයක් රන් කූඩුව ඇතුලේ තැබුවත් ඈට තුටු විය හැකිද . . . ?
සිමෙන්ති දැමූ පොලවේ එලූ පැදුරේ මා අසලින් නිදියන; දර ලිපේ ඉවූ පරිප්පු හොද්ද පොල් සම්බෝල සමග අනාගෙන සුදු හාල් බත් සමග ප්ලාස්ටික් පිඟානට බෙදා ගෙන මා දෙස ආදරයෙන් බලා කටක් දෙකක් කා වතුර උගුරක් බොන, චීත්ත රෙද්දෙන් මැසූ ගවුමේ හැඩ කැඩුනු කන්නාඩියෙන් බලන ඒ සියල්ල දුකක් නොවේ සතුටක් කියා ඔබ විඳින සතුට දකිනු හැර මට වෙන සතුටක් තිබේද . . .

විහඟක වූ ඔබ

විහඟක වූ ඔබ
මා වෙත අවුදින්
අත්තටු සිඳ ගත්තා
එනමුදු අද දින
නව අත්තටු ලැබ
රිසි සේ පියඹනවා . .
මට උනුසුම දෙනවා

සිතු සැප බුදුමින් පාවී ගිය ඔබ
වැටුනේ අහසින් මේ මහ පොලවට
දුක මිහිරියි කියලා . . . සිනාවුනේ ඔබ
ඝන නිල් අඳුරේ රන් එලි වැට වීලා

විහඟක වූ . ..

කනමැදිරින් එලි ගෙන එහෙ මෙහෙ යන
රෑ ගොම්මන ඉඳි කඩුල්ල පැන එන
මගේ දාහය නිවලා . . .සුසුදු හිනාවෙන්
දෙනු මැන සසරේ තනිකම මඟ හරදා . .

විහඟක වූ . ..

ගී පද : බන්ධුල නනායක්කාරවසම්
සංගීතය : ස්ටැන්ලි පීරිස්

. . . . .. . . .. . . .. . .. . .. . . .. .

මා මේ දකින්නේ සිහිනක්ද . . . අනේ එහෙනම් මා මේ සිහිනයෙන් අවදි නොකරනු මැනවි . . . . මේ සැබෑවට නම් අනේ මට මා වෙන්නේ කෙසේ දැයි මට කියා දෙන්න . . . !

ඔබෙන් තොර

ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ
ඔබෙන් තොර හීනයක් ඔබෙන තොර මාවතක්
ඔබෙන් තොර ගීතය් කොයින්දෝ . . .

දකින හැම රූපයම ඔබේ රුව සේ පෙනේ
අසන හැම ගීයකම ඔබේ කට හඬ ඇසේ . .

ඔබෙන් තොර . . . .

සිහිනයෙන් සිහිනයට ඔබයි සැරි සරන්නේ
ඇසි පියෙන් ඇසි පියට ඔබ පමනි සිටින්නේ . .

ඔබෙන් තොර . . . .

ගී පද : සුනිල් ආරියරත්න
සංගීතය : වික්ටර් රත්නායක

. . .. . . .. . . .. . .. . .. .

නගා, උඹ මට බහ දුන්නේ උඹේ මනාපෙට නොවන බව මට නොකීවේ මන්ද? උඹ නිසාවෙන් මං මැවූ හීන කන්දරාව උඹ කීතු කීතු වලට ඉරා දැම්මේ මොන හිතකින්ද නගේ . . ! ගං ඉවුරේ ඉඳගෙන මං දැන් කල්පනා කරන්නේ මින් මත්තේ නෑදෑ සනුහරේට කොහොම මූන දෙන්ටද කියලා . . . මේ ගඟටම පැනලා මියෑදෙනවා මිසක්කා මට දැන් වෙන කොරන්ට දෙයක් නැතුවා නගේ . . . .

සැරසිලි ගොක්කොල

සැරසිලි ගොක්කොල පෝරුව අයිනේ
පයට හැපී පුන් කලස බිඳීලා
පණිවිඩයක් ඇවිදින්
මඟුල් දා දෙබරෙට ගැසුවා සේ . . .

සිංහල උළුගෙට ගෙවදින දවසේ
පාන්කිරිත්තෙක් වහලෙට බැස්සේ
මගුල් කෑම දවසේ
නෑයොත් ගෙට ඇවිදින්

සැරසිලි ගොක්කොල . . .

පාලම් බැන්දේ යන්නයි කැන්දන්
පාලම උඩ මම තව විස්සෝපෙන්
ඔරුවෙන් එගොඩ වෙලා
සොබනි කොහෙද ගිහින් . .

සැරසිලි ගොක්කොල . . .

ගී පද : ලූෂන් බුලත්සිංහල
සංගීතය : වික්ටර් රත්නායක

. . .. . . .. . . . .. . .. . . . .

බලන්න ඔබේ රුදුරු විස නිය ඇනී මගේ හදවතේ ලේ ගලන තරමක් . . .
ඒ වේදනාවෙන් මා දුක් වෙද්දී ඒ දෙස බලා ඔබ සතුටින් සිනා නැගූ හඬ මගේ දෙසවනේ දෝංකාර දෙන බව ඔබ දන්නවාද . . . ?

මලක මෙලෙක

මලක මෙලෙක හිතා ගන්න
බැරි අතකින් මල් නෙලන්න
එපා යාලුවේ . . .
හිතක මෙලෙක හිතා ගන්න
බැරි හිතකින් පෙම් කරන්න
එපා යාලුවේ . ..

රුවට රුවේ මල් පිපුනට
තරඟ වැදී මල් නෙලුවට
මලට ආදරේ නැතන්ම්
මල මිය යාවී
ලොවේ ආදරේ නොලැබුව
පෙති ගිලිහේවී . ..

මලක මෙලෙක . .

ආදරයක් නැති අතකින්
මල් නෙලන්න බැරි වෙන්නයි
හිත ඉහලින් පොකුරු පොකුරු
පිං මල් පිපුනේ
හිත ඉහලින් නෙලන්න බැරි
පිං මල් පිපුනේ

මලක මෙලෙක . .

ගී පද : රඹුක්කන සිද්ධාර්ථ හිමි
සංගීතය : රෝහන වීරසිංහ

. . . . . . . . . .. . . . . .. . . . .

දුප්පත් - පෝසත් බේද සලකන . . . හීන කුල - රදළ කුලගොත් ඉහමුදුනේ තබා වන්දනාමාන කරන . . . සිංහල - දෙමළ ජාති බේද නමින් කා කොටා ගන්නා . . . මේ සජීවි ලෝකයෙන් අපි විතැන් වී ගොස් සුවඳ හමන ආත්මයට විතරක් ප්‍රේම කරන මළවුන්ගේ ලෝකයකදී පමනක් අපි යලි මුන ගැසෙන්නට පාරමී දම් පුරමු . . . .

මළවුන්ගේ නගරයේ

මළවුන්ගේ නගරයේ . .
මමයි. . මමයි හමුවුනා
මළවුන්ගේ නගරයේ . .
ඔබයි . . ඔබයි හමුවුනා

සජීවි සක්වල තලයේ
වරම් නොමැත හමු වෙන්නට
එක වහලක් යට ඉඳගෙන
එක අහරක් වලඳන්නට
ඔබයි හමු වුනා . .
මමයි හමු වුනා . ..

මළවුන්ගේ නගරයේ . .

සීමා ප්‍රාකාර වලින්
ඉඩක් නොමැත ගැලවෙන්නට
ජීවත් වන ලෝකයකදී
අවසර නැත ලංවන්නට
ඔබයි හමු වුනා . .
මමයි හමු වුනා . ..

මළවුන්ගේ නගරයේ . .

ගී පද : සුනිල් ආරියරත්න
සංගීතය : සරත් බාලසූරිය
සහය ගායනය : නිරංජලා සරොජනී

. . . . . . . . . . . . . . . . . . . . . . . ..

ලෝකයම මට වෛර කරනවා යැයි සිතා ලෝකයටම වෛර කරමින්, හබල බිඳී ඔහේ පා වෙවී තිබුනු ඔරුවක් මෙන් වූ මගේ දිවියට . . මෛත්‍රියෙන් . . කරුනාවෙන් . . දිරියෙන් . . . දිවියට සවි දුන් නුඹ, මට . . . රැලකින් තනිවී වනමැද සරනා ඇතෙකුට ලැබුනු ඇත්දල යුවලක් මෙනි . . . .

රැලකින් තනිවී

රැලකින් තනිවී වනමැද සරනා
කැකුලු තුරුණු යාමේ
ඇතෙකුට ඇත්දළ යුවලක් වගේයි
මට ඔබගේ ප්‍රේමේ . .

හබල බිඳී ගොස්
පෙරලුනු ඔරුවක්
ලෙස පාවෙන දිවියේ
රුවල් මසා දී
ගොඩ ගනු රිසියෙන්
වෙහෙසෙන මියුලැසියේ

රැලකින් තනිවී . .

තුඩ තුඩ තබමින්
නෙක නෙක පලවැල
කවා පොවා සනහා
පෙරුම් පුරනවද
මතු බුදු වනන්ට
මට දී රැකවරනා

රැලකින් තනිවී . .

ගී පද : ප්‍රේමකීර්තිද අල්විස්
සංගීතය : රෝහන වීරසිංහ

. . . . .. . . . . . .. . .

අපගේ ප්‍රේමය පූර්ව ජන්මයන්ගේ පටන් පතාගෙන එන අපූර්වයක් ද . . . ?

භවයෙන් භවේ

භවයෙන් භවේ පැතුමන් පුරා
ආවේ සොයා මා හද ආදරේ
නදීෂානී . . . නදීෂානී
නදීෂානී . .. නදීෂානී . . .

නෙතුකැන් සැලේ මා හද ගිම් නිවා
දෙසවන් පුරා ඒ හසරැල් ගලා
පිපි මල් සිනවේ මධු රොන් සලා
ළතැවුල් නිවා ඈ මට ලං වෙලා

භවයෙන් භවේ . . .

නටඹුන් අතීතේ දෑතින් වසා
අදමෙන් ආදා කල් සනසනන් මා
දිවි මං තලාවේ සෙවනක් සොයා
යුගයෙන් යුගේදී හමුවන්න මා .

භවයෙන් භවේ . . .

. . . . . . .. . ..



ක්ෂේත්‍රයේ බොහෝ අය ඒ සුන්දර මිනිසා හඳුන්වන නාමය . . . "අබේ අයියා" . . . ඒ සදාදර අබේ අයියා ගේ මියුරු හඬ . . අප හදවත් තුල අමරණීය වූ ඒ ළයාන්විත හඬ . . . . මියෙන තුරාවට අපගේ හදවත් සිහිල් කරාවි යැයි පතන ඒ හඬේ හිමි කරු වූ අබේ අයියාට නිවන් සුව අත්වේවායි අපි සියලුම දෙනා එක් සිත්ව පතමු . . . !

. . . . . ..

කට්ටිය කමෙන්ට් වලින් දාපු ගීත මම ලිපියටම එකතු කරන්නම් . . .

මනු ලොව සිසාරා

මනු ලොව සිසාරා
මා මඟ හැර
මා සතු සිත
හිතළු ගමන් යයි
මට අකීකරුයි

අනෝතප්ත විල පැත්තතේ
ලිහිල් දුහුල් සළු පැලඳූ
සිදංගනා නාන තොටේ
හිත සැරි සරණා

රන් කහවනු දෝතට දී
කාශ්මීර සමීරයේ
මා කැඳවා සවාරියේ
හිත සැරි සරණා

. . . .

අවසන් හුස්ම පොද

අවසන් හුස්ම පොද නොබියව හෙලන්නට...
සිවුරියනේ හිත සතුටින් නිදන්නට...
මිනිසෙකු විලස ඉපදුනු ඵල ලබන්නට...
පුලුවනි මරණ මංචකයේ වුවද මට...

දහදිය දිය වුනේ නෑ මාලිගාවල...
කඳුළැලි වැටුනේ නෑ නිවටුන් දෙපාමුල...
ගත හැඩි දැඩි වුනේ ලඳුවල කැලෑවල...
කර ගැට මතුවුනේ නගුලට උදැල්ලට...

මහ කෙත් රණ බිමට වැදගෙන උදලු කෙටී...
මේ රන් පොළොවෙ ජය ලැබුවෙමි වැතිර වැටී...
ඒ ජය මට නොවේ නුඹටයි ඉපිද නැතී...
අද මා මලත් හෙට මාඋන් සුවඳ ඇතී...

. . . . .

කවුද ආවේ කවුද ආවේ

කවුද ආවේ කවුද ආවේ . . කවුද ආවේ කවුද ආවේ
ඔබට හොරා ඔබ හදේ ඈදී උන් මිනිස් රුවයි ආවේ . . .

මිනිස් හඩක් නෑති මහ මෑදුරක් විය
තනි මිනිසෙක් වසනා
පාලු මකන්නට ඒ මහ මෑදුරට
ආවෙමි දුර ඉදලා . . .

කවුද ආවේ කවුද ආවේ . .

සදා නොදෑල්වුන මිණි පහනක් විය
ගණදුර මෑද රගනා
සදා අවුලුවමි එවන් පහන් සිල
රන්වන් රූ මවලා . . .

කවුද ආවේ කවුද ආවේ .

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails