UAE Sri Lankans Events

Wednesday, December 30, 2009

ජීවිතේ සුන්දරද මෙතරම් . .. !! 3 වෙනි සහ අවසාන කොටස



කලින් කොටසින් . ..

"ස්වාමියෙකුට තමන්ගේ බිරිඳ ගැන මිතුරෙකුගෙන් හෝ තෙවන පාර්ෂවකරුවෙකුන් එවැනි ගුණවැනුමක් අසන්න ලැබෙනවාට වඩා වෙනත් සතුටක් ලැබිය හැකිද . . . ?"

පලමු කොටස

දෙවන කොටස

. . . . .

"උඹල දෙන්න වලි දාගන්නේම නැද්ද" නෂීම් ගේ දෑසේ ලියවී ඇත්තේ ප්‍රශ්නාර්ථයක්. . . !

"නැත්තේ මොකෝ . . . මාසෙකට සැරයක් විතර පොඩි වලියක් යනව . . . හැබැයි ඒවා ඉතාම සුළු වෙලාවයි . . . පස්සේ දෙන්නම යාළුවුනාම ඒක ගැන කතා කරලා ඉන් පස්සේ ඒ වැරැද්දටම වලියක් නොයන්න ඒ වැරැද්ද හදා ගන්නවා . . "

"කොච්චර ශෝක්ද මචං . . . " එසේ කී නෂීම්ගේ දෑසේ වේදානත්මක බැල්ම දිගේ මගේ හිත යලිත් වරක් දිව ගියේ අතීතයට . . ..

රාජකාරී බහුල සතියේ දිනෙක සවස 4ට පමන මගේ ජංගම දුරකතනය නද දෙන්න පටන් ගත්තා . . . .

"හලෝ . . . තිලාෂ් හිය . . "

"තිලා මම නෙල්කා . . . මගේ මොබයිල් එකේ බැටරි ඩෙඩ් . . තාම මම ඔෆිස් එකේ බං . . . . මචං ,මට අද රෑට කොන්ෆරන්ස් එකකට යූ.කේ යන්න වෙලා . . . නිරෝෂ් ඊයේ සිංගපෝර් ගියා බිස්නස් වැඩ වගේකට . . . අයියත් ඩවුන් සවුත් ගිහින් එන්නේ හෙට උදේට . . . උඹට පුලුවන්ද මාව එයාර්පෝර්ට් එකට ඩ්‍රොප් කරල එන්න . . . "

"හරි . . කීයටද එන්න ඕන . ."

"මම දැන් පිටත් වෙනවා . . උඹ අපේ ගෙදරට හයට වරෙන් . . ."

ඈ මගේ උසස් පෙළ කරන සමයේ සිටන් හොඳම මිතුරියක් වූ නෙල්කා . . . සවස හයට ඇගේ නිවසින් වාහනයට නංවාගෙන . . . තොර තෝංචියක් නැතුව අපේ මිතුරු මිතුරියන්ගේ විස්තර . . . කාර්‍‍යාලීය විහිළු . . . පැරනි රසාංග . . . මේ සියළුම දේ සමඟ කාලාය ගැන වැටහීමක් නැතුවම එයාපෝර්ට් ගිය මට නිලූට දුරකතන ඇමතුමක් දෙන්න පවා මතක් වූයේ නෙල්කා එයාර්පෝර්ට් එකට ඇරලවා යලි එන ගමනේදී . ..

"ඩාලිං මට හදිස්සියේම නෙල්කාව එයාර්පොර්ට් එකට දාන්න යන්න වුනානේ . . ."

"හ්හ්හ්හ්ම්ම්ම්ම්ම්"

ප්‍රතිචාරය යහපත් නොවන බව දැනුනත් මා ප්‍රමාද වැඩි බව දැනුනු බැවින් සෙමින් දුරකතනය විසංධි කල මා වැඩි වේගයකින් රිය පැදවූයේ වාහන තදබදය අඩුවූ නිසාවටත් වැඩිය පරක්කුව ඇගේ කනස්සල්ල තව වැඩි කරාවී යයි උපන් සිතුවිල්ලෙන් . ..

වෙනදා මෙන් ගේට්ටුව විවර කල පසු සුහද කතා බහකට නිමේශයක් නොගෙනම නිලූ ගේ ඇතුලට ගියේ සිනා රහිත මූනෙන් . . .

"සඳ මුවා වෙලා . . වැහි වලාවකින් . . වාගෙයි ඔබෙ වත මේ ගිනි ලන කතරේ . . . " ඇගේ තරහ නිවන්නේ කෙසේදයි සිතමින් වාහනයෙන් බැස්ස මා . . . පසුපස නොබලා ගෙට යන ඈට ඇසෙන්න මා ගීයක කොටසක් ගායනා කලා . . .

නාන කාමරයට වැදී ඇඟ සෝදාගෙන සැහැල්ලු ඇඳුමක් ඇඟලාගෙන මා සාලයට ආවේ ඈ තරහා වී ඇති නිසා කතාබහ කිරීමට කෙනෙක් නැති කමින් බොරුවට පොතක් බලන බවක් අඟවන නියායක් ඈට පෙන්වීමට සිතා පොතක්ද අතේ රඳවාගෙන . ..

සැටියේ වාඩිවී බොරුවට පොත කියවමින් සිටි මා අසල ස්ටූලය මත තේ එකා තබා යන්න පැමිනි ඈ . . . මට රිදවීමට ඈ දන්නා පහසුම මඟ හෙවත් නන්දා මාලනීගේ ගීයක කොටසක් ගායනා කරමින් ගියේ නන්දාගේ සමහර ගී මගේ හද පාරන බැව් ඈ හොඳින්ම දන්නා නිසාවෙන් . .. .

"මා හඬනා කඳුළු ගලා . . සැදුනු කඳුළු සාගරේ . . . ඔබ ඇය හා ඔරු පැද පැද . . සිනා සුනේ ඇයි . . . සිනා සුනේ ඇයි . . . "

නෙල්කාත් මාත් අතර මිතුරු කමින් එහා යන කිසිදු සබඳ කමක් නැති බව . . . මිතුරු මිතුරියන් අතර එවැනි කිසිවකට ඉඩක් නොමැති බව මා මෙන්ම මිතුරි මිතුරියන් රැසක් ඇසුරු කරන ඇය දන්නා බව මා දන්නා නමුත් ඈට හදිසියට වෙනත් ගැලපෙන ගීතයක කොටසක් සොයා ගැනීම අපහසු වූ හැඩයි කියා මා සිතුවා . . .

ඊට ගැලපෙන පිළිතුරු ගීතයකට ගී ඛන්ඩයක් ගැන සිතමින් සිටි මගේ මුවට නිතැතින් පැමිනියේ මගේ ප්‍රියතම ගායකයාගේ ගීයක මැද කොටසක් . . .

"දෙන්නා උන්නේ . . රන් රස සේ පෙම් අරනේ . . . ආදරේ තාරකා සෝ වලාවේ හැංගුනේ . . . . . . . කැන්දා රන්දා රජ දහනේ පෙම් රජ දහනේ . . ඈ සිතේ මා කෙරේ මෝදුවේවා ආදරේ . . . "

විනාඩි කිහිපයක නිහැඬියාවකට පසු හිස් තේ කෝප්පය ගෙන යාමට නිලූ පැමිනියේ නන්දාගේම ගීයක පදවැලක් මුමුනමින් . ..

"මිදි යුෂ යැයි රැවටී හලාහල විෂ බිව්වේ ඇයි මා . . . පෙම් දැල මැද පැටලී සුසුම් ලා මුලා වුනේ ඇයි මා . . . "

අම්මෝ ඒක නම් බරපතල වැඩී කියා සිතූ මා මගේ ඉදිරියෙන් යාමට පැමිනි නිලූ පා නගද්දීම මගේ කකුල දිගු කලේ ඇගේ ගමන් මග හරස් කිරීමට සිතාගෙන . . .

මා එසේ කරාවීයැයි පූර්ව නිගමනයකින් පැමිනි සේ බොරුවට වැටෙන්න යන බවක් අඟවා ඈ මගේ ඔඩොක්කුවේ ඉඳගත්තේ මගේ බෙල්ල වටා අත යවා තදින් අල්ලා ගනිමින් . . .

"මොකෝ මේ තරහා කාරයෝ තරහා කරයින්ගේ ඔඩොක්කුවේ ඉඳගෙන . . . "

"තරහා කාරයෝ මොකෝ තරහා කාරයෝ යනකොට කකුල් මාට්ටු දාන්නේ . . . "

"කකුල් මාට්ටු දැම්මයි කියලා ඔහොමත් ඉඳ ගන්නවාද තරහා කාරයෝ ලඟ . . ."

"මේ හලෝ . . අනිත් දවසේ රවුම් ගහන්න යන කොට හවස හතේ ඉඳන් ගේට්ටුව ගාව බලන් ඉන්න කෙනාට කෝල් එකක් දෙන්න මතක් කර ගන්න . . . "

"අනේ සොරි ඩාලිං . . දන්නැද්ද . . නෙල්කාගේ කෝච්චියට හපන්නේ මගේ කෝච්චිය . . . ඉතින් නිකමට වත් මතක් වුනේ නෑ . . අයි ඇම් සෝ . .. .. සොරි ඩාලිං . . . "

"නෑ නෑ මම දන්නවා . . මගේ හිත රිදුනේ ඔයා නිකමට වත් කෝල් එකක් දීලා කිව්වේ නැති එකට. මම එලියට වෙලා මදුරුවෝ කකා පැය භාගයක් විතර බලන් හිටියා . . ඩ්‍රයිව් කරන ගමන් වෙන්න අති කියලා හිතලා මම කෝල් කලෙත් නෑ . . "

"හරි . . අනිත් දවසේ මෙහෙම කරමු . . මම එන්න පැය කාලක් පරක්කු වුනොත් ඔයා මට කෝල් කරන්න . . . මම වෙන ගමනක් යන ගමන් නම් ඔයාට කියන්නම් . . එතකොට ඔයාගේ හිත රිදෙන්නේත් නෑ . . . දෙන්නටම සින්දු කෑලි මතක් කර කර දුක් විඳින්න ඕනත් නෑ . . ."

. . .. . . . .. .

"ගොඩක් පවුල් වල වෙන්නේ මචං . . . කාගෙන් හරි පොඩි අතපසුවීමක් වුනොත් අනිත් කෙනා හිතනවා අහ් . . අරයා මේ වැරැද්ද කලේ හිතලා මතලමයි මට රිද්දන්න . . . " මගේ තනියෙන් හිනාවෙන මූන දිහා බලං හිටපු නෂීම්ට මම කිවේ බැරෑරුම් මුහුනක් මවාගෙන . . .

"පැමිනිලි කාරයා විසින්ම විත්ති කාරයාව චෝදිතයා කරනවා . . ??" නෂීම් ඇසුවේ නලල රැලි කරගෙන . . .

"ඔව් . . පස්සේ පැමිනිලි කාරයාම නඩුකාරයා වෙලා චෝදිතයා වැරදිකරුවා වෙන්න නඩුව විසඳලා දඬුවමුත් කරනවා . . . "

"විත්තිකාරයා දන්නෙත් නෑ තමා මොන වරදකටද මේ දඬුවම් විඳින්නේ කියලා වත් . . . " කියා නෂීම්ගේ කටින් පිට වනවාත් සමඟ අපේ මහා හඬින් පුපුරා ගිය සිනාව එළියට නෑසුනේ වැසූ වීදුරු නිසාවෙන් . . .

"මේ ඒක නෙමෙයි . . නිලූට කෝල් එකක් දීල බලනන් ඕන නැද්ද පොඩ්ඩිට කොහොමද කියලා . . . "

"උඹ දන්නවනේ මගේ යාළුවෝ කියන කතාව . . මගේ ලඟ නිදා ගත්තු උන් කියන්නේ මාත් එක්ක නිදා ගන්න එක හරියට සිංහ කූඩුවක නිදා ගන්නවා වගේ කියලනේ . . ඉතිං එයා දන්නවා රෑ තිස්සේ හරි හමන් නින්දක් නැතුව ඉන්න එයා දවල්ට නිදහසේ නිදා ගත්තාවේ කියලා හිතලා මම කෝල් නොකරන බව . . . විශේෂ උවමනාවකට ඇර"

. . . . . . ..

අපේ කෑගළු ගමන සාර්ථක වූවා . . . ඉතා වෙහෙස මහන්සියෙන් දිවා රෑ නිදි නොලබා සකස් කල කෑගල්ලේ ඉදිවන විශාල හෝටලයක "ඉන්ටීරියර් ඩෙකරේෂන්" කොන්ත්‍රාත්තුව අපේ සමාගමට ලබා දීමට හෝටලයේ පාලනාධිකාරිය තීරනය කරනු ලැබුවා . . . ඉතිං මේ ජයග්‍රහනයේ කොටස් කාරියක් වූ ඇයට නොදන්වා සිටින්නේ කෙසේද . . . මා නිවසට දුරකතන ඇමතුමක් ලබා ගත්තේ ඉපිලී යන සතුටින් . . .

"නිලූ . . . . ප්‍රොජෙක්ට් එක අපිට ලැබුනා . . . අපි ඉන්ටීරියර් ඩෙකරේෂන් ප්‍රොපොසල් එකට හදපු ප්‍රසන්ටේෂන් එක නියමෙට වැඩ කලා . . . "

"අම්මෝ ඇති යාන්තම් . . . සුභ පැතුම් සුභ පැතුම් . . . මම බයේ හිටියේ ඔයා සති ගානක් රෑ නිදිමරාගෙන වෙච්ච මහන්සිය අපතේ යයිදෝ කියලා . .. "

"ඇයි මම විතරක් . . ඔයත් කොච්චර නිදි මැරුවද . . . හැමදාම ඔයත් මාත් එක්ක ඇහැරගෙන හිටියනේ . . . "

"ඒ වුනාට ඔයාගේ මහන්සියනේ . . "

"ඇයි ඔයාත් මහන්සි වුනේ . . මේකේ ක්‍රෙඩිට් එක ඔයාටත් යන්න ඕනි . . මම හැමදාම කියන්නේ . .. හැම සාර්ථක මිනිහෙක් පිටිපස්සේ ඉන්නේ ගෑනියෙක් කියන දේ හරියටම හරි කියලා . . . "

"හෝව් හෝව් කුකූ . . . . හැම සාර්ථක මිනිහෙක් පිටිපස්සේ වගේම හැම අසාර්ථක මිනිහෙක් පිටිපස්සේ ඉන්නෙත් ගෑනියෙක් හොඳේ . . . හි හි හි . . . ආ මේ දැන් දෝනිට හොඳයි. එයා දැන් මෙච්චර වෙලා මාත් එක්ක සෙල්ලම් කර කර හීය . . . ඔයා හෙමීට එන්න නෂීම් එක්ක . . "

"බුදු සරණයි . . .!!"

නිලූගේ හිනාවට සම්මාදම් වුනු මම ඉක්මනට සංවාදය නිමා කලේ ගෙදරට එන්න තියෙන හදිස්සිය නිසාවෙන්මයි . . .

"අවිස්සාවේල්ල පාරෙන් යමු නේ තිලා . . . අවිස්සාවේල්ලට යන කම් මාම් ඩ්‍රයිව් කරන්නම් . . උඹ එතන ඉඳන් ගනින් . . "

"හරි එහෙනම් ඔන්න මම සින්දුවක් අහන ගමන් පොඩි නින්දක් දාන්න හදන්නේ" කියා අමරදේවගේ ගීත අඩංගු තැටියක් වාදනය වෙන්න දම ආසනය ඇල කරගෙන දෙනෙත් පියා ගත්තා . . .

. . . .

තාත්තා වුනත් මා බත සරි කරන
අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින . . . //

මට පෙර උරුම ආලය දරු කැලට දෙමින් . ..
රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින් . . .
ඔබ දුටු මුල් දිනේ වත් හද නොනැඟි පෙමින් . . .
උතුරයි මසිත තව නුඹ වෙත තුරුළෙ වෙමින් . .

බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ . . .
අතදරු පුතුගේ මුව කමලේ ඇත නිබඳ . . .
අම්මා කෙනෙක් මිස නුඹ මගේ බිරිඳ ලෙස . .
නොහැගේ ලඟින් හිද මගේ හිස සිඹින සඳ . .

තාත්තා වුනත් මා බත සරි කරන
අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින . . . //

අමරදේව මහතාගේ ගීතය මගේ සිතට ගෙනාවේ පුදුම සුවයක් . . . .

ජීවිතේ සුන්දරද මෙතරම් . . . මගේ හිත පාවෙලා යනවා වගේ මට දැනුනේ . . .

Saturday, December 26, 2009

සමුගැනීමේ සාදය . . . . . . !



දෙදාස් හය ජූනි විසි හය . . . . අළුත් කන්තෝරුව
ලේසි නෑ ඔතන බං . . . .ඔළුව උස්සන්න නම්
සුද්දෝ විතරක් ම නම් . . . . කමක් නෑ අපේ අය
කමක් නෑ මගේ මිතු . . . . යාපායියා නොබලාද
. . . . . .
හදේ දැල්වෙන ගින්න . . . කමිසයෙන් වසාගෙන
මැඩ්ලින් ගසන පා . . . . වෙර දරා කෙලින් කර
රිසෙප්ෂන් බ්‍රෙනෙල්ඩගෙ . . . . තඩි පස්ස නොබලාම
ඇතුලටම ගිය සඳට . . . . සිනා පිරි කටවල්නෙ
. . . . . . .
ආ මල්ලි කොහොමැයි . . . . සුභ උදෑසනක් උඹට
අපි මේ උඹ එනකම්ම . . . . මග බලාගෙන හිටියා
අරුණයියගේ වචන . . . . . සියොලඟම ගල් කලා
බුර බුරා නැගුනු ගිනි . . . . .අළු සමඟ සේදුනා
. . . . . . .
එදා සිට මෙදා තෙක් . . . . නුඹ මගේ සෝයුරෙකි
නුඹ මගේ බොස් වුවත් . . . . ගුරුතුමෙකි, පියතුමෙකි
අනේ අරුණයියා මේ වැඩේ දන්නෑ නේ . . . . කලින් කරලත් නෑ නේ
හරි මචං සුළු දෙයක් . . . . මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි
අද රෑට මේක මම . . . . ගොඩ දාලා තියන්නම්
උඹ කලින් ගියානම් . . . . . සුදු පුතා බලන් ඇති
. . . . . . .
මචං ඔයාගේ හිසරුදාව . . . . . අඩු නැද්ද මොකෝ දැං
නෝනගේ කැස්සට . . . . . බෙහෙත් ගත්තොත් මොකද
පුතාගේ උන ගතිය . . . . .මෙන්න මෙතනින් බලවන්න
රාජකාරී ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න . . . . පුද්ගලික ප්‍රශ්න පොදු ප්‍රශ්න
මගේ විතරක් නම් මොකෝ . . . . හැමෝගෙම ප්‍රශ්න වැල්
නමුත් අරුණයියා ලඟ . . . . . හැම එකටම බේත් ඇත
. . . . . .
අරුණයියා අස්වෙනවා . . . . . කැන්ගරු දේසෙට යනවා
අනේ අනුරාධයියා . . . . . . මගෙ කකුල් හිරි වැටුනා
ඉන්න පොඩ්ඩක් ඔහොම . . . . කාරෙක අයිනට දැම්මා
මැටි පූසා ෆෙයා වෙල් . . . . . පාටියක් ගැන හිතුවා
උඹ වරෙන් විසි හතර . . . . හතයි තිහ - පැනොරාමා
. . . . . .
වෙව්ලන ඇඟිලි තුඩු . . . . . සුභ පැතුම් පත ලීවා
හදවතේ කඳුළු බිඳු . . . . . නෙත් දෙකේ බොඳ වූවා
ෆෙයා වෙල් පාටියෙදි . . . . ගල් වෙච්ච කඳුළු බිඳු
ගෙදර විත් නිල් පෑනේ . . . . තුඩ මතින් ඉකි බින්ද
. . . . . . . .
පළමු වෙනිදයින් පසුව . . . . නුඹ නොමැති ඔෆීසිය
නුඹේ මනුසත් කම . . . . . . දෝර ගැලු අඩවිය
ගිනි නිවන නුඹෙ සිනා . . . . මල් පිපුනු සහරාව
මොන හිතින් පා තියම්ද . . . . සිත මගේ කෑ ගසයි . . . . !!!

Tuesday, December 22, 2009

ජීවිතේ සුන්දරද මෙතරම් . .. !! 2වෙනි කොටස



කලින් කොටසින් . ..

"හැම මොහොතෙම ඈ ලඟ හිටියත් නොහිටියත් මට දැනෙන සුවඳ . . ඇගේ හිසකෙස් වලින්, බෙල්ලෙන් එන සුවඳ මාව සුපුරුදු පරිදි පැරනි මතකයක් ලඟට මටත් නොදැනිම ගෙන ගියා. . . .. "

නිලූ දෝනිව කුසේ දරාගෙන කොන්දේ වේදනා විඳිමින් සිටි අතීතයේ දවසක, කාර්‍‍යාලයේ වැඩ අධික කම නිසාත් නිමා කරන්න අපහසු රාජකාරියකට දින ගනනක් වෙහෙස වී නිදි මැරීම නිසාත් හටගත් හිසරදයකින් පෙලෙමින් සිටි මා දිනක් සවස පහට පමන නිවසට පැමිණියේ බොහෝම අපහසුවෙන්.

වෙනදා පරිදි ගැලවූ පාවහන් පාවහන් රාක්කයට වත් නොදා දොර ලඟම ගලවා දැමුවා. කමිසය ගලවා පුටුවක් මතට විසිකලේ සුපුරුදු පරිදි ඇඳූ ඇඳුම් අපේ නාන කාමරයේ කිළුටු ඇඳුම් බහාලනයට දමන පුරුද්දත් අමතක කරමින්. . . !

"නිලූ මගේ ඔලුව පැලෙන්න තරම් කැක්කුමයි" කියූ මා එක් වරම ඇඳට වැටුනේ නින්දෙන් වත් සහනයක් ලැබේවී යැයි උපකල්පනයෙන්.

සුළු මොහොතකින් වේදනා නාශක පෙති දෙකක්, වතුර වීදුරුවක්, ඕඩි ක්ලෝන් බෝතයලයක් සහ ඕඩි ක්ලෝන් තැවරූ රෙදි කැබැල්ලක් රැගෙන නිලූ එනවිට මා එදෙස බැලුවේ හිස ඔසවන්නේ නැතුවම.

"මේ පැනඩෝල් දෙක බොන්නකෝ . . . නලළට මේ ඕඩි ක්ලෝන් රෙදි කෑල්ල දැම්මාම සනීපයක් ඒවි"

"නෑ පැනඩෝල් විතරක් ඇති"

"කිව්වම අහන්නකෝ ඉතිං. කෝ ඔලුව උස්සලා මගේ ඔඩොක්කුවේ තියන්න මම ඔලුව පොඩ්ඩක් මසාජ් කරන්නම්" ඇඳ විට්ටමට හේත්තු වෙන්නෙත් නැතුවම නිලූ මගේ ඔලුව එයාගේ ඔඩොක්කුවේ තියා ගත්තා.

එකපාරටම නින්දට වැටුනු මට දැනෙන්න ඇත්තේ පාවෙනවා වගේ හැඟීමක්. . . . නින්ද කොපමන කාලයක්ද කියා සිතා ගන්නවත් අපහසු නිමේශයකදී මට දැනුනේ එක්තරා සුපුරුදු සුවඳක්. . . .දෑස් නොඇරම මම ඒ සුවඳ තේරුම් ගන්න උත්සාහ කලා . . . .

නිවාඩුවට ගමේ ගිය වෙලාවල් වලදී ගමේ ආච්චිගේ චීත්තයක් පොරවාගෙන, ඇගේ ලඟින් ඈව බදාගෙන, ඈ මගේ හිසේ නියපොතු අනිමින් සිටියදී නිදා ගන්න විට දැනෙන සුවඳ මෙන් සුවඳක් . . . . . අම්මා සෝෆා එකේ ඉඳගෙන ටී වී එකේ ටෙලි නාට්‍යය බලද්දී ඇගේ ඔඩොක්කුවේ හිස තියාගෙන,මගේ කකුල් සෝෆා එකේ දිගා කරගෙන ඉන්න විට අම්මා ඇගේ ඇඟිලු තුඩු වලින් හිස අතගාන විට දැනෙනවා වැවි සුවඳක් . . . . . .

හෙමීට ඇස් ඇරපු මම දැක්කේ එක අතක් කොන්දට තියාගෙන අනිත් අත ඇඳේ ඔබාගෙන මගේ හිස ඇගේ ඔඩොක්කුවේ තබාගෙන අපහසුවෙන් ඉන්න නිලූ . . . . !!

එක් වරම නැගිටගත් මා බැලුවේ ඔරලෝසුව දිහා . .. වෙලාව රාත්‍රී 9.10යි. පය හතරක් පමන එක දිගට මම නිදාගෙන.

"මෙච්චර වෙලා ඔයා මෙහෙමද හිටියේ "

"ඔව් . . . "

"ඔයාට පිස්සුද?? මාව අහකට තල්ලු කරලා දාන්න තිබුනානේ . . ඔයා මේ කොන්දේ අමාරුවෙන් ඉන්න කෙනා. . ."

"නෑ මට ඔයාට ඇහැරවන්න පව් කියලා හිතුනා. . ඔලුව කොට්ටයක් උඩින් තියන්න ගිහින් ඔයාව ඇහැරුනොත් කියලා මම එහෙමම හිටියා"

. . . . .

එදා ඒ දැනුනු සුවඳත් . . . අද මේ දැන් දැනෙන සුවඳත් . . . . දෙකක් නොව එකක්ම යැයි මගේ සිත කීවා . . . .එදා ඒ දැනුනේ ත්, . . . මෙදා මේ දැනෙන්නේ ත් . . . ඈ ලඟ සිටියත් නොසිටියත් මට දැනෙන්නේ ත්. . . ස්ත්‍රීත්වයේ සුවඳද ??? මාතෘත්වයේ සුවඳද ??? . . . . මගේ හිත මගෙන්ම ප්‍රශ්න අහනවා . . . .

නෑ ඒ ස්ත්‍රීත්වය, මාතෘත්වය හා මුසු වුනු ආදරයේ සුවඳ . .. මගේ හිතම පිලිතුරු බඳිනවා. . .. !!

අපි ඈතට ඈතට පා නඟලා . . . . !

මගේ දුරකතනයේ නාදය මගේ ප්‍රියතම ගායකයාගේ ගීතයක් . . .

"ඉක්මනට ආන්සර් කරන්න දෝනි ඇහැරෙයි නැත් නම් . . ." මගේ තුරුල්ලෙන් මිදුනු නිලූ මා ව හෙමීට තල්ලු කලා.

"තිලා . . . මම නුවර පාරට දාන්න හදන්නේ . . මොකෝ කියන්නේ එක වාහනේම යන්ද. . ? ඕකේ නම් මම උඹලගේ ගෙදරට එන්නම්"

මගේ කාර්‍‍යයාලයේ මිතුරා හෙවත් අපේ බිස්නස් ඩිවෙලොප්මන්ට් මැනේජර් නෂීම්.

"අනේ ලොකු දෙයක් මචං. . . මම ඊයේ ටිකක් නිදි මරලාත් ඉන්නේ . . . වරෙන් වරෙන් එහෙනම්"

. . . .

"ඔන්න මම දෙන්නටම උදේටයි දවල්ටයි කෑම ලෑස්ති කලා" . . . පිටත් වෙන්න හදද්දී කෙසෙල් කොලේක ඔතලා පාර්සල් කරපු බත් පාර්සල් දෙකකුයි, උදේ කෑම එකයි වතුර බෝතල් දෙකකුයි නෂීම් ගේ වාහනයේ පිටිපස ආසනයට දාන ගමන් නිලූ කියනවා.

"අහ් එහෙනම් අදත් ඔෆිස් එකෙන් පිට කියලා නෑ නිලූගේ කෑම වල රසවිඳින්න පුලුවන්" නෂීම් කියන්නේ සතුටින් පිනා ගිය මූනකින්.

. . . .

"බලපන්, නිලූත් කොලිෆයිඩ් ආකිටෙක්ට් කෙනෙක් වෙලත් කොච්චර නිහතමානිද. අපේ වැඩ වලට ත් කොච්චර හෙල්ප් එකක් දේන්වාද සද්දේ නොකරම . . ." පිටත් වෙලා සුළු මොහොතකින් රිය ධාවනය කරන ගමන් නෂීම් පවසන්නේ හැඟීම්බරව.

මුස්ලිම් සමාජයක හැදීවැඩුනු අයෙක් වුවත් අන්තවාදීයෙක් නොවූ නෂීම් ඔහුගේ බිරිඳට අන් මුස්ලිම් සැමියන් මෙන් වාරන නීති රීති පනවා නැති අයෙක්. එවැනි සැමියෙක් සමඟ සතුටින් ජීවත් වීමට ඕනෑ තරම් ඉඩ කඩ තිබියදීත් තමන්ගේ විහින් සකසා ගත් කුඩා කොටුවක් තුල ජීවත් වනවා වැනි ජීවිත රාමුවක් සදාගෙන ඉන් පිට ලෝකයක් ගැන සිතන්න වත් අකමැති වූ රිෂායා, නෂීම්ගේ සමාජශීලී ජීවිතයට වැට කඩොළු බඳිමින් ඔහුගේ ඔහුගේ ජීවිතයට මහා බරක් එක් කරන ගමන් ඇයගේ ලෝකයේ වැඩකඩොළු ශක්තිමත් කරමින් සිටින්නියක්.

"ඔව් මචං මම උඹට කිව්වේ අපි මොනා හරි ඩිසයින් එකක් ගැන ඩිස්කස් කරන වෙලාවට එයාටත් ජොයින් වෙන්න කිව්වාම ඇවිත් අහගෙන ඉඳලා මොනා හරි අප්සෙට් තැන් තියෙනවානම් මට ශේප් එකේ කියනවා මිසක් එයත් හැම දේම දන්නවා කියලා පෙන්නන්න හදන්නේ නෑ " මම කිව්වේ සියුම් ආඩම්බරයකින්

"ඔව් ඒක තමයි මාත් කිව්වේ වෙන ගෑනියෙක් නම් පැනලා දෙනවානේ අනිත් අය ඉස්සරහා මාත් දන්නවා කියලා පෙන්නන්න. අනික බලහන් උඹේ යාලුවෝ ඔක්කෝටම එයා එයාගේ යාලුවන්ට වගේ සලකනවා. උඹ හරි වාසනවන්තයි ඒ වගේ කෙනෙක් ලැබෙන්න"

ස්වාමියෙකුට තමන්ගේ බිරිඳ ගැන මිතුරෙකුගෙන් හෝ තෙවන පාර්ෂවකරුවෙකුන් එවැනි ගුණවැනුමක් අසන්න ලැබෙනවාට වඩා වෙනත් සතුටක් ලැබිය හැකිද . . . ?

. . . . .

මතු සම්බන්ධයි . . . !

අවසන් කොටසට මෙතනින් යන්න . .

Monday, December 14, 2009

ඔබ ද මා ද වී මා ද ඔබම වෙමු . . . !



ඔබ ඔබම මිස
මම මා ද මිස
ඔබ මා නොවන බව
මා ඔබ නොවන බව
මා කෙසේ නම් හඟින්නද . . . ??
. . . . . . . . .
මට අවැසි ඔබ මා වනු දකිනුය
ඔබ මා ඔබ වනු දකිනු රිසිය
ඔබ නිවරදි බව ඔබ සිතයි . . !
මා නිවරදි බව මා දනියි . . . !
. . . . . .
ඔබට අවැසිලෙස
මට ඔබ වනු නම්
මට මා මිය යා යුතුය . . . !!!
. . . . .
මට මා මිය ගොස්
දැවූ අළු මතින් උපදින
මාද වන . . . මාද නොවන
අමුතුම සතාට
ඔබ කෙසේ වත්
පෙම් නොකරන බව
සක් සුදක් සේ මම දනිමි . . !
. . . . .
පැරණි මළකුනු බදා
තව තවත් වැලපෙමුද
අතීතය වල දමා
හෙට දිනට හිනැහෙමුද . . . ???

Thursday, December 10, 2009

සිරිකත පරද වන රූ සපුවකි ඇයට . . . . !



මමයි මගේ බිරිඳයි දෙන්නා ම ලංකාවේ නැටුම් කලාවට තදින් ආදරය කරන දෙන්නෙක්. මම කලින් ලිපියකත් කිව්වා වගේ සමහර වෙලාවක පිටරටක දී සමහර විජාතිකයින් අපි ශ්‍රී ලාංකිකයෝ කිව්වාම දන්නෙත් නෑ . . . නමුත් අපේ රටේ නැට්ටුවෙක්ගේ පින්තූරයක් පෙන්නුවාම අහනවා "අහ් මේ නැටුම් තියෙන රටේ ද උඹලා ඉන්නේ කියලා" අපේ නැටුම් එතරම්ම සුවිශේෂයි . . යුනික්. !! එවැනි අවස්ථාවන් වලදී අපේ ඒ ආදරයට ආඩම්බරයකයකුත් එකතු වෙන බව නොරහසක්.

අපේ රටේ මූලික නැටුම් අංග තුන වූ උඩරට, පහත රට හා සබරගමු නර්තන ශෛලීන්ට අමතරව එදිනෙදා ජන ජීවිතය හා බැඳුනු ජන සංගීතයක් හා ජන නැටුම් කලාවක් ද තිබෙනවා. නැටුම් කලාව ගැන වැඩි විචාරයක් හෝ විවරනයක් කරන්න තරම් මගේ ඒ සම්බන්ධ දැනීමක් නැති වුනත් මට සිතෙන ආකාරයට ජන නැටුම් වල සමහර අංග මේ මූලික නැටුම් කලාවන් හා සුසංයෝග වෙලා තිබෙනවා කියා.

ජන නැටුම් වෙනමම සංස්කෘතික අංගයක් ලෙස ගත් කල (සමස්තයක් ලෙස නැටුම් කලාවම අභායට යමින් තිබෙනවා වුවත්) ලංකාවේ මූලික නැටුම් කලාවන් කෙරෙහි ඇති සැලකිල්ල හ සසඳා බලන විට ජන සංගීතයට හා ජන නැටුම් වලට නියමිත අගය කිරීමක් හෝ සැලකීමක් නෑ කියන හැඟීම මගේ නම් නිතරම කනස්සල්ලට හේතුවක්.

එයට හොඳම උදාහරනය ලෙස ජන සංගීතය හා ජන නැටුම් නඟා සිටුවන්න නිහඬ අමිල සේවාවක් කල ශ්‍රේෂ්ඨ කලාකරුවෙකුවූ ලයනල් රන්වල මහතාගේ සේවය ඔහු මිය යන තුරුම අගය කිරීමකට ලක් නොවීම. වාසනාවකට මෙන් ඔහුගේ පුත් මගේ ප්‍රියතම කලාකරුවෙකු වූ සහන් රන්වල මහතා පියාගේ අඩි පාරේ යමින් ඔහු තරම්ම නිහඬ ලෙසට නොවුනත් තරමක් සීරුමාරුවෙන්, විශාල ඉදිරි දැක්මක් සහිතව ජන සංගීතය හා ජන කලාව ශ්‍රී ලංකික අපේ හදවත් වලට ලං කිරීමේ උදාර කර්තව්‍යය කරගෙන යමින් සිටිනවා.

පුංචි කාලේ ඉඳන්ම නිවාඩු කාලයට මාව ඔවුන්ගේ ගමේ එක්ක යන්න තාත්තාගේ පුංචි අම්මා හෙවත් අපේ පුංචි ආච්චී හෝ සීයා එන එක එකල නියතයක්. පුංචි ආච්චිගේ දුව මගේ ආදරණීය ලතා නැන්දා නැටුම් ගුරුවරියක්. ඇයගේ සැමියාත් ඔහුගේ සොයුරියත්,පියාත් නැටුම් ගුරුවරු. කුමාර මාමාගේ සොයුරිය විසින් රුවන්වැල්ල මොරාවත්ත පංසලේ කලායතනයක් පවත්වාගෙන යනු ලබනවා.

නිවාඩු කාලයක ගමේ ගිය විටෙක මට අහම්බෙන් මෙන් ඔවුන්ගේ කලායතනය විසින් පැවැත්වූ වාර්ෂික කලා මහෝත්සවයකට සහභාගී වීමට හැකි වුනා. එහිදී තිබූ නැටුම් අංගයන් අතුරින් මගේ සිත් ඉතා තදින් ඇද බැඳ ගත්තේ ගිරිදේවී නැටුමයි. පුහුනුවීම් වට දෙකකුත් සංදර්ශනයේ වට දෙකකුත් නරඹා අවසන මේ ගිරිදේවී නැටුමේ කවි මට කට පාඩම් වූවා. අදින් වසර ගනනාවකට ඉහත කඩපාඩම් වූ ඒ කවි අද දින අතරින් පතර හෝ යාන්තමින් මට කටපාඩම්.

බිරිඳ විසින් ස්කෑන් කර එවූ පොතේ සඳහන් පරිදි මේ ගිරිදේවී නැටුම පහත රට නැටුම් වල කෝලම් නැටුම් සම්ප්‍රදායේ කොටසක්. ජනවහරට අනුව ගිරි දේවී යනු ගරා යකා හෙවත් දළ කුමරුන්ගේ නැගණියයි. සොයුරු දළ කුමරුන් වෙතින් කෙලෙසෙමට පත් ගිරි කුමරිය ඇතිවූ ලැජ්ජාවත් ශෝකයත් දරා ගත් නොහැකිව ගසක එල්ලී ජීවිතක්ෂයට පත් වූවාය. නැගණියගේ වියෝවින් ශෝකයට පත් දළ කුමරු ද මිය ගොස් ගරා යකා ලෙස උත්පත්තිය ලැබූ අතර මරණින් පසු ගිරි කුමරිය ගිරි දේවිය බවට පත් වූවාය. ඇතැම් තැනක සඳහන් වන්නේ ගිරි යකිනිය වූ බවකි.

යූ ටියුබ් එකට පින්සිදු වන්න මට ඒ අලංකාර නැටුම නැවත වරක් රසවිඳින්න ලැබුනා. ඉතිං ඔබට ඒ අවස්තාව ලබා නොදී ඉන්නේ ඇයි . . . ??

සෑරි සොඳට දිගු වරලස දිලෙන්නේ . . .
නෙරිය තියා ලා සේලය අඳින්නේ . . .
රනින් රිදී මුතුහර ගෙල පෙනෙන්නේ . .
ගිරි දේවි උපතය මම කියන්නේ . . .

මයුර පිළස බැඳි කොන්ඩය යස රුවට . . .
දෙපියුරු වසා රන් පටියකි ළමැද වට . . .
සිරිකත පරද වන රූ සපු වකි ඇයට . . .
ආදර වඩන ගිරි දේවිය එයි සබට . . .

ඇඳ ඇඳ සේලය ගත බබළාදෝ . . .
බැඳ බැඳ වරලස සිකි පිලු විලදෝ . . .
සොඳ බඳ ළෙලුමෙන් පියයුරු ළෙලදෝ . . .
ඉඟ ඉඟ සිහිනිඟ දෙපස නටාදෝ . . .

">

මේ කවි වල අන්තිම කොටස තුන් පාරකට ඇදලා කියන එක තමයි මට හිතෙන්නේ මේ කවි වල ඇති සුවිශෙෂිත බව. ඒ නිසා තමයි මම හිතන්නේ මගේ හිතේ ඒ කවි පදවල් රැඳුනේ. හැමදෙනාම අහල බලන්න මේ වීඩියෝ පටිය නරඹන්න "අයියෝ නැටුම්නේ. . . නැටුම් කන්නද. .. !" කියලා අතහැරලා නම් දාන්න එපා. බලලා ඉවරවෙලා කමෙන්ට් එකකුත් දාන්න අමතක නොකර . .. !!











Friday, December 4, 2009

ජීවිතේ සුන්දරද මෙතරම් . . . !



චරාස් . . . .

කුස්සියේ යමක් බදින හඬින් මාව උඩ ගිහින් වගේ ඇහැරුනේ මම ඉන්නේ කොහේද කියලාවත් එක්වරම හිතා ගන්න නොහැකි ලෙසින් . . . මොහොතකින් සිහි එලවාගත් මම ඇස් නොඇරම ඇඳේ වම් පැත්ත අතගලා බැලුවේ නිලූ තාම නිදිද කියලා බලන්න . . . නිලූගේ උනුසුමත් සුපුරුදු සුවඳත් විතරක් ඉතුරු කරලා එයා නැගිටලා ගිහින් බව මට තේරුනා . . .

අඩි හයක් පළල ඇඳේ බිත්තිය පැත්තට වෙන්න නිදන දෝනි ගේ වටේටම කොට්ට තියලා වායුසමීකරනයේ සීතලට ඔරොත්තු දෙන විදිහට උනුසුම් වාතාවරනක් හදලා බෙල්ල ගාවටම වෙල්වට් පොරවනයෙන් වෙනදට වහනවා වුනත් අද එහෙම කරලා නැත්තේ දෝනිට ඊයේ රෑ අංශක 100ට පමන උන තිබුනු නිසා බව වම් පැත්තට හැරුනු මට එක්වරම සිහි වුනා . . . දෝනිගේ නළලට අතේ පිටි අල්ල තියලා රස්නේ බැලුවාම මට තේරුනේ ඊයේ රෑ තරම් ඇඟේ රස්නයක් දැන් නැති බවයි.

කොට්ටේ යට තිබුනු ජංගම දුරකතනේ අරන් මම වෙලාව බැලුවේ එලාම් එක වැදුනේ නැත්තේ ඇයි කියලා හිතන ගමන්. පාන්දර 4.30යි. දෙයියනේ මේ ගෑනු මනුස්සයට නින්ද යන්නේ නැද්ද? ඊයේ පාන්දර තුනට විතර අහම්බෙන් ඇහැරුනු වෙලාවෙත් නිලූ ඇඳේ ඉඳගෙන දෝනි දිහා බලාගෙන ඉන්නවා.

"තාම උනද . . ?"

"නෑ දැන් අඩුයි. . . !"

"ඉතිං ඔයා නිදා ගන්න ළමයෝ . . . හෙට දවසෙත් ඇහැරිලා ඉන්න එපැයි . . "

"නෑ මට නින්ද යන්නේ නෑ දුවට උන වැඩිවෙයි කියන බයටම"

"ඉතිං දැන් අඩුයි කිව්ව්නේ . . . පොඩ්ඩක් හරි නිදා ගන්න ඩාලිං"

"හා ඔයා නිදාගන්න හෙට කෑගල්ලේ යන්නත් තියෙනවානේ . . . "

"කෑම හදන්න ඕන නෑ හොඳේ මම ඔයාට ඇහැරවන්නෙත් නැතුව තේ එකක් විතරක් හදාගෙන බීල යනවා. යන ගමන් මගදි මොනා හරි කන්නම් . . ඔයා මේ නිදි මරලා ආපහු නැගිටලා උදේට කෑම හදන්න ඕන නෑ . . ."

"හරි හරි . . ඔයා නිදා ගන්න. දැන් දෝනිත් ඇහෙරෙනවා ඔයාගේ සද්දෙට"

"කොච්චර කිව්වත් වැඩක් නෑ මේ කෙල්ලට . . " මට දැනුනු සියුම් නොරිස්සුම් ගතියෙන්ම මම ඇඳෙන් නැගිට්ටේ කුස්සියට යන්න . . .

සද්ද නැතුව මම පිටි පස්සෙන් ගිහින් ඒ වෙනකොට පාන් වල බටර් ගගා හිටපු නිලූ ව අත් දෙකෙන්ම හිර කරලා බදා ගත්තා . . .

"අනේ සොරි කුකූ . . ." මගේ තිලාෂ් නමට කොහෙත්ම සම්බන්ධයක් නැති නමුත් ඈ විසින්ම මා වෙනුවෙන්ම හදාගත් සුරතල් නම.

"දුව ඇහැරිලා කෙඳිරි ගෑවොත් මට ඇහෙන්න කියලයි කාමරේ දොර වැහැව්වේ නැත්තේ . . අයියෝ එකෙන් වුනේ ඔයාව කලින්ම ඇහැරුනු එක. . " නිලූ කියන්නේ මගේ නින්ද කැඩුනු එක ගැන දුකෙන් වගේ.

"මේ හලෝ . . . මම තමුසෙව කසාද බැන්දේ වැඩකාර කමට ගෑනියෙක් ගන්න ඕන වුනු නිසා නෙමෙයි හරිද. . .?"

මම තමුසේ කියන්නේ ආදරේට බව දන්න නිලූ මගේ අත ටිකක් බුරුල් කරලා මගේ දිහා බෙල්ල විතරක් හරවලා බැලුවේ හිනාවීගෙන.

"ඔයා ඔය කිව්වට කඩවල් වලින් කන්න කැමති නැති බව මම හොඳටම දන්නවනේ බබෝ . . . ඉතිං ඔයාට කෑම හදල නොදී ගෙදරින් යැව්වොත් මට අද ඔයා ආපහු එනකම්ම ඉන්න වෙන්නේ දුකෙන්. . "

"ඔයා නිදා ගන්න. කෑගල්ලට වෙනකම් ඩ්‍රයිව් කරලා ආපහු එන්නත් ඕනනේ . . . තව පැය එකහාමාරක් තියෙනවා හය වෙන්න . . "

"මට බෑ . . ." මම කිව්වේ මුරන්ඩු කොලු ගැටයෙක් වගේ

ගෑස් ලිපේ තියෙන හාල්මැස්සෝ බැදුමේ ගින්දර අඩු කරපු නිලූ මගේ පිජාමා ෂර්ට් එකේ බොත්තම් ටික ගලවලා මගේ පපුවට ඔලුව තියා ගත්තේ අත් දෙකෙන්ම ෂර්ට් එකට ඇතුලෙන් අතදාගෙන මාව බදා ගන්න ගමන් . . .

"ඔයාගේ ලිපේ තියෙන බැදුමට මොකද වෙන්නේ මේ විදිහට හුරතල් වෙන්න ගියොත් . . ." මගේ අත් දෙකෙන්ම නිලූව තුරිළු කරගන්න ගමන් මම එහෙම ඇහුවා වුනත් මම දන්නවා මේ හැම දවසකම උදේම ඈ විඳින සුන්දර ප්‍රේමනීය මොහොත කොහොමටවත් නැති කර ගන්න ඈ අකමැති බව.

"මම බැදුමට කිව්වා මට කරදර කරන්න එපා. උදේ පාන්දර මගේ මේ ආසම විනාඩි දහය මට මගේ පාඩුවේ ඉන්න දෙන්න කියලා . . ." නිලූ කියන්නේ මට විතරක් නෙමෙයි ඈට වත් ඇහෙන්නේ නැති තරම් හෙමීට

මම හෙමීට ඇගේ හිස් මුදුන ඉඹලා මගේ කම්මුලක් ඇගේ හිස් මුදුනට තියාගෙන ඇස් දෙක වහ ගත්තා. හැම මොහොතෙම ඈ ලඟ හිටියත් නොහිටියත් මට දැනෙන සුවඳ . . ඇගේ හිසකෙස් වලින්, බෙල්ලෙන් එන සුවඳ මාව සුපුරුදු පරිදි පැරනි මතකයක් ලඟට මටත් නොදැනිම ගෙන ගියා.

මතු සම්බධයි . . .

. . . . . . . . . . . . . . . ..

දෙවෙනි කොටසට මෙතනින් යන්න . .

හැමෝම මට ගොඩාක් වෙලාවට බනින නිසා මම විවාහ ජීවිතේ අසුන්දර පැත්ත ගැන විතරක් කතා ලියනවා කියලා මම හිතුවා අද එහි සුන්දර බව ගැන කෙටි කතාවක් ලියන්න කියලා . . .

නමුත් හිතුවට වඩා කෙටි කතාව දිගු වීම නිසා එය කොටස් කීපෙකින් පලකරන්න සිතුවා. මොකද කලින් කතාව ගැන මට චෝදනාවක් තිබුනා එක දවසකදී පල කරන කොටස දිගු වැඩි වීම නිසා ගොඩක් දෙනෙක්ට බ්ලොග් කියවීමට ලැබෙන සුළු කාල වේලාව මදි කියලා එවන් දිගු කොටසක් කියවන්න.

ඉතිං මේ කෙටි කතාව කෙටි කතාවක් වුනත් කෙටි බ්ලොග් සටහන් කීපයකින් යුක්ත කෙටි කතාවක් වේවි.

. . . . .

විවාහ ජීවිතේ අසුන්දර බව ගැන ම කතා ලිව්වේ එය සුන්දර දෙයක් බව අමුතුවෙන් කියන්න ඕන නැති නිසා. ඒකට හොඳම උදාහරනේ අපේ රටේ විවාහ ප්‍රතිශතය. බටහිර රටවල් වගේ නෙමෙයි අපේ රටේ විවාහ නොවී තනිකඩව සිටින්නන් ඉන්නේ බොහෝම සුළු සංඛ්‍යාවයි.

කොතරම් සුන්දර දෙයක් වුනත් යම් යම් මත ගැටීම්, වැරදි වටහා ගැනීම්, හොඳ සන්නිවේදනයක් නැතිකම, පවුල් වල අයගේ උසිගැන්වීම්, කේලාම්, සුළු සුළු අඩුපාඩු මහා ලොකු දේවල් ලෙස ගනන් ගැනීම් . . . වගේ දේවල් නිසා එහි සුන්දර බව නැතිවී එය අසුන්දර අපායක් බවට පත් වෙන අවස්ථාවල් මම ඕන තරම් දැකලා තියෙනවා . . අහලා තියෙනවා . . . මගේ කෙසේ වෙතත් අන් අයගේ එවැනි දේවල් අත්විඳලා තියෙනවා.

එවැනි දේවල් මග හරවා ගෙන විවාහය සුපුරුදු සුන්දර මාවතට යලි ඇදලා දාගන්න දෙවෙනි සිතුවිල්ලක් ඇති කරගන්න නැතිනම් තමන්ගේම ප්‍රශ්න දිහා තුන්වෙනි පාර්ශව කරුවෙකු ලෙසින් දැක ඒ ප්‍රශ්න විසඳ ගන්න උදව්වක් ලෙස වගේ හැඟීමකින් තමයි මම කලින් ලියූ "අග පිපි මල් හෙවත් එක් සත්‍යය කතාවක්", "නුඹත් මාත් රේල් පීලි දෙකක්", "සත්‍යයක්‍රියාවෙන් හෙලිවූ කටුක අමිහිරි සත්‍යය", "අම්මාවරුන් පමනද මතු බුදු වන්නේ", "ඇයි පමා නුඹ ආදරණීය මරනය", "විවාහකයින් සියළුම දෙනාට එක් වරක් හෝ දික්කසාද වීමට ඉඩ සලසා දිය යුතුයි", "ඇස් රතුවෙන විහිළු හා කොන්ඩුම්", , "විවාහය - අවබෝධය - දුක - සතුට","ගැහැනු ළමයිනේ කොහෙද බලා ඉන්නේ", "මගෙ කූඩුවට ඇවිත් සල්ළාල පෙම් වතෙක්, මගෙ පෙම්බරී සමග හාදව දුන්නු ගින්දරක් . . . මට දුන්නු ගින්දරක්"
වැනි පෝස්ට් ලිව්වේ .

එහෙම නැතුව මම විවාහය දෙස අසුභවාදීව බලන්නෙක් නෙමෙයි . . .

Wednesday, November 25, 2009

එපා හිරු පායන්න අදින් පසු මගේ ලොවට . . . ! (අවසාන කොටස)



1 වෙනි කොටස 

2 වෙනි කොටස

3 වෙනි කොටස

4 වෙනි කොටස

5 වෙනි කොටස

6 වෙනි කොටස

7 වෙනි කොටස

සවස් වරුවට, සති අන්ත වලට පංති නොගිහින් නතර වුනු මම ආයෙමත් වැටුනේ සුපුරුදු සෙල්ලමට . . .

එකල අප පදිංචි වී සිටි නිවස පිහිටි පටු මාවතේ සිටි එක වයස් කාන්ඩ වල කට්ටියකටම කුමක්දෝ හේතුවක් නිසා නිවාඩු පිට වගේ සිටියේ කෙසේදැයි කියා කොයි ආකාරයට සිතුවත් හේතුවක් සොයා ගැනීම අපහසුම කාරියක් වුනා . . . ඒත් නිකමට වගේ සිතූ විටෙක මෙසේ වන්න ඇති කියා අනුමාන කරන්න හැකි වුනා . .

සමහර අය උසස්පෙළ කරල ප්‍රතිඵල එනකම් හිටියා . . . සමහර අය සාමාන්‍ය පෙළ කරලා උසස් පෙල කරන්න ළකුනු මදි නිසා දෙවෙනි පාර කරන්න පුනරීක්ෂන පංති ගිය නිසා කාල වේලා තිබුනා . .

එසේ සෙල්ලමට වැටුනු මගේ මේ ක්‍රීඩා ටිකකට හෝ නතර වුනේ බොහෝවිට සවස තුනේ සිට හතර දක්වා ගුවන්ගතවූ හිංදී ගී තීරය, නැතිනම් රූපවාහිනියේ විකාශනය වූ රොබින් හුඩ් වැනි හැඬ කැවූ නාටකයක්, නැතිනම් හුවමාරුවට කියවූ නවකතා පොතක් චිත්‍රකතා පත්තරයක් ලැබූ විටෙක පමනයි . . . නැතිනම් සවස හය වනතුරු එකදිගටම සෙල්ලම් කලේ හෙම්බත් වීමක වගක් වත් නැතුව . ..

කෙසේ නමුත් අප සියලුම දෙනා සිටියේ ක්‍රීඩා උන්මාදෙකින් වගේ . . .

මම සිටි වයස් මට්ටමේ ආනුභාවයෙන්, තරුණයන්ගේ ක්‍රීඩා වූ වැඩිය වාහන නො එන පටු මාවත බදු අරගෙන මෙන් කල පාපන්දු ක්‍රීඩාවටත්, කම්බි වැටවල් නොතිබුනු මාවතේ වතු උඩින් ගස් ගල් පවා පෙරලගෙන දිවූ වයින් බෝතලේ ක්‍රීඩාවටත්, රබර් බෝලයෙන් පිට හරහාට පාරවල් හිටින්න බෝලපාර කෑ ටින් කැඩීම වැනි ක්‍රීඩාවලටත් මා එකතු කරගත්තා වාගේම කුඩා වුන්ගේ ක්‍රීඩා වූ අයිස් පයිස්, වන් ටූ ත්‍රී බම්බල් බී වැනි ක්‍රීඩා වලට පවා පමනක් නොව කට්ටිය අඩුවූ විට ගැහැනු ළමයින්ගේ ක්‍රීඩා වූ බට්ටා පැනීමට පවා නංගී බලෙන්ම මාවත් එකතු කර ගත්තා . . .

කලින් සඳහන් කල කන්ඩායම් සමඟ මාත් ඒ සුපුරුදු රැලටම එකතු වෙලා දුවලා පැනලා ජීවිත කාලෙම මැකිලා නොයන තුවාල කැලල් කකුල් වල ඇති කරගත්තු ඒ කාලය . . පංති නොයන්න බැරි වුනු එක ගැන දුකක් හිතනන් වත් . . . ඉමාෂා මම නැති පංතියේ දුකෙන් ඉන්නවා ඇති කියා හිතන්නවත් . . . ඒ ආදරණීය පංතියත් එහි සියලුම දේත් මට නැති වුනා නේදෝ කියා සිතන්න වත් මට මොහොතකට වත් ඉඩක් නොදුන්නා තරම් . ..

ඉමාෂා, සචිනි අතේ සතියකට දෙක බැගින් එවූ ලිපි මා කියවා පුළුස්සා දැමුවේ සිත් පිත් නැත්තෙකුගේ ආකාරයට . . . සචිනි අතේ හෝ තිලංෂ අතේ එවූ පනිවුඩ - පංති ඇරෙන වෙලාවට පුස්ථකාලය ලඟට එන්න කියා එවූ පනිවුඩ අසා සිටියේ දෙකන් නැත්තෙකු ලෙසට . . .

ඉමාෂා සචිනි අතේ එවූ පනිවිඩ . . .ලිපි කෙමෙක් අඩු වී නැත්තටම නැතිවී ගිය මුල දිනෙක සවස් වරුවක තිලංෂ මා සොයා එනවිටත් මා සිටියේ මිතුරන් සමඟ වයින් බෝතලේ ක්‍රීඩාවට සහභාගී වෙමින් . . . ඔහුට ටික වේලාවකට නතර වෙන්නයි පැවසූ මා එන විට මගේ සිරුර දහඩියෙන් පෙඟී හඩු ගඳ ගසමින් තිබුනා වන්නට ඇති . . .

"හලෝ මචං . . . කාලෙකින් . . ." කියා මා ඔහුගේ උරහිසට තැබූ අත ඔහු පිළිකුලෙන් ඉවත් කලේ යොවුන් සිරුරකින් නැගුනු දහඩිය ගඳ කෙරෙහි පිළිකුලකින් නොව . . . නිනේෂ් දිනුත ගුණරත්න ගේ ආත්මය කෙරෙහි උපන් පිළිකුලෙන් බව මට වැටහුනේ ඉන් ටික කාලයකට පසුවයි . . .

කිසිදු සිනාවකින් තොර ඔහු මගේ දෙනෙත තුලට කිමිඳී මොහොතක් බලා සිටියේ මට කීමට ඔහු සිතාගෙන සිටි දේවල් යලිත් සිහිකැඳවා ගන්න කල්ගන්නවාක් මෙන් . . .

"උඹ නම් මහා බල්ලෙක් නිනෙෂ්. . . "

මගේ දයාබර මිතුරාගෙන් මෙවැනි යමක් කෙදෙනක වත් අසන්න සැදී පැහැදී නොසිටි මගේ හිත පමනක් නොව ගතද එක් වරම වෙව්ලා ගියා . .

"උඹට ලව් කරන්න උවමනාවක් නැත්නම්, ලව් කරන්න දන්නේ නැත්නම් . . . මොන මගුලට අර අහිංසක කෙල්ලට හෝප්ස් දුන්නේ . . . "

කිසිදු පිලිතුරක් නොදුන් මා තවදුරටත් ඔහු දෙස බලා සිටියේ මුලින්ම ඇතිවූ කම්පනය තවදුරටත් දෙනෙතේ දරාගෙන . .

"උඹට ඉමාෂා සචිනිගේ අතේ එවපු ලියුම් වලට වචන දහයක රිප්ලයි එකක් යවන්න බැරි වුනා නේද . . . "

මගෙන් පිලිතුරක් නොලද තැන ඔහු යලිත් පටන් ගත්තේ මුලින් තිබුනු තරම් තරහකින් නොව විශාල කම්පාවක් කටහඬේ රඳෝගෙන . .

"මුලින්ම අපි ඒකි ගැන missunderstand කලාට ඒකි මාර හිත හොඳ කෙල්ලෙක් කියලා තේරුනාම අපි හැමෝම ඒකිත් එක්ක ෆිට් වුනානේ . . . මට මතක් වෙද්දිත් මාර දුකයි ඒකි ක්ලාස් ඇරිලා උඹට එන්න කියලා පනිවිඩ යවපු නිසා උඹ පබ් එකට ඇවිත් ඇති කියලා හිතලා උඹ එනකම් බලං ඉඳලා නො එන බව තේරුනාම අඬල අඬලා ගිය විදිහවල් මතක් වෙද්දී . . ."

"මම ආවේ උඹ ඇයි එහෙම කලේ කියලා උඹෙන් නිදහසට හරුනු අහලා යන්න නෙමෙයි . . . . . ඇයි මම උඹට හොඳ දෙකක් කතා කරන්නේ නැත්තේ කියලා වද දෙන මහේ හිතට සහනයක් දෙන්න . . . . උඹට කුනුහරුපෙන් බැනලා යන්න ඕන නිසාමයි . . . “

ලොකු හුස්මක් ගත් ඔහු “මම යනවා . . . උඹ ආයි කවදාවත් එයාව මීට් වෙන්න යන්න ඕනෙත් නෑ . . එයාව දකින්න වත් යන්න ඕනෙත් නෑ . . . අපි පුලුවන් විදිහකින් එයාගේ හිත හදන්නම් . . ." කියූ තිලංෂ ඔහු ආ පාපැදියට නැගී යන්න ගියේ පසුපස වත් නොබලා. ..

ඔහු යන දෙස මම බලා සිටියේ හැඟීම් විරහිත බවකින් බව මට තාමත් මතකයි . . .

. . . . . . . . . . . .

සියල්ල උඩු යටිකුරු වී සත්‍යය වැටහීමට ගතවූයේ මාස දෙකක් හෝ තුනක් වැනි සුලු කාලයයි . . .

අසල් වැසි පොත් ගුල්ලන් ගුල්ලියන් පාසැලේ පුස්ථකාලයෙනුත් . . මහජන පුස්ථකාලයෙනුත් රැගෙන විත් මාරුවෙන් මාරුවට කියවන පොත් අතරින් "ගොළු හදවත" පොත නැවත වරක් මගේ අතට ලැබුනේ දෛවයේ හාස්කමකින් මෙන් . . . වරක් කියවා තිබුනු මුත් මෙවර එය මා කියවන විට දම්මි-සුගත්ට මෙන් ආදරයක ශේෂවූ මතක සටහන් මා ලඟ තිබුනු නියායෙන් වැඩි කාලයක් රැගෙන සීරුවෙන් කියැවූයේ සමහර විට මගේ අවාසනාවට විය හැකියි . . නැතහොත් ජීවිතයේ කෙදිනක වත් යලිත් එවැනි පාදඩ කමක් නොකිරීමට මට පාඩමක් ඉගැන්වීමට දෛවයෙන් දුන් තීන්දුවන් නිසා විය හැකියි . . .

දෙවියනේ . . . දමයන්ති කලාක් මෙන් . . ඊටත් වඩා කුරුරු ලෙස මා විසින්ද සිදු කලේ පලමු වර කියැවීමේදී දම්මි කලේ බරපතල වරදක් යැයි මා සිතූ වරදම නොවේද . . . ??

දම්මි හදවත ගොළු කරගෙන සිටියේ කුඩා කල පටන් ඈට යෝජිතව සිටි නිහාන් නිසාවෙන් . . . නමුත් මා . . . ?? දෙවියනේ මා . . ?? මා ඒ වැරැද්ද සිදු කලේ කිනම් වූ හේතුවක් නිසාවෙන්ද . . . ආදරය කිරීම යනු අරයාටත් කෙනෙක් ඉන්නා නිසා මටත් කෙනෙක් සිටිය යුතුයි වැනි යමක් . . . නැතහොත් පෙම්වතියක් සිටීම ආඩම්බරයට කරුනකැයි වැනි . . මෝඩ සිතුවිල්ලකින් ආදරය යන උදාර වචනයට මුවාවී මා විසින් සිදු කර ඇත්තේ කුමන සාපරාධී ක්‍රියාවක් ද . . .

එතැන් පටන් මා දැවෙන්න වූයේ විශාල ගින්දරකින් . . . මා ඇයට කලේ විශාල වරදක් යන හැඟීමෙන් එකදු මොහොතක් හෝ මිදෙන්නට ඉඩක් නොලැබුනා තරම් . . .

නිතරම මට දැනෙන්නට වූයේ හදවතේ කිණිස්සක් ඇණී නොමැරී ජීවත් වෙන්නෙකුට කොයි මොහොතේ කිණිස්ස ඇතුලටම ඇනී මියයාදෝ වැනිව දැනෙන හැඟීමක් වෙන්න ඇති . . .

ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන්
සිහිනයක් නොවේ ජීවිතේ . . .
අරුණු යාමේ රැඳී
තුෂර බිංදුවක් වගේ
ආදරේ බිඳේවි මොහොතකින් . . .

බිඳුනු පෙම් හදින් හඩන තුරුණු පෙම්වතුන්
ලෝකයේ කොතෙක්ද යාලුවේ . . . .
පුංචි කාලේ එවන් වේදනා දැනුනොතින්
දරාගන්න හැකිද ඔය සිතින් . . .

මිහිරි කල්පනා සොඳුරු මුකුළු මල් හිනා
පුංචි හිතට සතුට ගෙනෙනවා . . .
නොසිතු සේ ඈ සෙමින් පෑ සෙනේ බිඳුනොතින්
පුංචි හිතට නේද වේදනා . . . .

අල්ලපු ගෙදර රේඩියෝවෙන් නැගෙන නිමල් ගුණසේකර මහතාගේ හඬ මේ හදවතේ ඇනුනු කිණිස්ස තව තවත් ඇතුලටම තද කරන්න දරන උත්සාහයක් වගේ යැයි සිතුනා . . .

ඈට ලිපියක් යවන්න කියා සිතා සචිනි ගේ උපකාරය ලබා ගත් හැකි නොවේදැයි සිතූ සිතුවිල්ල පවා සචිනිගේ එක බැල්මකින් සුනු විසුනු කර කර දැමුවා . . . ඉමාෂා එවූ ලිපි වලට මගෙන් පිළිතුරු නොලැබීමේ රහස ඈ ඉමාෂාගෙන්ම අසා දැන ගන්න ඇති . . ඈ ඉන් මතු මා දෙස බැලුවේ පීදීගෙන රෝස මල් පාත්තියක් සපත්තු දැමූ දෙපයකින් පාගා පොඩි කර දැමූ නරුමයෙකු දෙස බලන්නාක් මෙන් . ..

එකම පාසැලේ ඉගෙන ගන්නා යෙහෙළියක ගේ අහිංසක සිතක් තලා දැමූවෙකු පමනක් නොව යෞවනියක් ලෙස බාලිකා ලොවටම අපරාධකල අපරාදකරුවෙක් ලෙස ඈ මා ගැන උපන් සිතුවිල්ලෙන් මා දෙස බලන බව ඇගේ බැල්මෙන් තෙරුම් ගත් පසු මා කෙසේ ඈ අත ඉමාෂාට ලිපි යවන්නද . .. ??

එනත් පාසැලක එකම පංතියේ උගත් මගේ උපකාරක පංතියේ මිතුරු කැල තිලංෂ, රුසිත් සහ සාරංග ඉන් මතු අහම්බෙන් හෝ මා මුන ගැසුනු විටෙක බලෙන්ම මා ඔවුන් හා කතාබහට එක්කරගන්න උත්සාහ කල විට "ආ නිනේෂ් මහත්තයා . . . කොහොමද සැප සනීප . . . හොඳට පාඩම් කරනවාද . . . අපි යන්නම් මචං . . පරක්කු වුනා " කියා නිනේෂ් මහත්තයා කියන නම බර කර කීවේ ඔවුන් මට ඇමතූ මගේ කෙටි නම වූ "නිනෝ" පවා ඔවුන්ට අමතක වුන් ලෙස . . . එසේ වචනයෙන් දෙකෙන් මගහැර යන ඔවුන් අත මා කෙසේ ඈට පනිවිඩ යවම්ද . . .

පංති නිමාවෙන වේලාවට නුගේගොඩ හංදියේ අපේ සුපුරුදු බීම හල ලඟට වී ඈ සමඟ වචනයක් හුවමාරු කරගෙන සමාව ඉල්ලීමට මට ඉඩක් නොදීම . . . . ඈ මා දුටුවිට හිරුෂි නොමතිව තනියෙම ආ විටෙක පවා දන්නා හෝ නොදන්නා බාලිකාවන් රැලකට මැදිවී මා මඟහැර ගියේ මා නොදුටු ලෙස . . . එක් වරක් හෝ හෝ ඈ හැරී බලනු ඇතැයි මා මගේ සිතත් සමඟ කල ඔට්ටු ඇල්ලීම් වලින් මා දිනුම ලැබුවා වුවත් වචනයක් හුවමාරු කිරීමට කිසිදු ඉඩක් ඈ නොවේ මට ලබා දුන්නේ . . .

කිසිදු ලෙසකින් ඇගෙන් සමාවක් ඉල්ලීමට ඉඩක් නොලද මා එතැන් සිට මගෙන්ම පලි ගන්නවා හැර වෙන කුමක් කරන්නද . . . ???

ඈ යලිත් මට නොලැබෙන බව පසක් වෙන හැම මොහොතකදීම ඈවම ඇගේ සෙනෙහසම ඉල්ලා කෑ ගසන සිතට දිය හැකි උපරිම දඬුවම් ලබා දෙමට මා කිසිවිටෙක පැකිළුනේ නෑ . . . මා ආදරය කල සැම දෙයින්ම මා පලා යා යුතුයි . . . ම දැනසිටි, මා ඇදහූ පලිගැනිමේ ක්‍රමය එපමනයි . . . ! ! !

. . . . . . . . .

දිනක් පාසැල් වේලාවේ මගේ පන්තිය අසල මගේ මාමගේ පුත්‍රයා රැඳී සිටියේ එම කාල පරිච්ඡේදය නිමා වෙනතුරුයි . . .

"තිසල් මල්ලී මොකෝ මේ . . . පංති කට් කලාද . . . "

"නෑ නිනෝ අයියේ . . අද අපේ සයන්ස් ටීච නිවාඩු . . ඉතිං මේ පීරියඩ් එක ෆ්‍රී . . "

"මොකෝ ඉතිං තමුසේ මාව බලන්න අවේ . . . "

"නිනෝ අයියේ මගේ මාළු ටැංකිය ඊයේ අපේ මල්ලිගේ අතින් කැඩුනා හලෝ . . . මාළු ටික බේසමක දාලා තියෙන්නේ . . ඔයාට ටැංකි හතක් විතර තියෙනවානේ . . මට එකක් දෙනවකෝ හලෝ . . . "

"එහෙනම් හවසට එන්න . . . මම දෙන්නම් . .. " උගේ මූනේ රැඳුනේ සතුටු සිනාවක් . . .

හවස ඔහු එනවිට මා ටැංකි හතේම සියලුම මාළුවන් වෙන වෙන බෑග් වලට දමා ටැංකි වල තිබූ උපකරනත් ගල් වර්ග, ලී කැබලි ආදියත් බෑග් වල අසුරා ටැංකි ටිකත් මිදුලේ පේර ගස යට තබා තිබුනා . . .

"මේ මොකෝ මේ . . . "

"ඔයා මේ ඔක්කොම ගන්න . . . යමු මම එක ටැංකියක් ගන්නම් . . ඔයා පොඩි එකක් ගන්න . . "

ඔහුගේ ඇස් විස්මයෙන් ඉපිලී එලියට නොපැන්නා පමනි . ..

. . . . . . . .

මිදුලේ ලොවි බංකුවේ වාඩිවී පොතක් බලනවා වැනි ඉරියව්වකින් වේදනාබර කල්පනා ලෝකයේ කිමිදී ඉන්නා විටෙක . . . .

"ස්ස්ස්ස්ස්ස් . . . . හලෝ හලෝ . . . නිනේෂ් අයියේ . . ."

ඉස්සරහා වත්තේ කවින්ද්‍යා නංගී

"මොකෝ . . . "

"මේ ඔයාගේ මුද්දර පොත් වල තියෙනවනම් ඔස්ට්‍රියා වල එක වගේ මුද්දර දෙකක් මට එකක් දෙන්නකෝ තරහා නැතුව . . . මම ඔයාට මගේ ලඟ එක වගේ දෙකක් තියෙන ඉන්ඩියා වල රෙයා මුද්දරයක් දෙන්නම් . . "

සුළු මොහොතකින් මා ඔවුන්ගේ නිවසේ සීනුව නාද කලා . . .

ඇතුළු කාමරක සිටි කවින්ද්‍යා නංගී සාලයට අවේ . . .

"අම්මෝ . . .මාර Quick නේ . . . ඉන්න මම මගේ මුද්දර පොත් ටික අරගෙන එන්නම් . . "

"නෑ . . එපා . . . මෙන්න මේ ටික ඔක්කොම ඔයා තියා ගන්න . . . "

කාලයක් ආදරෙන් එකතු කල, රටවල් ගනනාවක එක එක වර්ගයේ දුර්ලභ මුද්දර එකතුවකින් යුතු මගේ මුද්දර පොත් හතරම මා ඇගේ අතේ තැබුවා . . . .

ඈ සතුට දරා ගත නොහැකිව නොහැඩුවා පමනයි . . .

. . . . . . . .

මගේ කුරුළු පිහාටු එකතුවත් . . . රට රට වල කාසි එකතුවත් හිමි වුනේ අපේ පටුමගේ පටන් ගන්නා තැනම වම් පැත්තේ ගෙදර මිතුරාගේ කුඩා මලනුවන්ට . . . .

. . . . ..

ඉතිං තවදුරටත් ඉතිරි වී ඇත්තේ මගේ ප්‍රියතම විනෝදාංශය ආදරනීය ඉගෙනීම පමනි . . . නමුත් මුද්දර පොත්, මාළු ටැංකි, කාසි, පිහාටු මෙන් එය අතහැරීම ලේසි කාරියක් නොවේ . . . සියලුම දෙනාට නොදැනෙන්නට එය කල යුතු වේ . . .

ඒ සඳහා මාස කීපයක් ගතවුනි . . .

මුලින්ම වෙනස දැනුනේ මගේ ගණිත ගුරුවරියටයි . . . විවේකය සඳහා සීනුව නාදවී සියල්ලෝම එලියට දුවන්න සරසෙන මොහොතේ ඈ . .

"නිනේෂ් . . පොඩ්ඩක් නවතින්න . . . මට ඔයාත් එක්ක කතා කරන්න තියෙනවා ටිකක් . . . . "

මා ගල් ගැසී ගියේ මා පමනක් දන්නා රහසක් ඈ කෙසේ දැන ගත්තාදෝ කියා දෙගිඩියාවෙන් . . . සියළුම දෙනා පිටව ගිය පංති කාමරය ඇතුලේ සිටියේ ගුරුතුමියත් මාත් පමනයි . . .

"පුතා . . . මම මෙහෙම අහුවට අමනාප වෙන්න එපා . . . . . "

බෙල්ල නමාගෙන සපත්තුව දෙස නෙත් යොමාගෙන සිටි මා දෙස ඈ සුලු මොහොතක් බලා සිටින්න ඇති . .

"ඔයාට මොකක් හරි ගෙදර ප්‍රශ්නයක් තියෙනවාද . . ."

"නෑ මිස් . . . "

"ඔයා ලඟකදී ඉඳලා ගණන් වලට හරිම දුර්වලයිනේ . . . ඉස්සර ගානක් දුන්නු ගමන් ගාන බෝඩ් එකේ ලියල ඉවර වෙන්න කලින් හදන කෙනා දැන් මොකද පීරියඩ් එක ඉවර වෙනකනුත් ගණන් හදල පොත පෙන්නන්නේ නැත්තේ . . . "

“මම දවසක් ටීචර්ස් රූම් එකෙදි විජේසූරිය මිස් එක්කයි . . . මුනසිංහ සර් එක්කයි කතා කරපු වෙලාවක එයාලත් කිව්වේ ඒකමයි . . . English Day එකෙදි කප් ගහපු ලමයා . . . සයන්ස් ටීචගේ ප්‍රියතම ගෝලයා . . . ඔයට මොකද්ද මේ වුනේ . . . අපි හැමෝටම පුදුමයි මෙච්චර දක්ෂ ඔයා ඇයි මේ එක පාරටම දුර්වල වුනේ කියන එක . . . ඒකයි මම කිව්වේ මම හෙමීට අහල බලන්නම් කියලා . . . "

" මම . . . . මම . . . ටියුෂන් ක්ලාස් යන එක නැවත්තුවනේ මිස් . . . ඒක නිසා වෙන්න ඇති . . . "

"ඒ වුනාට ටියුෂන් ක්ලාස් යන්න කලින් ඔයා ඊටත් හොඳට වැඩ කලානේ . . . මොකක් හරි ප්‍රශ්නයක් තියෙන වනම් කියන්න ලැජ්ජ වෙන්න එපා . . . ඔයාලව ඉතිං අපිට අපේම දරුවො කියලා තමයි දැනෙන්නේ . . . "

"නෑ . . එහෙම මොකුත් නෑ මිස් . . . " තටම තටම මා කියූ බොරුව ඈ විශ්වාස නොකල බව ඇගේ දෙනෙතේ බැල්මෙන් මා තේරුම් ගත්තා . . .

"විභාගෙට තව මාස තුනයි තියෙන්නේ . . . මහන්සි වෙලා වැඩ කරන්න . . ." අපි හැමෝම ඔයා ඩී අටක් නැත්ත හතක් වත් ගනී කියලා තමයි ඉස්සර ඉඳලම හිතාගෙන හිටියේ . . . සංගීත ගුරුතුමාගේ ඉගැන්වීමේ තරම දන්නා නිසා ඈ සිතා සිටින්නේ සංගීතයට හැර අනෙක් සියලුම විශයන්ට මා ඩී ලබා ගනීවී කියා . . .

විභාගයේ ප්‍රතිපල පිටවෙන දවසේ අනිත් ළමයින් උදේ ඉඳන් පාසලට ගියා වුනත් මා දහවල පසූවී පාසැලට ගියේ ගුරුවරුන් පිටවී ගොස් ප්‍රතිඵල ලේඛනය දැන්වීම් පුවරුවේ අලවා ගොස් ඇතැයි අනුමාන කරමින් . . . නමුත් අවාසනාවට ඉංග්‍රීසි ගුරුවරිය ඒ වන විටත් පැමිනෙන සිසුන්ට ප්‍රතිඵල දැනුම් දෙමින් සිටියා . . . මා දුටු විගස ම . .

"නිනේෂ් . . . මොනවද මේ කරගත්තේ . . . " කියා ඇසූ සැනින් මට ඇතිවූ හැඟීම නම් මා බලාපොරොත්තු වූ ලෙසම සියළුම විෂයන්ගෙන් මා අසමත්ව ඇති . .. දැන් ඉතිං කෙසේද මා ගුරුවරුන්ට මූන දෙන්නේ යනුයි . . .

මා සිතූ තරම් අයහපත් ප්‍රතිඵල ලබා නොතිබීම කුඩා කල පටන්ම මා අසාවෙන් කල ඉගෙනීම වෙනුවෙන් මා ලද ත්‍යාගයක් මිස වෙන කිසිවක් නොවේ . . . සංගීතය හැර සියළුම විශයන් සමත්වී උසස් පෙළ සඳහා වරම් ලැබීමට තරම් සම්මාන ද ලබා තිබුනා . . . ගුරුවරුන්ගේ නෝක්කාඩු . . . ඇනුම් බැනුම් කෙසේ වෙතත් මාස ගනනාවකට පසු මගේ මුවේ සතුටු සිනා රැළි ඉතිරී යනු මට දැනුනා . . . . පවුලේ අයගෙන් බැනුම් ලබා නොගෙනීමට මා විභාගය නිමාවූ දිනවල පටන් පරිසරය සකස් කොට තිබුනායින් (ක්ලසස් යන්න බැරි වුනු නිසා විභාගේ හොඳින් කරන්න බැරි වුනා ආදී බොරු වලින් . . . ) ගෙදරින් වැඩි බලපෑමක් නොමැතිව සැනසීමක් ලබන්න හැකිවූවා

"මට බෑ ආයේ ඉස්කෝලේ යන්න . . . "

මා සිදු කල වරදට මගේ ජීවිතයෙන්ම පලි ගැනීමේ අවසාන භාගයගේ මුව විටේ මා සිටියේ . . . ඒ සඳහා සුදුසුම අවස්ථාව මේ . . . මම අම්මාට මගේ ඉගෙනීම නතර කරීමේ තීරනය දැනුම් දුන්නා . . .

"ආ කමක් නෑ . . . හිටපන් මම තාත්තාට කියන්න ගොනෙක් නැති කරත්තයක් අරගන්න කියලා . . . " අම්මා පැවසුවේ සැහැල්ලුවෙන් . . .

"මම ඉස්කෝලේ නොයෑමයි ගොනා නැති කරත්තෙයි සම්බන්ධෙ මොකද්ද . . . " මට හිතා ගන්න වත් බැරි වුනා . .

"ඇයි ඉතිං උඹට ඉකෝලේ යන්න බෑ කිව්වනේ . . . නිකම් කන්න බොන්න දිදී තියා ගන්නේ මොකටද . . . කරත්තෙක බැඳලා හංදියට වත් යවන්න කියලා අර හාඩ්වෙයර් එකේ ගඩොල් අදින්න කියලා . . . . "

"අම්මට කිව්වට තේරෙන්නේ නැත්ද . . . මට ඉගෙන ගන්න බෑ . . . මම හරිම දුර්වලයි ඉගෙන ගන්න . . . "

"දුර්වල නිසාද එක දවසක් වත් පාඩම් කරන්නේ නැතුව සම්මානත් අරගෙන විභාගේ පාස් වුනේ . . . පිස්සු කතා කියන්නේ නැතුව AL ක්ලස් එකක් බලපන් . . . "

"සල්ලි . . . ????"

"සල්ලි . . . තාත්තයි මායි බලා ගන්නම් . . . උඹ ඒ ගැන හිතන්නේ නැතුව හිටපන් . . .“

ඒ සටනෙන් මට ගැලවී සිටින්නට . . . දිනන්නට . . . බැරි බව දැනුනු විට මා සිතුවේ . . . "හරි . . මම හොඳ වැඩක් කරන්නම්කෝ . . . අන්තිමට විභාගේ ෆේල් උනාම හරිනේ . . . එතකොට මෙයාලට තේරෙයිනේ . . . “

උසස් පෙල උපකාරක පංති සඳහා පියාගේ හිතවත්කම උඩ නුගේගොඩ උසස් අධ්‍යාපන ආයතනයකින් විශයන් හතරටම Free Card එකක් ලැබීම මා සැලකුවේ ඒ ගුරුවරයා මට කල අසාධාරනයක් ලෙසට . . . . "මේ මගුල නොලැබුනානම් ක්ලස් Fees වියදම් වුනා හරි මොනා හරි බොරුවක් කියලා ක්ලාස් නොගිහින් ඉන්න තිබුනා . . . දැන් ඉතින් පලයන්කෝ ක්ලාස් . . . . "

පාසැලේ උසස්පෙල පංතියේ මගේ කුඩා කල සිටම මිතුරෙකුවූ . . . අසිත මුලින් මුලින් කෙසේ හෝ මා ව බලෙන්ම වාගේ උපකාරක පංතියට ඇදගෙන ගියා . . .

"අනේ මචං මට වැඩිය යාළුවෝ නෑ උඹ දන්නවානේ . . . ටොයිලට් යන්න ගියත් ටැප් එක ලඟට ගියත් යන්නෙ හෙන අප්සට් එකේ බං තනියෙම ක්ලාස් ගිය දාට . . . ඒක නිසා හොඳ එකා වගේ ක්ලාස් වරෙන් බං . . . "

මට පංති යන්න කිසිම අවශ්‍යතාවයක් නැති වුනා වුනත් අසිතගේ උවමනාවටම පංති යන්න සිදුවුනා . . .

දෙවෙනි හෝ තුන්වෙනි සතියේ දිනක් පංති යෑමේදී ගේට්ටුව අසල දී මා දුටුවේ මා හීනෙන් පවා ප්‍රාර්ථනා කල රුවක් . . . ටක් ශොප් එක අසල කොට්ටම්බා ගස යට බංකුවේ වාඩිවී සිටියේ ඉමාෂා ඇතුළු ඇගේ පාසැලේ යෙහෙළියන් රෑන . . .

ඈ දුටු වනම මා ගල්සුනාක් මෙන් පා ඔසවා ගත නොහැකිව ළතවෙද්දී ඈත් මා මෙන්ම විමතියෙන් ගල් ගැසුනු බව මා පමනක් නොව ඇගේ යෙහෙළියන්ටත් දැනුනු බව ඔවුන් මාරුවෙන් මාරුවට මා දෙසත් ඈ දෙසත් බැලූ බැල්මෙන් ම මා අඳුනා ගත්තා . . .

"මොකෝ මචං . . . මොකද්ද අප්සට් එක . . . " මේ කිසිවක් නොදන්නා අසිත ඇසුවේ පිටට තට්ටුවක්ද දමමින් . . .

"නෑ මචං . . . කිසි අප්සට් එකක් නෑ . . . යමු පංතියට . . . " මා දෙතුන් වතාවක් හැරි හැරී බලන බව අසිත දුටුවත් මා කා දෙස බලනවාදැයි තේරුම් ගැනීම ඔහුට අපහසු වූ බව ඔහුගේ සැක සහිත බැල්මෙන් මට තේරුනා . . .

පංති නිමාවී බස් නැවතුමට එන අතර කතාව මුල සිට අගට අසිතට පැවසූ මා බලාපොරොත්තු සහගත සතුටු සිනාවක් නැගුවේ . .

"කමක් නෑ . . . දැන් ඉමාෂාත් මාත් ඉන්නේ එකම පංතියේ . . . උත්සාහයක් දැරුවොත් නැතිවූ ප්‍රේමය යලි ගොඩනංවාගෙන මගෙන් සිදුවූ වැරැද්දට සමාව ඉල්ලාගෙන . . . තිබුනාටත් වඩා වැඩි ප්‍රේමයක් ඇතිකරගත හැකි නොවේදෝ . . . " කියා සිතුනු හැඟීමෙන් . . .

පංතියේ මට අවසාන පේලි වල අසුන් ගැනීමට අවැසි වුවත් අසිතගේ උවමනාවට ඉඩදිය යුතු නිසාවෙන් අපි ඉඳ ගත්තේ මැද පේලිවල . . . ඉඳ ගත් සැනින් මගේ කාරිය වුනේ ඉමාෂා කොහේදැයි සොයා බැලීමයි . . . මුලු පංතිය සිසාරා සොයා බලන විට මගේ දෙනෙතට අසුවන්නේ ගැහැනු ළමයින්ගේ පේලිවල මුල් හරියේ වාඩිවී පැන්සල් පෙට්ටියේ සවිකරගත් කන්නාඩියකින් මා කොහේදැයි සොයා බලන ඉමාෂාවයි . . . අහම්බයෙන් අපගේ දෙනෙත් එකට මුන ගැසෙනවිටම ඈ කරන්නේ පැන්සල් පෙට්ටිය වසා දැමීමයි . . . නමුත් එවැනි ඉඟි වලින් මා තේරුම් ගත්තේ උත්සාහ කලොත් ඇගේ සිත වෙනස් කිරීමට හැකියාවක් ඇති බවයි . . .

මුල් මාස කීපය සතුටින් පංති ගියේ ඒ ඇතිවූ උද්දාමයෙන් . . . හැමදේටම කලින් ඇගේ යෙහෙළියන් සමඟ යලි මිතුරු කම් අලුත් කරගත යුතු බව පසක් වූ මා හිනාවෙන් පටන් ගෙන කතාවක් කරගත හැකි තරම් මිතුරු කම් ගොඩනගා ගත්තා . . .

"උඹට මොකෝ බං උනේ . . . "

"උඹ ඇයි එච්චර නරක විදිහට ඉමාෂාව අතහැරියේ . . . "

"ඒකි මාර දුකෙන් ඒ කාලේ ගෙව්වේ . . . "

"තාමත් ඒකි අර උඹ යාළු වෙන්න ඉස්සෙල්ලා හිටියා වගේ ජොලියේ ඉන්නවා අපි නම් තාමත් දැක්කේ නෑ . . . "

ඇගේ මිතුරින්ගේ දාහක් ප්‍රශ්න වලට ඒ වෙලාවට ගැලපෙන පිළිතුරු දීගන්න හැකිවුනත් ඈත් මාත් අතර මිතුරු කමක් ඇති කරන්න හැකි බවක සේයාවක් වත් මා දුටුවේ නැති තරම් . . . මොන කතාවක් ඇති වුවත් තහනම් වචනය ලෙස අපගේ මිතුරු කම යන මාතෘකාව ඔවුන් සැලකුවා මෙනි . .

ඔවුන් අතේ යැවූ ලිපි සියල්ලම විවෘත නොකරම හරවා එවන්න තරම් ඇගේ හදවත ඈ ගල් කරගෙන සිටියා . . . පංති නිමාවී බස් නැවතුමට යන අතර මඟ දී වචනයක් හුවමාරුකර ගැනීමට ගත් සියළුම උත්සාහයන් ඈ පයේ පෑගෙන දූවිල්ලක් තරම් වත් ගනන් නොගෙන පිටු දැක්කා . . .

මා සතුටින් පංති ගිය කාලය නිමා වූවා . . . ඈ මා පිළිකෙව් කරන බැව් නිත්‍යලෙසම දැනගත් පසු තවදුරටත් පංතිය මට සතුටින් යා හැකි තැනක් නොවූවා . . .

අසිතට මා දැමූ කොන්දේසිය නම් පංතියට යන විට ගේට්ටුව අසල ඈ සිටියෝතින් මා ආපසු හැරී යන බවයි . . . සතියක් දෙකක් මා සමඟ එසේ පංති මඟහැර පැමින චිත්‍රපටි . . නාට්‍ය . . . බලන්න පැමිනි අසිත තෙවෙනි සතියේදී පැවසුවේ . . .

"අනේ මචං . . . උඹට ක්ලාස් නොගිහින් අනාගතේ අවුල් කරගන්න පුළුවන් වුනාට මට නම් එහෙම කරන්න පුළුවන් කමක් නෑ . . . උඹ ක්ලාස් නාවට අනිත් දවසේ මම නම් ක්ලාස් යනවා . . . "

මට දිය හැකි පිළිතුර වූයේ . . .

"කමක් නෑ මචං . . . මගේ පව් මම ම තනියෙම ගෙවන්නම් . . . උඹ ක්ලාස් පලයන් . . ." කියා පමනි . . .

කාලය ගතවන ඉක්මන . . . වසර දෙකහමාරක කාලය අවසන, ආරම්භය ගැන සිතීමේදී එය අද ඊයේ මෙන් දැනුනා . . .

. . . .

එපා හිරු පායන්න . . .අදින් පසු මගේ ලොවට . . .
අදයි අවසන් දවස . . .
ඇගෙන් මා . . .
මගෙන් ඈ සමුගන්න . . .

සැඳෑ තරු නොදිලෙන්න . . .
සරා සඳ නොනඟින්න . . .
වෙලී යුඟදුර සතර . . .
අනු දිසා ගිලගන්න . . .
ගලා යන නදී දොල මිදී . . .
මිදී නැවතී ඉන්න . . .

ලිය මඬුලු තුරු සිරස . . .
එපා මල් පලදින්න . . .
වසන්තය නිමාවිය . . .
කොවුලනේ ගොළු වන්න . . .
සොබා දම් නෑසියනි සැලී . . .
සැලී කම්පා වන්න . . .

පංතියේ අවසන් දින නිවසින් පිටවීමේදී සුපුරුදු පරිදි අල්ලපු ගෙදර රේඩියෝව මගේ හදවතේ ඇනී තිබුනු පිහියේ මිටට තදබල පහරක් එල්ලකලා . . .

පංතිය අවසාන වනතුරු කාලය කෙසේ ගතවුනාදැයි සිහියේ රැඳුනේ නැති තරම් . . . පංතියේ අවසන් දිනයේදී පමනක් දිගහරින ගුරුතුමාගේ ජීවිත කතාවේ කිසිදු කොටසක් මගේ මතකයේ රැඳුනේ නැති බව පමනක් දනී . . . නිමාවූ අවසන් පංතියෙන් එලියටබට යෞවන යෞවනියන් කිසිවෙකුට නිවෙස් බලා යාමට උවමනාවක් නැති හැඩයි . . . තැන තැන එකතු වී කන්ඩායම් පිටින් හඬා වැටෙන කුමර කුමරියන් . . . කඳුළු පිරි දෑසින් සමරු පොත් එහාට මෙහාට හුවමාරුකරගන්නා කුමර කුමරියන් . . . අතුරින් මා දෙතුන් විඩක් එහාට මෙහාට පිස්සුවෙන් වගේ ගමන් කලේ එක් වරක් හෝ ඉමාෂාව අඩු තරමින් දැක ගන්න වත් තිබුනෝතින් යන ප්‍රාර්ථනාව හිසේ දරාගෙන . . .

අහම්බෙන් අතරමගකදී මා මෙන්ම පිස්සුවෙන් මෙන් කාවදෝ සොයමින් ළමයින් අතුරින් හිර වෙවී ගමන් ගත් ඉමාෂාව දුටු මා ඇගේ අතකින් අල්ලා ගත්තේ තවෙකෙකුගේ හිසටත් උඩින් අත දමා . . .

"නිනේෂ් . . . . මම මේ මෙච්චරවෙලා හෙව්වේ ඔයාව . . . "

මා දුටු ගමන් ඇගේ දෑසින් කඳුළු කැට කඩා හැළුනේ සොරොව්වක් ඇරියාක් මෙන් . . . ඒ දුටු මගේ දෙනෙතුත් මෙතුවක් කල් රහසේ හෙලූ කඳුළු වලට නිදහසේ ගලා යන්න ඉඩ සලසා දුන්නේ මෙතෙක් කල් හදවතේ ගල්වී තිබූ කඳුළු නිධි සියල්ලම එලියට ඇද දැම්මාක් මෙන් . . . .

නිනේෂ් දිනුත ගුණරත්න ත් ඉමාෂා විහාරි සමරතුංගත් එකිනෙකාගේ දෑත් අල්ලාගෙන දෙනෙතින් දෙනෙත බලාගෙන කඳුළු සැලීම කිසිවෙකුට අරුමයක් නොවුනේ පංතියේ අවසන් දවස කඳුළු වෙනුවෙන්ම වෙන්කල දවස්කැයි හැමදෙනාම සිතූ නිසාම වෙන්න ඇති . . .

"ඉමා . . . අනේ ඉමා මට එක පාරක් කියන්න . . . එකම එක පාරක් කියන්න . . . ඔයා මට සමාව දෙනවා කියලා . . . "

"නිනෙෂ් . . ඊට කලින් මට කියන්න . . . ඇයි ඔයා මට එහෙම කලේ කියලා . . මම මොකද්ද ඔයාට කරපු වැරැද්ද . . . ඔයා කොහොමද ඔයාගේ අහිංසක හිත ගල් කර ගත්තේ කියන්න මට රිද්දන්න තරම් . . . "

"මම දන්නේ නෑ ඉමා . . . විස්වාස කරන්න මටත් තාම හරියටම හිතා ගන්න බෑ ඇයි මම එහෙම කලේ කියලා . . . සමහර විට මට හිතෙන්න ඇති අපි දෙන්නා නොගැලපෙනවා කියලා . . . ඔයා මගේ දුප්පත් කමට හිනාවෙනවා කියලා වගේ මට හිතෙන්න ඇති . . . "

"ඒ කියන්නේ ඔයා මාව හරියට අඳුර ගත්තේ නෑ කියන එකනේ නිනෝ . . . මම කොහොමද ඔයාට සමාව දෙන්නේ . . . "

"ඕනෑම කෙනෙකුගේ අතින් වැරදි සිද්ද වෙන්න පුළුවන් ඉමා . . . වැරදි කාරයෙකුට වැරැද්ද හදාගෙන ජීවත් වෙන්න දෙවෙනි අවස්ථාවක් දෙන්න බැරි ඇයි ඉමා . . . කියන්න . . . . ඇයි බැරි ඉමා . . . . "

"එක පාරක් විස්වාසේ කඩපු කෙනෙක් දෙවෙනි වතාවටත් ඒ වැරැද්දම නොකරයි කියලා දෙන්න පුලුවන් සහතිකේ මොකද්ද නිනෝ . . . ආදරේ කියන්නේ වීදුරු මල්පෝච්චියක් වගේ . . . ඒක එක පාරක් බිඳුනොත් ආයේ කොයි විදිහෙන් ඇලෙව්වත් ඒ පරන ලස්සන ආපහු ගන්න බෑ . . . ඒ පළුදු නැති කරන්න බෑ . . . දේයියනේ ඇයි ඔයා ඒක තරුම් නොගත්තේ නිනෝ . . . . "

"ඒ කියන්නේ ඔයා මට කිසිම විදිහකින් සමාවක් දෙන්නේම නැද්ද . . ?"

"මම ආදරේ ඉගෙන ගත්තේ ඔයාගෙන් නිනෝ . . . ජීවිතේ ආයි කවදාවත් . . . කාටවත් . . . මම ඔයට ආදරේ කරපු තරම් ආදරේ කරන්න බැරි වෙයි . . . වෙන කෙනෙක්ව බැන්දා වුනත් . . . අපි ආයි ජීවිතේටම හම්බවෙන්නේ නෑ නිනෝ . . . හොඳින් ඉගෙන ගන්න . . . සන්තෝසෙන් ඉන්න . . . මම යනවා නිනෝ . . . . ගූඩ් බායි . . . . ! . . . "

එතැන් සිට වෙලේ බෝක්කුව උඩට වෙනකම් මා කෙසේ ආවාදැයි කොපමන උත්සාහ කලත් සිහියත නඟා ගත නොහැකි වූවා . . . එය හරියට ජීවිතයේ එක්තරා රික්ත කාල පරාසක් වගේ කියා මත සිතුනා . . .

. . . . . . . .

ගොයම් කැපූ වෙල් යායට සඳ රැස් අපූරුවට වැටී තිබුනා . . . පොත් ටිකත් සෙරෙප්පු දෙකත් අතට ගත් මා සඳ එලියේ නෑ වෙමින් කුඩා ඇලෙන් එගොඩ වී නියර මතට පා තැබුවේ . . . සැබෑවටම මින් මතු මගේ ලොවට හිරු පායන්නේ නැති බව සත්‍යක් බව පසක් කරමින් . . . .

. . . . . . . අවසානයි . . . !. . . . ..

Monday, November 23, 2009

අග පිපි මල් හෙවත් එක් සත්‍යය කතාවක් . . . ! ! !




අද මම කියන්න හදන පොත නම් ගොඩක් දෙනෙක් බලල ඇති කියල මට විශ්වාසයි . . . ඒත් නොබලපු අය ඉන්නවනම් ඒ අයට මේ පොත බලන්න කියන හැඟීමෙන් මම මේ පොත ගැන විස්තරක් කරන්න හිතුවා . . . .

චමින්ද වාසල මිතුරා දවසක් මට කමෙන්ට් එකක් දාලා තිබුනා දුකා ඇයි මේ විවාහ ජීවිතේ ගැන බය හිතෙන දේවල් ම කියන්නේ කියලා . . . .

විවාහ ජීවිතේ සතුටුදායක දෙයක් කියලා දන්න නිසානේ එහෙම නැතිනම් ඒක සතුටුදායක දෙයක් කියලා අනුමාන කරන නිසානේ හැමෝම විවාහ බැම්මෙන් බැඳෙන්නේ . . . ඒත් යම් යම් සිදුවීම්, මත ගැටීම්, සන්නිවේදන නොමැති කම්, වැරදි වැටහීම්. . . ආදිය නිසා ඒ සතුට නැතිවෙන බව මම දැකලා තියෙන නිසා, එවැනි දේවල් වලින් විවාහ ජීවිතයේ සතුට නැති කරගන්න එපා කියන හැඟීමන් විවාහ දිවියේ නියම සතුට රඳවාගෙන යහපත් දරු දැරියන් ලොවට දායාද කරමින් ප්‍රීතිමත් ජීවිතයක් ගතකරන්න පාඩම් ඉගෙන ගත හැකි දේවල් ගැන සටහන් කරන්න හිතුවේ . . .

මේ පොත බලපු මුල් දවස් වල මම හිතුවේ මේක හුදු ප්‍රභන්ධයක්, ගොතපු කතාවක් පමනයි කියලා . . . නමුත් ටික කලෙකට පසු මේ පොතේ සඳහන් වෙන ආකාරයේම සිදුවීමක් මම මගේ ඇස් දෙකෙන්ම දැක්කට පස්සේ මගේ ඒ හැඟීම දෙදරා ගියා . .

ඉන් ටික කලෙකට පස්සේ මේ පොත ඇසුරින් වසන්ති චතුරානි මහත්මිය ඒ පොතේ නමින්ම නිශ්පාදනය කරලා ඈම ප්‍රධාන චරිතය රඟපාපු ටෙලි නාට්‍යය මම එක කොටසක් වත් මඟ නොහැර බැලුවේ ඒ සැබෑ ලෝකේ දැකපු සිදුවීමෙන් මගේ හිතේ ඇති වුනු කම්පනයත් සිතේ දරාගෙන . . .( පොතක් ඇසුරින් ටෙලි නාට්‍යක් නිපදවීමේදී පොතට වඩා සාර්තක වූ මා දැක ඇති එකම නිර්මාණය ඒ ටෙලි නාට්‍යය කියා කියන්න පුළුවන් . . සමහර විට කතුවරියම නාට්‍යය පිටපත ලියපු නිසාම වෙන්න ඇති . .)

මේ පොතේ කතා නායිකාව "අමා" නීතිඥවරියක් . . . ඇගේ ස්වාමියා "අසිත" ත් නීතිඥවරයක් . . . ඔවුන් කාලයක් ප්‍රේමයෙන් වෙලිලා අමාගේ ගෙදර අයගේ අකමැත්තෙන්ම ඇගේ කැමැත්තට ඉඩදී ඔහු හා විවාහ වෙන්නේ ඔහු ප්‍රේමනීය පුද්ගලයෙක් කියා ඇගේ සිතේ ඇතිවූ හැඟීමන් . . . නමුත් අවාසනාවට අසිතට කාලයකදී කිසිම හේතුවක් නැතුව අමා ව එපා වෙනවා . . . . ඈ ඉතාම යහපත් බිරිඳක් . . . අවසානයේ ඔවුන් දෙදෙනා වෙන් වෙනවා . . .

එතැන් සිට ඇගේ ජීවිතයේ ඈ මුහුන දෙන දුක් කම්කටොළු . . . නින්දා අපහාස . . . දරුවන්ගේ ප්‍රශ්න. . . ලිංගික පීඩනය . . . යනාදී වශයෙන් මා ඉතිරි සියල්ලත් පැවසුවොත් ඔබට මේ පොත බලන්න තිබෙන උවමනාව නැතිවී යන්න ඉඩ තිබෙන හෙයින් මෙතැනින් මා මේ පොත ගැන කරන සඳහන නතර කරනවා . . .

කලින් සඳහන් කලාක් මෙන් මේ පොත් හුදු ප්‍රභන්ධයක් කියා සිතන්න බැරි ආකාරයට කිසිම සාධාරන හේතුවක් නැතුව ස්වාමියන්ට බිරිඳැන්ව එපා වෙන එකත් බිරිඳැන්ට ස්වාමියන්ව එපා වෙන එකත් ඇස් දෙකෙන්ම දැකපු මට මේ පොත ප්‍රභන්ධයක් නොව "අග පිපි මල් - එක් සත්‍යය කතාවක්" කියල අලුත් නමකින් හඳුන්වන්න තිබුනානම් කියලා හිතුනා . . .

Thursday, November 19, 2009

එපා හිරු පායන්න අදින් පසු මගේ ලොවට . . . ! (හත්වන කොටස)


බැසැ යන සැඳෑ හිරුත් සමඟ කූඩු කරා ඇදෙමින් සිටියදී ගිමන් නිවන්නට මෙන් සිතා කාක බෝ ගසේ වැසූ කාක්කන් රැලක් යලිත් වරක් මගේ සිහිනය බොඳ කර දමනු ලැබුවා . . . ඒ ඇසිල්ලෙන් මා වට පිට බැලුවේ දැන් රෑ බෝ වී ඇත්දැයි බලන්නට මෙන් . . . කනත්ත පැත්තේ වූ බටහිර අහස තැඹිලි පාටකිනුත් අළු පාටකිනුත් මිශ්‍රවුනු පසුබිමක් සහිතව තැන තැන ඉතිරි වුනු සරුංගල්ද කුරුළු රෑන්ද සිතුවම් කල සිතුවමක් මෙන් මට සිතුනා . . ..

තවත් රෑ වූ පසුම නිවසට ගියෝතින් කිසිවෙකුගේ අවහිරයකින් තොරව නිදහසේ තනිවී කෙසේ හෝ මේ වේදනාකාරී මතකයෙන් මිදීමට මඟක් සොයාගත හැකිවේවී යැයි සිතුනු බැවින් එකම ඉරියව්වෙන් හිඳගෙන සිටීමෙන් හිරිවැටී තිබුනු දෙකකුල් වලට වෙනසක් ලබාදීමට මෙන් සිතා නැඟිට ටික වේලාවක් සක්මනේ යෙදුනු මා යලිත් වරක් ගස යට හිඳ ගත්තේ තව හෝරා කීපයක් වත් මෙතනටම වී ගත කල යුතුයි කියා හැඟු නියාවෙන් . . .

මේ වේදනාවේ සුල මුල ගැන සිතීමෙදී . . . මා මේ තරම් අසරණ තත්වයකට පත් කලේ ඇයි කියා සිතීමේදී . . එයට වරද කරුවන් . . හවුල් කරුවන් කවුරුදැයි සිතීමේදී එක්වරම මගේ සිතට රිංගා ගත් හැඟීමන් මගේ හිස් මුදුනෙන් පටන් ගත් හිරි වැටීමක් නහර වැල් දිගේ මුලු සිරුර පුරාම දිව ගියා . . . .

"දහම් පාසැල . . "

හුරතලේට කවි කියමින් එහෙ මෙහෙ ගිය මං . . . බාල වියෙන් එලියට ඇද දමා යොවුන් වියට තල්ලු කර දැමූ සිදුවීම් වලට මුහුන දීමට මං සැලසූ දහම් පාසැල . . .

නැත එය කෙසේ වත් එසේ විය නොහැක . . . .

ඒ වරදකාරී හැඟීමට එරෙහි සිතුවිල්ලක් මගේ සිත තුලින්ම මතුවී කෑ ගසනු මට ඇසුනා . . .

ශුද්ධවූ යමක් මගේ අතින් කෙලෙසුනාක් මෙන් වූ හැඟීමකින් හද වෙව්ලවා ගියා . . . අමතකවීමකින් පන්සලේ බුදු මැදුරට සෙරෙප්පු දමාගෙන් පැමින එක්වරම දෙපයේ පාවහන් දුටුවාක් වැනි වරදකාරී හැඟීමක් මා පෙලා දැමුවා . .

එසේ නම් දහම් පාසැලේ මගේ ප්‍රියතම මිතුරියන් රැල . . සොයුරියන් රැල . .පර්ල්, ලළා, ලතිකා අක්කලා . . . . නැත . . මගේ වරද මා අතම මිස ඔවුන්ට කෙසේ දොස් පරන්නෙම්ද . . .??? කුඩා කල පටන් අනුන්ගේ වරදක් වුව මගේ ද වරදක් ලෙස දකින්නට හුරුවූ මගේ අහිංසක සිතෙන්ම නැවත ඔවුන් ඒ වරදෙන් මුදවා ලනු ලැබූවා . .

වරද කරු මා පමනි . . . ආදරය සැක කල මා පමනි . . . සත්‍ය, සත්‍ය ලෙස නොදුටු මා පමනි . . .

සිත යලිත් මතක මංපෙතේ පාවී ගියා . .

"ඔයාගේ ආසම පොත වදරිං හයිට්ස් කියලා ලියලා තිබුනා නේ ඔයාගේ ටීන් බුක් එකේ . . . මටත් හරි ආසයි ඒ පොත බලන්න . . . ඒත් මගේ ඉංග්‍රීසි දැනීම මදි පොත් කියවන්න තරම් . . . "

එදා දවසින් පසු ඈ නිතර නිතර මාමලාගේ ගෙදරට යාමට කරුනු සකසා ගත් පසු . . . දවසක් බසයේ කෙලවරේම අසුනේ වාඩිවී බසය ගමන් අරඹන තුරු කතාබහට ඇරඹුමක් මා ලැබුවේ එසේයි . . .

"ඒ පොත නම් ටිකක් අමාරුයි තමයි . . ඒත් හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ . . . "

"ඒ වුනාට මට හිතෙන්නෙම මට එහෙම දෙයක් කරන්න තරම් පුලුවන් කමක් නෑ කියලයි "

"ඇයි එහෙම හිතන්නේ . . . සුභවාදී විදිහට හිතන්න පුරුදු වෙන්න . . මුලින්ම පලමුවෙනි පරිච්ඡේදයේ තේරෙන නොතේරෙන ඔක්කොම පුලුවන් විදිහට කියෝගෙන යන්න . . . "

"ඊට පස්සේ . . . . "

"ඊට පස්සේ පරන කොපි පොතක අමාරු වචන ටික ලියාගන්න . . . ඊලඟට ඩික්ශනරි එකෙන් ඒ වචන වල තේරුම හොයලා ඊට ඉස්සරහින්ම ලියා ගන්න . . . දෙවෙනි පාරට ත් ඒ පරිච්ඡේදය කියවන්න . . කියවගෙන යද්දි අමාරු වචන වල තේරුම අර පොත එක්ක බල බල කියවන්න . . . ෂුවර් එකටම තුන්වෙනි පාරටත් ඒ පරිච්ඡේදයම කියෙව්වොත් සිංහලෙන් ලියපු තේරුම දිහා නොබලම කියවන්න පුලුවන් වෙයි . . . ඒකෙන් ඉංග්‍රීසි දැනුමත් වැඩි වෙනවා . . "

ඇය පැහැදිලි කර දෙන්නේ පරිනත ඉංගීසි ගුරුවරියක් මෙන් . .

"ඉතිං ඔච්චර ආස වෙන්න මොකද්ද ඒ පොතේ විශේෂත්වය . . ."

"ඒකේ තියෙන්නේ මරණයෙන් වත් කෙලවර නොවන සදාදර ප්‍රේමයක් ගැන කතාවක් . . . "

කථාව කෙටියෙන් එහෙත් කෙනෙකුට අසා හිඳින්න ආසා හිතෙන ලෙස ඈ පවසන්නේ හීත්ක්ලිෆ්ගේත් කැතරින්ගේත් ප්‍රේමයත් . . වේදනාවත් දැනුනු තරම් සතුටකින් . . සංවේගයකින් . . .

"එච්චර තදබල ආදරයක් තිබුනා නම් හීත්ක්ලිෆ් කොහොමද කැතරින්ගේ දුවගෙනුත් පලි ගන්න තරම් හිත දැඩි කර ගන්නේ . . . " මා ඇසුවේ කුතුහලයෙන්

"ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි කියනවානේ . . . "

"ඒත් මගේ හැඟීම නම් ආදරය කල හිතකින් කවදාවත් වෛර කරන්න බෑ කියන එකයි . . . "

"හැමෝම එක විදිහට ප්‍රේම කරන්නේ නෑ නේ . . . මටත් ඔය ප්‍රශ්නෙම ආවා පොත බලද්දී . . . ඒත් මට හිතුනේ හීත්ක්ලිෆ්ට ප්‍රේමයත් එක්කම එයාව වෙලාගෙන තිබුනු හීන මානයෙන් මිදෙන්න බැරි වුනු නිසා තමයි ඒ විදිහට කැතීගේ දුවගෙනුත් හැම දෙනාගෙන්මත් පලි ගන්න ඕන වුනේ කියලයි”

. . . .

"ඔයාගේ ආසම පොත ගැහැනු ළමයි නේ . . ?? මාත් හරිම ආසයි ආයෙ ආයෙත් කියවන්න කුසුම්ගේ පරිත්‍යාගශීලී ආදරේ ගැන . . . "

මට දනුනේ අප්‍රමාන සතුටක් . . මගේ ආසම පොත ඇගේ ත් ආසම පොතක් . . .

"ඔව් . . ආදරේ කියන්නේ පරිත්‍යාගයක් කියන එක හොඳට වදින්න පෙන්නල තියෙනවා ඒ පොතේ . . . "

තවත් දවසක අපේ මාතෘකාවට හසු වන්නේ අනාගත බලාපොරොත්තු . . .

"මම නම් ආසම කවදා හරි ඉනැටුම් ගුරුවරයෙක් වෙන්න . . . "

"නැටුම් ගුරුවරයෙක් . . ???" ඇය අසන්නේ විස්මයක් දෙනෙතේ රඳවාගෙන . . .

"ඔව් මම හිතන්නේ අපේ රටේ නැටුම් ශිල්පය තරම් කලාත්මක නැටුම් ශිල්පයක් ලෝකේ කොහේවත් නැතුව ඇති . . . අපේ ගෙට එහා ගෙදර මාමා එක එක රටවල් වලට ගිහින් තියෙනවා බිස්නස් වැඩ වලට . . . එයා කියනවා සමහර රටවල අය ලංකාව කිව්වට දන්නෙත් නැහැළු . . . එත් උඩරට නැට්ටුවෙකුගේ ෆොටෝ එකක් පෙන්නුවොත් අහනවාලු අහ් . . ඒ උඹලගේ රටේද කියලා . . . ඉතිං එච්චර වටිනාකමක් තියෙන සංස්කෘතික අංගයක් උගන්වන්න තියෙනවනම් කොච්චර දෙයක්ද . . ???"

"ඒක නම් ඇත්ත . . . අපේ තාත්තත් දැකලා තියෙනවා අර්ල්ස් රීජෙන්සි හොටේල් එකේ නැටුම් සංදර්ශයනක් වෙලවක යුරෝපිය ජාතිකයෝ කන්ඩායමක් ඒ දිහා බලා හිටියේ වශීවෙලා වගේ කියලා තාත්තා ගෙදරදි දවසක් කියනවා මට ඇහුනා . . . "

මගේ ප්‍රාර්ථනාව අනුමත කරන කඩහඬින් මට ඇගේ වචන ඇසෙන්නේ . . . . !

. . .

"වෙලේ බෝක්කුව උඩ වාඩිවෙලා ඇස් දෙක පියා ගත්තාම මටත් පුලුවන් හුලඟක් වගේ පාවෙලා යන්න . . . නිල්පාටට හුරු කොලපාට ගොයම් යායම නැවෙන විදිහට ඒ ගොයම් ගස් වලින් එන අමුතු සුවඳ විඳගෙන හමා යන්න පුලුවන් . . . "

කුඩා කල සිටම ස්වභාව සෞන්දර්යේ රස විඳින්න හුරුවී සිටි මා පවසන්නේ මේ දැන් බෝක්කුව උඩ ට වී දෙනෙත් පියාගෙන සිටිනවාක් වැනි හැඟීමකින් . . .

"ඔව් එදා එතනට ගිය වෙලාවේ මටත් හිතුනා ඒ විදිහට පාවෙලා ගිහින් කැඩුනු සරුංගලයක් හුලඟේ යන දිහාව බලාගෙන අඬන දරුවෙකුට එයාගේ සරුංගලය ආපසු ගෙනත් දීලා . . ඒ මූනේ ඇතිවෙන හිනාව දකින්න වගේ දෙයක් මටත් කරන්න පුලුවන් කියලා . . . "

"නුගේගොඩ රේල් පාර දෙපැත්තේ තියෙන පැල්පත් වල වහලවල් දිහා බලගෙන රේල් පාර උඩින් පාවෙන කොට . . . තාත්තාට කුලී වැඩක් නොලැබුනු නිසා දවල්ට, රෑට කන්න දෙයක් නැතුව බඩගින්නේ ඒ පැල්පත් ඇතුලේ ඉඳන් අඬන පුංචි ළමයින්ගේ සද්දේ මට ඇහෙනවා වගේ . . "

මගේ වචන ඈට අකමැති මාතෘකාවක් හැඩයි . . . ඈ උරහිස් හකුලවන්නේ ඒ පැල්පත් ගැනත් ඔවුන් එවැනි පැල්පත් වල කෙසේ ජීවත් වනවාදැයි හැඟුනු නිසාත් නොව . . .නැතිනම් ඔවුන්ගේ කුස ගින්නේ වේදනාව දැනුනු හෙයිනුත් නොව ඒ පැල්පත් අසලින් හමා එන පිලී ගඳ නිසාවෙන් යැයි මා වරදවා වටහා ගත් තරම් . . .

මෙසේ අහසත් පොලොවත් අතර අපමන දේ ගැන අප කතා බහ කරන්න ඇති . . . නිතර පංතියේදී මුන ගැසුනා වුවත් පෙම් හසුන් හුවමාරු කර ගැනීමත් අනිවාර්යෙන් සිදුවූවා . . . පාසැල් දිනවලට පෙම් හසුන් හුවමාරුව සිදුවුනේ මගේ නිවස අසල නිවසේ සිටි ඉමාෂාගේම පාසැලේ ඉගෙනීම ලැබූ යෙහෙලියක් හරහා . . .

එසේ මා ලබන පෙම් හසුන් මා ඇඳේ මෙට්ටය යට හෝ මගේ පොත් මේසයේ කොලය යට හෝ සඟවා තැබුවා වුවත් මගේ අක්කාගේ විචක්ශණශීලී දෙනෙතින් ඒවා කෙසේ හෝ සොයාගෙන කියවා ඒවායේ තිබූ සමහර වැකි කියමින් මා අපහසුවට පත් කිරීම විඳ දරා ගැනීමත් කාලයකදී නිතැතින්ම හුරු වූවා . . .

පාසැලේ සමහර ලමයින් තීන්ත පෑන් භාවිතා කරමින් ලස්සනට අකුරු ලියනවා දුටු මටත් ඇති වූයේ තීන්ත පෑනක් ලබා ගැනීමේ නොතින් ආශාවක් . . . නමුත් එවැන් දෙයක් මිලදී ගැනීම සඳහා අම්මාගෙන් මුදල් ඉල්ලා කරදර කිරීමට සිත පැකිලෙමින් තිබුනු මොහොතක . . . දිනක් ඈ ගෙන් මා ලද කුඩා සටහනක් . . .

"හවසට පංති ඉවර වුනාම බස් හෝල්ට් එකේ ඉන්නවා . . . එතනට එන්න . . "

බස් නැවතුමේදේ ඈ දුඹුරු කොලයකින් එතූ යමක් මට දුන්නේ . . .

"පොඩි තෑග්ගක් . . දැන් බලනන් එපා . . ගෙදර ගිහින්ම බලන්න . . . "

ගෙදර යනකම් නොයිවසිල්ලකින් සිටි මා ඇසුරුම ගැලවූ සැනින් දුටු දේ මගේ සියලුම හැඟීම් එක් වරටම නතර කරනු ලැබුවා . ..

"දෙවියනේ . . . ඈ මගේ සිත කියවූවේ කෙසේද . . . ?? පාකර් තීන්ත පෑනක්. . . " සතුටකුත් සමඟ මගේ පුංචි සිත අරක් ගත්තේ හීනමානයක් වැනි කුමක්දෝ නොතෙරෙන හැඟීමක් . . .

විලාසිතා දැක්මකට මෙන් ළමයින් එක එක මෝස්තරයේ එක එක වර්නයේ කලිසම් . . ටී ෂර්ට්ස් පංතියට ඇඳගෙන එන විට මට තිබූ එකම ඩෙනිම් කලිසමත් පාට පිච්චුනු ටී ෂර්ට් දෙකත් පංතියට ඇඳගෙන නොයාමේ උපක්‍රමයක් ලෙස මා භාවිතා කලේ පාසැල් දිනවලදී පාසැල් නිලඇඳුම පිටින්ම පංතියට යෑමයි . . . නමුත් සති අන්තයේ පංති වලට මේ උපක්‍රමයෙන් පිහිටක් ලබා ගත නොහැකි වූ තැනේදී මා පංතිට ගියේ සිතේ ඇති අමුතු දුක්බර හැඟීමකින් . . .

"අනේ අනිත් ළමයින්ට මෙන් මටත් ලස්සන ඇඳුම් තිබුනානම් . . . " නමුත් කෙසේවත් ඉරිසියාවක් නොවූ ඒ හැඟීම ට පිහිටක් ලබා ගැනීමට අමාරුවෙන් නිවසේ වියදම් පිරිමසන අම්මාට තාත්තාට කරදර කිරීමට තරම් දළදඬු හිතක් මට නොතිබුනා තරම් . . .
මා එසේ පරන ඩෙනිමත් පාට පිච්චුනු ටී ෂර්ට් එකකිනුත් සැරසී පංති ගිය දින වලදී ඈ . . . අමුතු ලෙස මගේ දිහා බලා . .

"ම් ම් ම් ඔයා අද හරිම ලස්සනයි . . . . හරියට පුංචි කුමාරයෙක් වගේ . . . " කියා කී මගේ සිත අස්වසාලීමේ පද පේලි මා ගනන් ගත්තේ ඈ මට කල සමච්චලයක් ලෙසට . . .

ඇගේ සුවිශාල ප්‍රේමනීය හදේ . . . තවත් කෙනෙකු අගය කිරීමට සැදී පැහැදී සිටි හදේ . . . කෙනෙකුගේ සිතට සතුටක් දීමට කැසකැවූ හදේ . . . දොරගුල් හැර දමා ඇතුලට එබී නොබලා මතුපිටින් බලා එහි ඇතුලත ඇතේ මේවායැයි වැරදි නිගමන කල මගේ පටු නිගමනශීලී හිතට මා දොස් පවර ගන්නවා හැර වෙන කුමක් කරන්නද . . . ??

සියල්ල වැටහෙන විටා පමා වූවා වැඩිය . . . සියල්ල ඇස් ඉදිරියේදීම කඩා වැටී ඇත . . . පසුතැවෙනු හැර . . වේදනා විඳිනු හැර වෙන කල හැකි යමක් ඉතිරි වී ඇත්ද . . ??

කාලය ගත වුනේ කෙතරම් සුන්දර ලෙස වුවත් හදවතේ එක් කොටසක් ඒ සුන්දර සතුටේ සුව විඳින අතරම තවත් කොටසක් ඒ සුන්දර සතුට කෙරෙහි ඇති එක්තරා බයක් වැනි හැඟීමකින් ඒ සතුටෙන් ඈත් කර තැබීමට උත්සාහ දරමින් සිටියා කියා කීවොත් නිවරදියි . . .

පවුලේ අගහිඟකම් වලට පිලියමක් ලෙස අප ඉහලින්ම බලා පොරොත්තු තැබූ, පියා විසින් බොහෝ වෙහෙස මහන්සියෙන් ලබා ගැනීමට උත්සාහ කල ව්‍යාපාරික කටයුත්තක් ඉටු වීම . . . කෙටියෙන් කීවොත් ඉතා දුර බැහැර ව්‍යාපෘතියක වැඩ කටයුතු පියාට ලැබීම පොදුවේ පවුලේ සියලු දෙනා සතුටු වූ කරුනක් වුවත් . . . ව්‍යාපාරයේ සාර්ථකත්වයේ දෙවෙනි පියවර ලෙස අපගේ පදිංචිය වෙනස් කිරීමටත් පාසැල් වලින් අපව අස් කරගෙන ඒ නව පදිංචිය අසල පාසැලකට මාරු කිරීමටත් පියා ගත් තීරනය සතුටත් දුකත් එකසේ සමව විඳි තීරනයක් ලෙස දැනුනා . . . . .

. . . .

"එහේ ගියාම මට ආයෙත් මේ ක්ලාස් එන්න වෙන්නෙ නැති වෙයි . . "

"අනේ . . . කවදාවත් එන්නේ නැතුව ඉන්නද හිතන්නේ . . . " ඉමාෂා අසන්නේ දෑසේ කඳුලු පුරෝගෙන . . .

"කියන්න බෑ . . . ගෙදරින් එන්න එපා කීවොත් . . . "

නිතරම දෙගිඩියාවකින් පෙලුනු . . ආදරේ ගැන සැකයක් සිතේ සඟවාගෙන කල් ගෙවූ මට සමහර විට ඒ තීරනය අස්වැසිල්ලක් ගෙන දෙන තීරයක් ලෙස දැනෙන්නට ඇති . . . මා කල් ගෙවූයේ ඇගේ ශෝකය නොදුටු එකෙක් ලෙස . . .

සිනා කෙළිලොල් තෙපුල් රහසේ
දෙඩූ තැන් අද ගොලු වෙලා . . .
සොඳුරු පාසැල් පියස
කඳුලින් බොඳ වෙලා . . .
කැදැල්ලෙන් ඔබ
වෙන් වෙලා . . . .
. . .
නිබඳ ඔබ මා ඇවිද ගිය තැන්
සෙවන දුන් ගහ කොල පුරා . . .
බිමට බරවුනු කැකුලු
අතු ඉති මැලවිලා . . .
දුකින් හදවත
ගොලු වෙලා . . .
. . .

දෙනෝ දාහක් නුවන් අතරේ . . ගීතයේ දෙවන තුනවන පද පේලිවල මෙන් වූ වේදනාවකින් ඇගේ හදවත ඉරිතලා යන්න ඇති . . .

නමුත් මා තරම් නරුමයෙක් . . . ඇගේ අගය කිරීම මා සමච්චලයට ලක් කිරීමකැයි සිතූ . . . ඇගේ තිලින මට අනුකම්පාවකින් දෙන ලද දේ යැයි සිතූ මා ඈ ඒ ලබන වේදනාවෙන් කුරිරු සතුටක් වැනි දෙයක් ලැබූ හැටි සිහි වන විට මා මේ ලබන වේදනාව මදි යැයි මගේ සිතෙන්ම පහර කෑමකට ලක් වනු හැර වෙන පිලියමක් ලද හැකිද . . .

සිදුවීම් සිදු වන්නේ අප බලාපොරොත්තු වන ලෙසටම නම් ලෝකය කෙතරම් සොඳුරු තැනක් වේද . . . !!

දුර බැහර අලුත් ව්‍යාපෘතියේදී දී පියා තදබල ලෙස අසනීප වී අලුත පටන් ගත් ව්‍යාපෘතියේ කටයුතු නතර වී සියලු බලාපොරොත්තු සුන් වුනේ අප කිසිසේත් බලාපොරොත්තු නොවූ ලෙසට අප තවදුරටත් සිටි තැනින් පහතට ඇද දමමින් . . .

අපගේ අතිරේක පංති සඳහා වැය කිරීමට තවදුරටත් පවුලේ ආදායම නොසෑහීමේ ප්‍රතිඵලය වූයේ අමතර පංති නොගොස් පාසැලේ ඉගෙනීමෙන් පමනක් සෑහීමකට පත්වීමට හුරු වෙන්න සිදුවීමයි . . . .

උපකාරක පංතියේ ආදරණීය සියලු දෙයින්ම වෙන් වී යන්න මට මගේ සිත එකඟ කරවා ගැනීම අපහසු කාරියක් වුවත් . . . සිත ගල් කරගෙන එය පිලිගැනීමට මගේ සිතට සවිය දෙනු ලැබිවේ ඈ විසින් මට දක්වනු ලබන්නේ අනුකම්පාවක් පමනි යන මගේම සිතුවිල්ලත් . . . මගේ නැතිබැරිකම් ඈ සමච්චලයට ලක් කරනවා යැයි මා ඇති කරගෙන තිබුනු වැරදි වැටහීමත් කීවොත් එයයි නිවරදි . . .

"අනේ නිනේෂ් . . . පංති නාවට කමක් නෑ . . . සචිනි අතේ මට හැමදාම නැතත් සතියකට දෙකක් වත් ලියුම් එවන්න . . . "

"පන්ති තියෙන දවස් වලට ඇරෙන වෙලාවට පුස්ථකාලෙට එන්න . . . එතකොට අපිට සතියකට දවසක් දෙකක් වත් මුනගැහෙන්න පුලුවන් නේ . . . "

"පන්ති නාවට කමක් නෑ . . ඉස්කෝලේ කියල දෙන දේවල් හොඳට පාඩම් කරලා කොහොම හරි විභාගේ පාස් වෙන්න කියලා මහන්සි වෙලා වැඩ කරන්න . . . "

"ඔයා පවුලේ එකම පිරිමි දරුවා නිසා ඔයාගේ ඉගෙනීම පවුලේ දියුනුවට ගොඩාක් බලපානවා . . . පංති එන්න බැරි වුනා කියලා හිතන්නේ නැතුව, අම්මගේ හිතට දුකක් නොදෙන්න හිතාගෙන විභාගේ කොහොම හරි හොඳින් පාස් වෙන්න . . "

"මම ක්ලාස් එකේ ටියුට්ස් . . පාස් පේපර්ස් ෆොටො කොපි කරල තිලංෂ තේ හරි සචිනි අතේ හරි ඔයාට එවන්නම් . . "

මාසේ අවසානයෙන් පසු මා පංති නො එනා වග ඈට දැනුම් දුන් විට වේදනාවෙන් හැඩූ ඈ සුලු මොහොතකින් යලි සිත සංසුන් කරගෙන ජීවිතයට හොඳින් මුහුන දීමට . . . විභාගය කෙරෙහි උකටලී නොවන්න ට . . අපේ ඇසුර නොබිඳී පවත්වාගෙන යන්නට . . . දුන් උපදෙසුත් . . ගුරුහරුකමුත් මා අසා සිටියේ ඇස් කන් නැති ගොලුවෙක් . . කනෙක් . . බීරෙක් ලෙසට . ..

. . . ..

මතු සම්බන්ධයි . . .

Wednesday, November 11, 2009

එපා හිරු පායන්න අදින් පසු මගේ ලොවට . . . ! (හයවන කොටස)


මෙතෙක් කතාව

සමරු පොත අතට ගත් ඈ එහි පිටු පෙරලන්නට වූයේ නොයිවසිල්ලකින් . . . චොක්ලට් පෙත්තක් ලද දරුවෙකු එහි කොලය ගලවනවාක් මෙන් වූ නොයිවසිල්ලකින් ඈ එසේ පිටු පෙරලනවා මා බලා සිටියේ හොර බැල්මක්ද දෙනෙතේ රඳවාගෙන, ඇගේ ප්‍රථිචාරය කෙසේ වේදැයි බලා ගන්නට හිතේ උපන් ආශාව අමාරුවෙන් හිර කරගෙන . .

පිටු පෙරලූ ඇගේ දෙනෙත් මා තැබූ සමරුව අසල නතර වනවාත්, ඈ උනන්දුවෙන් එය දෙතුන් වරක් කියවනවාත් දුටු මා ඉන් පසු ඇගේ මුවේ නැඟුනු සිනහ රැල්ලේ තේරුම මෙසේ වේ යැයි උපන් උපකල්පනයෙන් එක් වරම දෙවිදියක හැඟීම් වලින් වෙලී ගියා කීවොත් නිවරදියි . . .

"ඔව් . . ඔබ පැවසූ ලෙස ම අහිංසක හදකට සදා නොනිමෙන පහනක් වන්නෙමියි . . " ඈ සිතන්නට ඇතැයි සිතුනු සිතුවිල්ල මා නුහුරු සුන්දර හැඟීමකින් මුසපත් කර කිති කැවී ගියා වුවත් "ඒ අහිංසක හද ඔබේ හදවත වීමට . . . ඔබේ හදවතට සදා නොනිමෙන පහනක් වන්න මට ඉඩක් නැත්දැයි . . ? ? " ඈ සිතන්නට වත් ඇත්දැයි සිතුනු සිතුවිල්ල මා එක්තරා භීතියකින් විපක්ශිත කර වෙව්ලා ගියා මෙනැයි මට සිතුනා . . .

දෙවෙනියට උපන් සිතුවිල්ල දිගේ කල්පනා කරමින් සිටින විට, පංති අරගල . . . පංති පරතර ගැන දැනුම් තේරුම් ගත හැකි වයසක නොවූ කුඩා එකෙක් වූ මට ඕලුත් මාත් අතර ඇතිවන්නට ගිය . . . නො එසේනම් ඇතිවී අතරමඟ නතර කරනට සිදුවූ අපගේ පුංචි ප්‍රේමයට තහංචි වැටුනේ මා එසේ ගැඹුරින් නොදැන සිටි නමුත් “පෝසත් අයත් දුප්පත් අයත් මේ ලෝකේ ඇත . . . දුප්පත් අයට පෝසත් අය හා පෙම් සබඳ කම් ඇති කර ගත නොහැකිය . .” කියා මා මගේ ශක්ති ප්‍රමානයෙන් තේරුම් ගත් පංති පරතරය නම් වූ මහා ඛේදාවාචකය නිසා නොවේදැයි හැඟුනු සිතුවිල්ල, ඇගේ පැතුම මේ යැයි මා සිතූ සිතුවිල්ලට තව තවත් දුර සිතා බලන්නට අනුබල දෙනු ලැබුවා

අඳින පලඳින ආකාරයෙන්, සපත්තු-සෙරෙප්පු, පාසැල් බෑග් ආදියෙන් පවා ඉස්මතුවන ඇගේ පෙනුමට අනුව ඈ කුලීන පවුලක යුවතියකගේ නැතහොත් ඉහල මධ්‍යම පාන්තික පවුලක යුවතියකැයි අනුමාන කරන්නට ඕනෑ තරම් සාධක වූවා . . .

මා, කුලී නිවාසයක ජීවත් වන, අමාරුවෙන් දෛනික අවශ්‍යතා ඉටුකර ගැනීමට තරම් වන ආදායමක් උපයන ව්‍යාපාරයක හිමිකරුවෙක් වූ පියෙකුගේ ත් ආදායමක් ඉපයිය හැකි ශිල්පයක් උගත් නමුත් ස්වාමියාගේ වගකීම බිරිඳත් දරුවනුත් වෙනුවෙන් මුදල් ඉපයීම යැයි ඇතිකරගත් හැඟීමෙන් ස්වාමියා විසින් රැකියාවක් කිරීම වලක්වනු ලැබූ ගෘහනියක් වූ මවකගේ ත් පුතෙක් . . .

ඉදින්, වෙනස් පංති දෙකක . . . වෙනස් ලෝක දෙකක දෙදෙනෙකු වූ අපිට ආදරයදැයි, ප්‍රේමයදැයි නොදන්නා සිත්වල ඇතිවූ සෙනෙහසකට නතුවී සමාජ පෙරලියක් කිරීමට තරම් ශක්තියක් උපදවා ගත හැකි වේද . . ? ?

නැත . . . එය කෙසේ වත් සිදුවිය නොහැක . . .

"ගිනි පෙලෙල්ලෙන් බැට කෑ මිනිසා කනා මැදිරි එලියටත් බයයි . . " කියන්නා සේ එකම වේදනාවක් දෙවරක් විඳින්නට තරම් මා මෝඩයෙකු නොවිය යුතු යැයි කෑ ගසා කී මගේ හදවතේ දෝංකාරයට කන්දුන් මා අපේ මේ අළුත් ඇසුරේ සීමාව මිතුරු කමින් එහාට නොගිය යුතුයි කියා ඈට අනතුරු ඇඟවීමක් ලෙසත් . . . තවදුරත්, ඒ වන විටත් ඕලුගෙයි මගෙයි බිඳුනු සබඳ කමේ නටඹුන්, කැඩුනු සෙල්ලම් බඩුවක් බදාගෙන හඬන දරුවෙකු මෙන් . . . මියගිය ස්වාමියෙකුගේ දේහය බදා වැලපෙන බිරිඳක් මෙන් . . . අතීතය සිතින් බදාගෙන පිටතින් කොපමන සිනා මුසු මුහුනෙන් සිටියා වුවත් ඇතුළු හදවතින් වැලපෙමින් සිටි මට ඒ අතීතයේ අක්මුල් එක්වරම කපා සිඳ හෙලන්න ඇති නොහැකියාව උඩ ඉමාෂා ගේත් නිනේෂ් ගේත් සබඳ කමේ සීමා නීර්න ගැන වැටහීමක් ඉමාෂාට ලබා දීමට සිතා නිතර ගුවන් විදුලියේ රැව් දුන් නිරංජලා සරෝජිනී මහත්මිය ගැයූ ගීයක පද කිහිපයක් වෙනස් කරමින් ලියූ කුඩා සටහනක් ඇගේ ටීන් බුක් එක ඇතුලට දමා ඈට දුන්නෙමි . . .

"පමා වී මෙසේ අප ඇයි හමු වුණේ.
අප අතීතයේ හමු වූවා නම් . . . .
මට ඈව හමුවන්නට පෙර . .
ඔබ අතීතයේ මුණ ගැසුනා නම් . . .

ඔබේ මුදු වදන් පවසන හැඟුම් හැඳින්නෙමි . . .
ඔබේ නෙතින් වදනින් ඔබ සිතද හැඳින්නෙමි . . .
මේ දිවි මඟ මා නොලද සෙනෙහසින් . . .
ඔබේ සෙනෙහසේ මොහොතක යලිදු උපන්නෙමි . . . .

රැයේ සිහිනයෙන් ඔබගේ ලොවේ වෙසෙන්නෙමි..
සිතේ සුසුම් සුළඟින් යළි එයින් මිදෙන්නෙන්මි..
නොහැකි වුවත් ළං වන්නට සෙනෙහසක් අරන්
යළිදු බවයකදි හෝ ඔබ සෙවණ පතන්නෙමි..."

සටහන කියවා ඇගේ මුහුනේ ඇදෙන වේදනා රැහැන් මා නොදැකිය යුතු යැයි උපන් සිතුවිල්ල දෙතුන් දිනක් ඇගේ දෙනෙත් මඟ හැරීමෙන් මා ජය ගතිමි . . .

එලෙස අපි දෙදෙනා විසින්ම අපි දෙදෙනා අතර ඇති කරගත් සම්මුතියක් ඇතිව මිතුරන් ලෙස කල් ගෙවී ගියේ අපටත් නොදැනීම . . .

උපකාරක පංතියට එහා ඉඩමේ වූ ගුරුතුමා අළුතෙන් සාදන නිවස සහිත ඉඩමේ වූ පේර ගහේ ගෙඩියක් කඩාගෙන අප-මිතුරන් හවුලේ කන විටෙක මගේ කොටසක් ඈට නොදී කෑ නොහැකි බවක් මට දැනුනා සේම ඈත්, අතරමඟ කඩේකින් මිලදීගත් ටොෆියක් . . . චොක්ලට් එකක් කෑවේ මගේ කොටස ලෙස ඈ මට දුන් දේ මා මගේ මිතුරන් සමග හවුලේ රසවිඳ නිමාවූ පසුවයි . . . හිරුෂි විසින් තිලංශට දෙනු ලබන ටොෆී, චොක්ලට්, අඹ, පෙර, වෙරළු ආදියේත් . . . ඉමාෂා විසින් මට දෙනු ලබන දේවලත් ඉබේම කොටස් හිමිකරුවන් වූ රුසිත්ගේ ත් සාරංග ගේත් ඇනුපද නෑසූ කන්ව විඳ ගැනීමට තිලංශට ත් මටත් සිදු වුනා . .

අප අතර ඇත්තේ මිතුරු කමක් පමනක් යැයි නිතර නිතර හිතට අවධාරනය කර ගත්තා වුවත් පංතියට ඇතුලු වීමේදීත් . . . ඇතුලු වූ පසුවත් මුලු පංතියම සිසාරා ඒ දෙනෙත ම පමක් සොයා වෙහෙසෙන නෙතට, සිතට එසේ සොයා ගත් පසුව හදවතින්ම නැග එන සිනාවකින් පමනක් සංග්‍රහ කර නතර කර තබා ගැනීම ට බල කිරීම එසේත් නැතහොත් නැවත නැවත ඒ දෙනෙත දෙස බලා පුංචි හෝ යමක් පැවසීමට සිතට නැගෙන සිතුවිල්ල බැඳ තබා ගැනීම විටෙක ඉතාම වෙහෙසකර කටයුත්තක් වූවා. විටෙක ඒ වෙහෙසකර කටයුත්තට යොමු නොවී සිතට රිසිසේ රිසි දෙයක් කරන්න ඉඩදී ඒ දෙස බලා සතුටුක් ලබා ගැනීමට පෙලඹුනේ එහි සුන්දරත්වය වලක්වාලනු තරම් සවිමත් සිතක් නොතිබූ නිසාවෙන්මැයි . .

හිරිමල් දෙසිතක ඉපදුනු සෙනෙහසකට වැට කඩොලු බැඳීම කාට නම් කල හැකි වේද . . . ආදරය, පංති පරතර . . . සීමා මායිම් නොතකන මනෝභාවයක් බැවි ආදරයේ බැඳුනෝ හැර එහි සුව වින්දෝ හැර වෙන කිසිවෙකු දනීද . . .

මිතුරුකමේ සීමා මායිම් කැඩී සෙනෙහස දෝර ගලන්නට ඉඩ සැලසුනේ අහම්බයෙන් . . .

පංති නිමාවූ වහාම රුසිතු ත් සාරංගත් නිවෙස් බලා යාමට යුහුසුලු වන නමුත් තිලංශත් මාත් නුගේගොඩ සමහර සාප්පු වලට විශේෂයෙන් සරසවි පොත් හලට (පොත් ගන්න අතේ මුදල් නැති බව හොඳින්ම දන්නා නමුත් පොත් අතගා ඒමත් සුවයක් ලෙස සැලකූ නිසාවෙන්) ගොස් පැය භාගයක් පමන ගතකර එන ගමන් ආනන්ද සමරකෝන් එළිමහන් රඟශාලාව පිටුපස කොනේ ඇති බීම හලෙන් "මිරින්ඩා" බීම අපේ පංති දිනවල දෛනික පුරුද්දක් . . .

මුලින්ම බීම හලෙන් කවුන්ටරේ උඩ මුදල් තබා තිලංශ මිරින්ඩා ඉල්ලපු දවස් මතක් වෙද්දීත් එන සිනාව නවතා ගැනීම තාමත් අපහසුයි . . .

"මුදලාලි . . අපිට මැරෙන්ඩ දෙකක් දෙන්න . . "

බීම හලේ මැදි වියේ හිමිකරු අපි දෙස බැලුවේ පුදුමයෙන් වගේ . . . පසුව තේරුම් ගිය පසු ඔහුටත් සිනා . . . ඉන් පසු බීම හලට එන විටම "ආ එන්න එන්න පුතාලා මැරෙන්ඩ දෙකක් දෙන්නද . . ??" කියා ඔහු අපෙන් අසන්නේ බීම හලේ තවත් පාරිභෝගිකයන් සිටියොත් ඔවුන් මවිතයට පත් කරමින් . . .

දිනක් පංති නිමාවූ වහාම මිරින්ඩා බොන්න වත් සුනංගු නොවී තිලංශට සමුදී මා තදියමේ දිව ඇවිත් ඒ වන විටත් ගමන් ආරම්භ කරන්න තතනමින් තිබූ බසයකට ගොඩ වූයේ පෝ දිනයක් වූ එදින හවස පංසල් යාමට ඇති හදිස්සිය නිසාවෙන් . . .

නැගුනු සැනින් කොන්දොස්තර ගේ "පස්සට යන්න පස්සට යන්න කරුණාකරල පස්සට යන්න . . . " කියා කරන කෑ ගෑමත් ඒ වන විටත් තවදුරටත් බසයට නැගුනු මගීන් නිසාවෙනුත් ඇතිවූ තෙරපුමත් නිසාවෙන් ඉබේ තල්ලු වී ගොස් නතර වූ තැනේදී එතනම ඉදිරියේ තිබූ ආධාරක බටය කෙනෙකුගේ උරහිසට ඉහලින් අතදමා ඇල්ලීමේදී ඇල්ලූ සැනින් අත අහකට ගත්තේ මා අත තබා තිබුනේ බටයට නොව බටය අලා සිටි අතක් උඩින් බව වැටහී එසේ මගේ අතට දැනුනු සුමුදු පහස ගැහැනු ළමයෙකුගේ යැයි එහි ස්පර්ශයෙන්ම මා තේරුම් ගත් නිසාවෙන් . . . ඇය මා විසින් උවමනාවෙන් එසේ කලායැයි සිතාවී යැයි නැගුනු සිතුවිල්ලෙන් .

සමාව ඉල්ලන බැල්මක් හෙලන්න යැයි සිතා ඒ මුහුන දෙසට හැරී බැලීමේදීයි මට පසක් වූයේ එසේ මා විසින් නොදැනුවත්ව ඇල්ලූ අත ඉමාෂාගේ බව . . . ඈ සිටියේ මට වෙන ඇල්ලීමට ආධාරකයක් නොමැති කමින් වැරදීමෙන් මා ඇගේ අත ඇල්ලූ බවට ඈ දන්නා නියාව පෙන්වන සිනාවක් මුවේ රඳවාගෙන . . .

ටික ටික බසය ඉදිරියට යෑමේදී වාරුවක් නොමැතිව සිටි මා දෙපසට වැනෙනවා දුටු ඈ ළතාවකට හිස වනා මට ඉඟි කලා මා නොවැටී සිටීමට නම් ඇගේ අතට උඩින් හෝ ආධාරක බටය අලා ගත් යුතු බව . .

පංතියේදී කොපමන සිනා හුවමාරු කර ගත්තා වුවත් . . . දෙනෙතින් කෙතරම් අදහස් හුවමාරු කරගත්තා වුවත් මෙපමන කලකට ඈ සමඟ වචනයක් වත් කතා බහ නොකර තිබුනු මගේ හිතේ ඇතිවී තිබුනේ කියා ගත නොහැකි චකිතයක් . . . මා බිය වී වට පිට බැලුවේ මගේ පපුවෙන් නගින "ඩිග්-ඩිග් . . . ඩිග්-ඩිග්" ශබ්දය අන් අයටත් ඇසේදෝ කියා සැකයෙන් . . .

දෙවෙනි වරටත් ඇගෙන් ලද ආරාධනාත්මක ඉඟිය ට මට යට නොවී සිටීමට කොහෙත්ම ඉඩක් ලැබුනේ නෑ . . . මා හිමිහිට ඇගේ අතට උඩින් මගේ අත තැබුවේ වැටෙයි කියා බයට ආධාරකයක් අල්ලා ගන්නා අයෙකු ලෙස නොව පංසලේ බුද්ධ පූජාව අවස්ථාවේ පේලියට සිටගෙන සිටින විට කෙනෙකු විසින් අතට ලබා දෙන මල් වට්ටියක් ලබා ගන්නවා වැනි පරීක්ෂාකාරෙ නමුත් පහන් හැඟීමකින් . . .

පපුව ඇතුලෙන් විශාල ශබ්දයක් පිටකරමින් නැග ආ ඩිග්-ඩිග් ශබ්දය නැති වී සාමාන්‍ය වීමට බොහෝ වේලාවක් ගත වන්න ඇති . . . ගාඩිනියා වැනි මල් සුවඳකට හුරු විලවුන් වර්ගයක ශේෂවුනු සුවඳක් හමන ඇගේ කන අසලට හෙමින් පහත් වුනු මා ඈත් මත් මිතුරන් වූ පසු කල අපේ පලමු සංවාදය ඇරඹුවා . . . ! !

"අද උදේ ඇඳේ වැරදි පැත්තකින්ද බිමට බැස්සේ . . ."

මගේ අමුතු ප්‍රශ්නයෙන් ඈ විපක්ශිත වන්නට ඇති බව මූනේ ඇඳුනු හැඟීම වලින් වටහා ගත හැකි වූවා . . .

ඈ "ඇයි එහෙම අහන්නේ . .. ??" යැයි ඇසුවේ වචනයෙන් නොව කුඩා කරගත් දෙනෙතින් හිස පැත්තකට ඇල කොට කුතුහලාත්මක බැල්මක් මදෙසට හෙලීමෙන් . .

"නෑ අද මේ වැරදි බස් එකක නැගලා නිසායි එහෙම ඇහුවේ . . ."

"බකස් " ගා ඇයට යන්නට ගිය හිනාව ඈ අමාරුවෙන් නතර කර ගත් බවත් . . . එසේ අමාරුවෙන් හිනාව නතර කරගත් බැවින් පිට නොවුනු හිනාව පිට වුනේ දෙනෙතින් කඳුලු ලෙසින් . . . .

සුලු මොහොතක් නිහඬව සිටි ඈ . . .

"වැරදි බස් එකක් ද හරි බස් එකද කියලා ඔයා කොහොමද දන්නේ . . ?" කියා මගේ ප්‍රශ්නයට ප්‍රශ්නයකින් ම පිලිතුරු දුන්නා . . .

"නෑ වෙනද ට ඔයා හිරුෂිත් එක්කම හයිලෙවල් පාර පැත්තට යනවානේ . . .ඒකයි මම අහුවේ . . ."

"ආ . . ඒක නිසාද ඔයාල දෙන්නත් අපේ පස්සෙන් එන්නේ හයිලෙවල් පාර පැත්තට . . අපි යන්නේ කොහෙද කියලා බලන්නද . . . ?"

"අපෝ නෑ . . . අපි කාගෙවත් පස්සෙන් ගියේ නෑ . . . ඔයාල අපිට ඉස්සරහින් ගියා එච්චරයි වුනේ . . . "

"එහෙනම් මොකටද බස් එක ගන්න මෙතනට එන්නේ නැතුව ඒ පැත්තට යන්නේ . . ."

"අපි යන්නේ සරසවි එකට . . ."

"පොත් ගොඩාක් ඇති එහෙනම් දැං නේ . . . . ඇයි ඉතිං සතියට දවස් දෙක ගානේ සරසවි එකට ගිහින් ගත්තු ඒවා . . . "

"එහෙම පොත් ගන්න සල්ලි තිබුන නම් සතියට දෙපාර ගානේ යන්නේ නෑ . . එක පාර ගිහින් ආස කරන පොත් ඔක්කොම අරන් එනවා . . . ඒක නෙමෙයි මේ කොහෙද යන්නේ . . . ?? "

"අපේ මාමා ඉන්නේ පිට කෝට්ටේ . . . අම්මගේ පනිවිඩයකට එහේ යනවා මාමට දෙන්න කියලා පාර්සලේකුත් දුන්නා අම්මා . . . "

"මම තව හෝල්ට් දෙකක් එහායින් ලී මෝල ලඟින් බහිනවා . . . ඔයා පිට කෝට්ටේ හංදියටම යනවා නේද . . . ??? " ඈ අසන්නේ "වැරදිලාවත් එතනින් බහින්න එහෙම එපා හොඳේ . . " කියා නොකියා කියනු වැනිව . . .

"වෙනදට විනාඩි හතලිස්පහක් . . . පැයක් විතර තිස්සේ කොට කොට එන බස් කාරයා අද ඉක්මනට ඇවිත් . . . මුන් නම් මහාම මහා නසරානියෝ ටිකක් . .. මීට වැටිය හෙමින් එන්න තිබුනේ නැද්ද මුන්ට . . ."

බස් එකේ රියදුරුටත් කොන්දොස්තරටත් එරෙහිව මගේ හිතේ ඇතිවී තිබෙන රන්ඩුව ට බාදා කරමින් ඈ . .

"එහෙනම් මම මෙතනින් බහිනවා . . . අනිද්දට මීට් වෙමු . . බායි . . " කියා සිනාවක් පා බසයේ දොරටුව අසලට පිය නැගුවා . . . .

"බායි " කියා මාත් හෙමීට මටම කොඳුරා ගත්තා . . .


මතු සම්බන්ධයි . . .

Thursday, November 5, 2009

කෙලෙස් පර්වත . . . . ! ! !





තමා විසින්ම තමා සොයා ගැනීමට දැරූ තැත පිලිබඳ අපට අසා පුරුදු කතා පුවත් ලෙස සිදුහත් කුමරා විසින් සත්‍ය සොයා අබිනික්මන් කල කතා පුවත, නසරතයේ ජීසස් හෙවත් යේසුස් තුමා සත්‍ය සොයා යෑම පිබඳ කතා පුවත ආදිය බව මා පෑසුවොත් ඔබ සැම මා සමඟ එකඟ වේ යැයි මා සිතමි . . . ! !

එවන් වූ පුරණෝක්ති කතා වල ශෛලියට වඩා වෙනස් නමුත් ඒවායේ ආභාෂය ත් බෞද්ධ දර්ශයේ හා ඉන්දීය උපනිෂද් ධර්ම වල කරුනු තර්කානුකූලව විග්‍රහ කරමින් ඒවා ඇසුරු කර ගනිමින් . . ලියූ පොතක් ගැනයි මා මේ සටහනින් ඔබ සැමට දන්වා සිටීමට සිතුවේ . .

තවදුරටත් ඒ පොතෙහි . . අප කිහිප දෙනෙක් හෝ නිතර මුහුන දෙන කිසියම් හුරු පුරුදු මනෝභාවයක් වූ . . . යම් කිසි වෙකු මුන ගැසුනු විට, මීට පෙර ඔහු හෝ ඇය මුන ගැසී තිබෙනවා වැනිව දැනෙන හැඟීමත් . . . කිසියම් පෙදෙසකට ගිය විටෙක දැනෙන (නමුත් මතක ඇති සැටියට ජීවිතයේ කෙදිනක වත් නොගිය බව දන්නා පෙදෙසකට ගිය විට දැනෙන)මේ පෙදෙසට මීට කලින් පැමින තිබෙනවා නොවේදැයි දැනෙන හැඟීමත් . . . කිසියම් වූ සිදුවීමක් සිදුවීමේදී . . මේ සිදුවීම මේ අකාරයාම මීට කලින් සිදුවී තිබෙනවා නොවේදැයි දැනෙන හැඟීමත් . . . සියුම් ලෙස එහෙත් සිතට දැනෙන ලෙස විස්තර කරමින් ලියූ අපූරු පොතක් . . .

මා කලින් ලියූ "සත්‍යක්‍රියාවෙන් හෙලිවූ කටුක අමිහිරි සත්‍ය" බ්ලොග් සටහනට පාදක කර ගත්තේත් මේ පොතේ තිබුනු කොටසක් . . නමුත් එය මගේ මතකයේ රැඳී තිබුනු අයුරින් ලිවූ බව එම ලිපියේ කොටසත් . . . මෙහි එකතු කර ඇති පොතින් ස්කෑන් කල ඒ අදාල පිටුවත් කියවූ පසු ඔබට වැටහෙනවා ඇති . .

මගේ අදහස නම් . . . ඔබ, මේ මා එකතු කල පිටුත් . . . එහි අන්තර්ගතය ගැන මා කල කෙටි සටහනත් කියවූ පසු මේ පොත බැලීමට ඔබට ඇතිවන ආශාව සංසිඳුවා ගැනීමට නම් ඉක්මන් නොවන එකක් නැති බවයි . . . තව දෙයක් . . . මෙම ග්‍රන්තය 2005 වසරේ හොඳම නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය පවා දිනාගෙන තිබෙනවා . . . ! ! !

එය ලියූ කතුවරයාගේ නම "සමරවීර විජයසිංහ" ඔහුගේ දුරකතන අංකය 034-2276746. යම් හෙයකින් පොත කියවා ඒ ගැන ඔබේ අදහස් ඔහුට දැන ගන්නට සැලැස්සුවොත් ඔහුගෙන් අනාගතයේදී තවත් සාර්ථක නිර්මාණයක් එලිදැක්වීම ඉක්මන් කිරීමට හේතු සාධකයක් වේවී කියා මට සිතෙනවා . .. .



Sunday, November 1, 2009

නුඹත් මාත් රේල් පීලි දෙකක් . . . ! !


නොසිතේ ද නුඹට කෙදිනක වත් . . .
නුඹත් මාත් . . . කිසිදා එක් නොවන . . .
රේල් පීලි දෙකක් මෙනැයි . . .

නමුදු නොහැක අපට කිසිදා . .
දෙමඟක ගමන් යාමට . . .
පුංචි කෝච්චියක් ඇත අප හිස් මත
ගමන් ඇරඹූ මේ දැං . .
නමුත් . . .
යාමට බෝ දුරක . . .

පුංචි කෝච්චියේ බර පමනක් නොව . . .
ඕනෑම බරක් සුන්දරයැ . . .
හැම බරකම ඇත්තේ . . .
විඳීමට ඇති සතුටක්මයැ . .
එනයින් . . . ඕනෑම බරක්,
බරක් නොවේ . . . මේ යකඩින් සැදි මට
මෙසේ සිතනා පීල්ලක් . . . . .

එපා මට . . .
පුංචි කෝච්චියේ බර හැර
වෙන එකදු දශමයක වත් . . .
බරක් . . .
නුඹත් මාත් පුංචි කෝච්චියත් හැර
අන් සියලුම බර . . .
සතුරෝමයැ . . .
දුෂ්ඨයෝමයැ . . .
මෙසේ සිතනා පීල්ලක් . . . . .

නුඹත් මාත් රේල් පීලි දෙකක් . . .
එකිනෙකා දෙස බලා සිටින . . .
කිසිදා එක් නොවන . . . ! ! !

Saturday, October 31, 2009

තව පොඩ්ඩෙන් උඹයි මායි සුනේ සුං . . . . ! ! !


අපිට එක කාලයක් "පංසල් උනක්" තිබුනා . . . ඒක උනක් කිව්වේ මේ බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔදවැඩිලා ගිය ගමනක් නොවන නිසා. එය තනිකරම යෞවනයේ පොපියන චමත්කාරයෙන් ඔකඳ වෙලා මල්සරාගේ දුන්නයි ඊතලයි සොරකම් කරගෙන, නෙත සිත බැඳුනු රූ සපු, හදවත් ආක්‍රමනය කරන්න යන සොඳුරු දඩයමේ යාමක් වැනි ගමනක් නිසාවෙන්මයි . . . (සියලුම යෞවනයෝත්, යෞවනය පසුකලෝත් මගේ මේ සඳහන් කල "උනට" සාක්ශි දරත්වා . . . )

මා කලින් ලිපි වල සඳහන් කල අක්කගේ මිතුරියන් වූ අචලා චමිලා අක්කලාත් ඔවුන්ගේ සොයුරන්වූ දිලුම් අයියාත් දිලාශ් ත් මාත් චමිලා අක්කලාගේ ඤාති සොයුරු සොයුරින් කීප දෙනෙකුත් සමඟ, අපේ ගමේ ප්‍රසිද්ධ විශාල හා පුරාන පංසල් දෙකක්ම තිබුනා වුවත් අපේ නිවෙස් වල සිට කි.මී. දෙකක් පමන දුරින් පිහිටි කුඩා පන්සලක් වූ "විවේකාරාමය" පංසලට අපි හැම පෝයටම යන්න පටන් ගත්තේ මේ "පංසල් උනේ" ප්‍රතිඵලයක් ලෙසයි . . .

එක පෝයක් නිමා වෙලා ඊලඟ පෝය එනකම් ඇඟිලි ගැන ගැන නොයිවසිල්ලෙන් බලා ඉන්න තරම් මේ "උන" උත්සන්න වෙලා තිබුනු කාල පවා තිබුනා . . .

"ඊලඟ පෝයට පංසල් යනකොට අපි කට්ටිය පාර්ලිමන්ට් බන්ට් එක පැත්තේ එකට ගිහින් ඕලු මල් කඩා එග්න එමුද . .. ?"

"නෑ අපි බෝ මළුවේ බිම එක එක හැඩේට පහන් පත්තු කරමු . . "

"අපිට මල් ගොඩාක් කඩාගන්න පුලුවන් උනොත් පංසල් එන අයට බුදුන් වදින්න නෙලුම් කොල වල දාලා මල් දෙන්නත් පුලුවන් . . "

අපේ ඔය වැනි අනාගත සැලසුම් අප සියලු දෙනාගේම නොයිවසිල්ල නොදනුවත්වම පිට වුනු අවස්ථාවන් වලට උදාහරන . . .

අනෙක් පංසල් වලට වඩා මේ "විවේකාරාමයේ" විශේෂත්වය වුනේ එකල මෙහි වැඩිපුර සිටියේ යෞවන යෞවනියන් හා තරුණ තරුණියන් වීම . . .

කෙසේ හෝ මේ පංසලට යාම් ඊම පටන් ගත් මුල් අවදියේදීම එක් රූබර යෞවනියක් මගේ නෙත් සිත් පැහැර ගත්තා . . .

ඈ මා තරම්ම පුංචි එකියක් . . . පිට මැදට වන්නට තිබූ ටිකක් ලොකු කර්ලි කෙටි කොන්ඩය ඇයට එක් කලේ අමුතුම සුන්දර පෙනුමක් . . . දුටු මුල් දිනයේදීම ඈ මා හා හොඳින් සිනා සුනා . . . ඕනෑ තරම් ගැහනු ළමුන් සමඟ චකිතයක් නැතුව කතා කරන්න බුහුටි කමක් තිබූ මට මේ ගෑනු දරුවා සමඟ කතා කරන්න වචන එකතු කර ගැනීම ඉතාමත්ම අපහසු කාරියක් වුනා . .

තවත් නෙත් හී සර පහර වල් එකක් දෙකක් මා කරා ආවත් ඒ සැම වලක්වා ඈ දෙස පමනක් අවධානය යොමු කරන්න බොහෝ අවස්ථාන් වල්දී පරිස්සම් වූවා කියා කීවොත් එය කෙසේවත් බොරුවක් නම් නොවේ . ..

ඈට තිබුනේ මුස්ලිම් නමක් . . . අපි ඈ ශබීනා කියා හඳුන්වමු . . . ඈ සිංහල මුස්ලිම් මිශ්‍ර විවාහයක ප්‍රතිඵලයක් . . මුස්ලිම් නමක් තිබුනා වුවත් ඈ පංසල් ඒම අපට කෙසේ වත් අරුමයක් නොවූයේ අපගේ තවත් ක්‍රිස්තියානි ආගමික මිතුරි මිතුරියන් පවා පංසල් යෑමත් බෞද්ධ වූ අප සමහර විටෙක පල්ලි යෑමත් වැනි හේතු නිසාවෙන්මයි . . .

දෙනෝ දාහක් සෙනග ගැවසුනු බන ශාලාවේ . . . සිත කුල්මත් කල සිලි සිලි නදින් පිරුනු බෝ මළුවේ . . . ගාම්භීර රජවරු සිටුවරුන්ගේ රූප ඇඳ, ශාන්ත බුද්ධ පිලිම නෙලා තිබූ විහාර ගේ ඇතුලත . . . මර්කරි ලයිට් එලියෙන් කිරි සුදු පාටින් දිදුලන චෛත්‍ය වටේදී . . මේ සියලුම තැන් වල මා දුටුවේ එකම එක රුවයි . . . ඒ රුව සිනහවක් පා මා අසලින් ගමන් ගන්නා සෑම වෙලාවකම මා සිටියේ පංසලට ඇතුලුවීමේ පඩිපෙල අසල තනා තිබූ මුර ගල තරම්ම ගල් වූ ස්වභාවයකින් . . .

විටෙක ඒ ගල් වූ ස්වභාවයෙන් මිදී වට පිට බැලූ අවස්ථාවක මා දුටුවේ නිතරමා මා ලඟින්ම සිටිනා මගේ මිතුරු දිලාශ් ද ගල් වී සිටි බවයි . . . ඔහුගේ නෙත් ගමන් කරනා දිසාවට නෙත් යොමු කල මට හැඟුනේ ඔහුගේ නෙත් සිත් පවා නතර වී ඇත්තේ ශබීනා අසල බවයි . . . මගේ හිතට දනුනේ හීනි ඉඳි කට්ටකින් මගේ හදවත සිදුරු කරනවා වැනි වේදනාවක් . . . එක් වරම මගේ මිතුරා ගැන මගේ හිතේ ඇති වුනේ ඊර්ෂ්‍යාවක් . . . වේදනාව ඈ මට නොලබේදෝ කියා ඇති වූ හැඟීමෙන් උපන් එකක් වූ අතර ඊර්ෂ්‍යාව ඈ මට වඩා දිලාශ්ට කැමති වීමට තරම් සුදුසු කම් දිලාශ්ට ඇති බව මට පසක් වීමෙන් උපන්නක් වුනා . .

"ඒකි මේ මුස්ලිම් කෙල්ලෙක් මචං . . ."

"ඒකි එක විදිහක බඩ්ඩක් වගේ . . . බලපන් හැමෝටම පනාව දාන හටි . . "

"දාංගලේ නම් ටිකක් වැඩී වගේ එයාට . .. "

"එච්චරම ලස්සනක් නෑ නේ බං . . . "

"ඉගෙන ගන්න එහෙම බැරි මැටි ලූක් එකක් තියෙන්නේ එයාට . .. "

ඔය වැනි බොරු හේතු කාරනා මා විසින් දිලාශ්ටත් දිලාශ් විසින් මටත් හුවමාරු වුනේ හිතේ එක් කොටසක් වසාගෙන "අනේ මූට එයාව එපා වෙනවානම් " යන හැඟීමෙන් . . .

එක් දිනක් පංසල් ගිය ගමන් අක්කලා ටික අසල නිවසක මිතුරියක් වූ ගිම්හානි අක්කලගේ නිවසට ගියේ ඉක්මනින් නැවත පැමිනෙන බව අපට පවසා . . . එදින නිදහසේ හිතේ ඇති හැඟීම් කෙසේ හෝ ශබීනා ට පවසනවා යැයි මා මගේ සිතට ශපථ කරගෙන සිටි ලෙසම දිලාශ් ත් ඉන්න ඇති බව ඔහුගේ කතා බහෙන් මට වැටහී ගියා . . .

පැමිනි මොහොතේ සිට සෙව්වේ ඈ තනිවම කතා බහට අල්ලා ගත හැකි ඉඩ හසර ගැන . . . ඈ යන යන පසුපස අප දෙදෙනාද හොරෙන් හොරෙන් පියවර නැගුවේ . . . ඒ මොහොත කොයි වේලාවේ උදා වේදෝ කියා නොයිවසිල්ලකින් . . . අවසන බෝ මළුවේදී ඈ විසින්ම ඒ මොහොත අපට උදාකර දෙනු ලැබුවා . . . වැඩිපුර සෙනඟක් නැති අවස්ථාවක් බලා ඈ හෙමින් හෙමින් අප වෙත් පිය නැඟුවේ මුවේ සිහින් සිනා රැල්ලක් රඳවාගෙන . . .

දෙමෝලෙන් පිටි කොටනවා වැනිව මේ "ඩිග් . .. ඩිග්. . .ඩිග් . . " යනුවෙන් ඇසෙන්නේ මගේ හදවත ගහෙන රිද්මයද දිලාශ්ගේ හදවත ගහෙන රිද්මයද කියා සිතන්න ඉඩ ලබා නොදී අප වෙත පැමිනි ඈ ඇසුවේ . . .

"මල්ලී . . . කෝ මධූල චමිලලා . .. ???"

"ම්ම්ම්ම් . . . . ."

"මේ . . මේ . . මේ . . "

මල්ලී . .. ?????" ඒ මොන හරුපයක් ද . . දිලාශ් ත් මාත් නිරුත්තරයි . . . .

"අද ඔයාල දෙන්න විතරද ආවේ . . ."

නැවත ඇගෙන් ප්‍රශ්නයක් . ..

"නෑ . . . මේ . . . අක්කලා . . . එහා වත්තේ . . . ගිම්හානි අක්කලාගේ . . . ගෙදර ගියා . .. "අපහසුවෙන් හෝ තටම තටම පිලිතුරක් ලබා දීමට දිලාශ්ට හැකිවුනා . ..

"හා මාත් එහෙනම් එහේට යන්නම් . .. " ඈ ඉක්මන් ගමනින් අපෙන් වෙන් වුනා . . .

දිලාශ් යි මායි එකිනෙකාගේ මූනු දිහා බලා හිටියේ "මේ මොකද්ද බං වුනේ" කියා අසනු වැනිව . ..

පංසල් ගොස් එන ගමනේ දී වීදි පහන් නොමැති එක්තරා කළුවර අඩවියකදී අපගේ කුතුහලය සංසිදුවා ගන්න අප උත්සාහ කලා . . .

"මේ අක්කේ . . . අද මාර වැඩක් වුනානේ හලෝ . . "

"මොකද්ද . . ."

"ශබීනා ඇවිත් අපි දෙන්නට මල්ලී කියලා කතා කලානේ . . . "

"මොකද්ද ඒකේ තියෙන මාර වැඩේ . . . එයා අපේ වයසේ නේ . . . "

. . . .

"මල කෙලියයි . . . . "

"තව පොඩ්ඩෙන් ඇහුවනම් එහෙම උඹයි මායි සුනේ සුං . . "

දිලාශ්යි මායි කනට කර මුමුන ගත්තා . ..

Wednesday, October 28, 2009

එපා හිරු පායන්න අදින් පසු මගේ ලොවට . . . ! (පස්වන කොටස)


මෙතෙක් කතාව . . .

ඇගේ ටීන් බුක් එකයි ඔටෝ ග්‍රාෆ් එකයි මගෙ අතට ගත්තු ගමන් මටත් නොදැනීම ගියේ මගේ නහය ලඟට . . . අලුත් පාසැල් වාරයේ දී අලුත් පොත් ගත්තු ගමන් අව්ඥානවිකවම සුවඳ බලීමට අප හුරු වී ඇත්තේ එහි ඇති නැවුම් සුවඳ විඳ ගන්න. අලුත් ඇඳුමක් ගත්තු ගමනුත් අපි ඒ දේ කරන්නේ ඒ නැවුම් සුවඳට ලෝභකමේ . . . නැතිනම් ඒ අලුත් කියන හැඟීමට එපිටින් ඇති අපටම වටහා ගත නොහැකි කිසියම් අදෘශමාන වින්දනයක්, සුවඳක් විඳින්න . .

නමුත් ඇගේ ඔටෝ එකෙයි ටීන් බුක් එකෙයි එවන් නැවුම් බවක් නැති බව දැන දැන මම නහයට ලංකරලා සෙව්වේ ඇගේ ජීවන සුවඳක්ද . . . ඒ දෙකෙන් ගලා ආවේ ඈ ගල්වන සුවඳ විලවුන වල ශේෂ වූ සුවඳක්ද නැතිනම් ඈත් මාත් අපි හැමෝමත් කුල්මත් කරවන යෞවනයේ සුවඳද . . . පොපියන චමත්කාරයෙන් ඔද වැඩුනු මල් සුවඳක්ද . . . ඒ ගැන සිතන්න වෙහෙසීමක් නොගෙන මා ඔටෝ ග්‍රාෆ් එකේ රෝස පාට, කහපාට, ලා නිල්පාට, සුදු පාට පිටු පෙරලන්න පටන් ගත්තා . . .

පිටු මැද්දේ අභ්‍යාස පොතක කොලයක් හතරට ඉරා ඒ මත යමක් සටහන් කල කෙටි ලියමනක් . . .

"නිනෙශ්, ඔයා මාත් එක්ක තරහා නැති බව මම දන්නවා . . . ! !
ඔයා මේ දෙකේම ගැහැනු ළමයෙකුගේ නමින් ලියල මට දෙන්න . . .
අපේ අක්කා හරිම ඕපස් . . . මගේ ඒවා ඔක්කොම එයා බලනවා . . .
ඔයා නිනේශි කියලා ලියන්න . . .
එතකොට එයාට හොයා ගන්න බෑ . . .
ඉමාෂා . . . “

අප අතර වචන වලින් අදහස් හුවමාරුවක් සිදු නොවුනත් අහම්බෙන් දෑස් එකෙනෙක ගැටෙන මොහොතවල් වල දෙනෙතින් අපි අදහස් හුවමාරු කරගත් බව මේ වන තුරු ඈත් මාත් හැර වෙන කිසිවෙකු නොදන්නා බැව් අප දැන උන්නා . . . එසේ අදහස් හුවමාරු කර ගැනීමේදී ඈ විසින් මට අකාරුනික ලෙස බැන වැදීම ගැන ඈ කනගාටු වන බවත් . . ඒ වරදට ඈ සමාව ඉල්ලූ බවත් . . . එය ඇගේ පමනක් නොව මගේ ද වරද බැව් මා පැවසූ බවත් . . . ඈට ඒ සඳහා සමාව ඉල්ලීමක් අවැසි නැති බවත් . . . අප අපගේ දෙනෙත් හරහා පනිවුඩ හුවමාරු කාලය තුල පසක් කර ගනු ලැබුවා . . . දෙනෙතේ කතා ඈටත් මටත් පමනක් සීමාවූ රහසක් ලෙස සුරැකීම සිතට, කුමක්දෝ නොතේරෙන සිත හිරි වට්ටන බඳු හැඟීමක්ද වූවා . .. තවදුරටත් එම කාලය හිස මත තිබූ බරක් හිසින් අයින් කල විට දැනන තරම් සැහැල්ලුවක් සිතට ගෙන ආ කාලයක් පමනක් නොව මුහුනෙන් නිතර වෙන් වී නොයන සිනහවක් පවා රැඳවූ කාලයක් වූවා . . .

“මූ නිතරම පොල්කිච්චා වගේ හිනා වෙච්ච ගමන් මයි . . . උඹේ ජීවිතේ ඇත්තෙන්ම කිසිම ප්‍රශ්නයක් නැද්ද . . ?? “සමහර විට මගේ පැත්තෙන් මගේ පවුලේ දිලිඳු බවත් . . . ඒ දිලිඳු කම නිසාම මා පෙලූ කටුක අමිහිරි සිදුවීමුත් මා මගේ මිතුරන්ගෙන් වසන් කර ගත්තේ . . . මගේ ප්‍රශ්න ඔවුන්ට පවසා ඔවුන්ගේ හිත් වලට අනවශ්‍ය බරක් පටවන්නේ ඇයි යන හැඟීමෙන් . . .

"නිතරම නිනා වෙලා ඉන්නේ හිත ඇතුලේ දුක් කන්දරාවක් තියාගෙන . . . ඒ දුකට හඬන්න බැරි තරම් කඳුළු ගල් වෙච්ච උන් කියලා උඹලා අහලා නැද්ද . .. ??" මම පවසන්නේ සිනාවෙවී නිසාම එය සත්‍යක්ද . . . විහිලුවක්ද කියා වටහා ගැනීම මිතුරන්ට අපහසු වන්න ඇති . . .

එලෙස උපකාරක පන්තියේදී මා හේතුවක් ඇතුවක් නැතුවත් නිතර සිනා මුහුනින් ඉන්නා බැවින් මගේ වෙනස පංතියේ මිතුරන්ගේ දෙනෙත් වලින් වසන් කර ගැනීම පහසු වූවත් නිවසේදී මගේ හැසිරීම් ගැන නිතර සෙවිල්ලෙන් ඉන්නා වැඩිමහල් සොයුරියගෙන් වසක් කර ගැනීම අපහසුම කාරියක් වූවා . . .

"මොකෝ" අක්කා අසන්නේ මගේ ප්‍රීතිමත් සිනා මූන ඇගේ තීක්ශන දෙනෙතින් වටහා ගන්න තැත් කරමින් . . .

"ඇයි මොකෝ . . ." මමත් පිලිතුරු දෙන්නේ බොරු තරහක් මවාගෙන . .

"මොකෝ කියල තමයි මාත් අහන්නේ . . . "

"තමුසෙ මොකෝ කියල අහන්නෙ ඇයි කියලයි මාත් අහන්නේ . . " මාත් අතහරින්නෑ

"මොකෝ මේ තමුසේ තනියෙන් හිනා වෙන්නේ . . . "

"හරි වැඩක්නේ . . . දැන් හිනා වෙන්නත් තමුසෙගෙන් අවසර ගන්න ඕනද, මම දැනගෙන හිටියේ නෑ නේ . . .! !"

"තමුසෙට ඔච්චර ඩෝං යන්න දෙයක් මම කිව්වේ නෑ නේ . . . "

"ඩෝං නෙමෙයි . . වෙනදටත් මම තමුසෙගෙන් අවසර අරගෙනද හිනා වුනේ . . . "

"හරි හරි මල්ලී . . . අපිත් ඔය පංතියේ හිටියා හරිද . . අපිටත් තේරෙනවා යමක් කමක් . . . "

"තේරෙනවා නම් මොකටද ඉතිං තවත් අහන්නේ . . . "

"මට තේරුනු නිසා තමයි මම අහුවේ . . මට ඇහිලා තියෙනවා අපේ ස්කෝලේ දහය වසරෙ කෙල්ලෝ තමුසෙ ගැන කතා
වෙනවා . . . මේ අරයගේ අක්කා නේද . . අරව මේවා . . එන්න එපා අපේ කෙල්ලන්ට සෙවල හලන්න හරිද . . ??"

"අප්පෝ . . ඕ . . . සෙවල හලන්නම වැඩේ තමුසෙලාගේ ස්කෝලේ කෙල්ලන්ට . . . කොට්ඨාශෙම රූප සුන්දරියො ටික ඉන්නේ තමුසෙලගේ ස්කෝලෙනේ . . "

"ඇයි ඇයි මොකෝ ?? අපේ කෙල්ලෝ මොකද . .?? "

"තමුසෙලාගේ ස්කෝලේ ඉන්නෙ හලෝ ගොරෝ ගොරෝ වහින වෙලාවට වදින හෙනයක් වැදියන් කියල එලියට තල්ලු කරන්න හොද ජාතියේ ඒවා නේ . . ලස්සන කෙල්ලෝ කොහෙද ඒකේ ! ! !"

"උඹ වරෙන්කෝ ඊලග පාර අපේ ස්පෝට්ස් මීට් එක බලන්න . . . ගොරෝන කොට එලියට විසිකරන්න හොඳ උන්ට කියල ඉල්ලලා දෙන්නම් මම උඹට හොඳ පරිප්පුවක් . . "

"මොකෝ මොකෝ බං මේ . . . පැනි වරෙකෙට හෙන ගහලද . . . මෙච්චර වෙලා දෙන්නා සාංගං වෙලා පොඩි එකීට තඩිබෑවා . . . දැන් උඹල දෙනා කා ගනන්වා . . " අම්මා නතර කරන තුරු අපේ වාදේ දිගටම පවතින්නේ අප මුලින් රන්ඩු වුනේ කුමන හේතුවකටදැයි ටික වේලාවකින් අපටත් අමතක වන නිසායි

මගේ සිහින ලෝකය එක්වරම බිඳ වැටුනේ කිසියම් උවමනාවකට එලියට ගොස් නැවත් අසුන් ගත් තිලංශ මගේ ඇඟේ හැපුනු බැවින් . . .

"මොකෝ මේ කොල කෑල්ලක් දිහා බලාගෙන භාවනා කරන්නේ . . . මොකද්ද ඔය . . ?"

"මේ . . . මේ . . . ඉමාෂාගේ ඔටෝ එකයි ටීන් බුක් එකයි දුන්නා මට ලියල දෙන්න කියලා . . . "

එසේ කී පසුවයි ඔහුගේ නෙතට හසුවූයේ මගේ අතේ තිබූ දේවල් . .

"ඉතිං . . "

"එයා පොඩි ලියුම් කෑල්ලක් දීලා මේකේ ගෑනු ලමයෙකුගේ නමින් ලියන්න කියලා . . "

ක්ෂනයකින් ඒ කොල කබැල්ල උදුරා ගත් තිලංශ . .

"අපිට ඕන නෑ තරහා කාරයන්ගෙන් ලියුම්" කියා එය කීතු කීතු වලට ඉරා දැමුවේ අයියෝ ඒක සිහිවටනයක් ලෙස තියා ගන්න තිබුනා නොවේද . . . අඩු තරමින් මට එක තව පාරක් වත් බලන්න තිබුනානම් නේද කියා සිතෙද්දී . .

මගේ මිතුරන් ඈ පොදු තරහකාරියක් ලෙස සිතුවා වුවත් මට හැඟුනේ ඈ මගේ හිතේ ඈ කෙරෙහි තවදුරටත් තරහක් ඇත්නම් එය නැති කර ඈ මගේ මගේ සාමාන්‍ය මිතුරියක් තරමට වත් මිතුරු කමක් ඇති කරගන්නා අදහසින් එය මට දුන් බවයි . . .

ඇගේ බැල්ම ප්‍රේමාරාධනාවක් ලෙස හෝ ඇගේ හිතවත්කම ප්‍රේමයකට අඩිතාලමක් ලෙස සිතිය නොහැකි වැනි හැඟීමක් මා ඒ වනවටත් දවමින් සිටි නිසා කෙසේ වත් මා ඈ සම්බන්දව මේ මොහොතේදී නම් ප්‍රේමයක් හෝ ආදරයක් වැනි මාතෘකාවක් මුල් කරගෙන සබඳකමක් ඇති කර නොගන්නා බවට විශ්වාසයකුත් ඒ අතරම මා විසින් මා කෙරෙහි වූ නිසා මගේ නියම සිතුවිලි වටහානොගන්නා තිලංශ කෙරෙහි වුව මට දැනුනේ සියුම් අමනාපයක් . . .

මගේ සොයුරියගේ හොඳම මිතුරිය වූ කුමුදු අක්කාගේ පුංචි අම්මාගේ දියණිය වූ රූබර "ඕලු" හා මා අතර කුමුදු අක්කාගේ බාල සොහොයුරා වූ චරිත් මල්ලීගේ උපකාරයෙන් ඇතිවන්නට ගිය . . ඇත්ත වශයෙන්ම ඇතිවී . . . පිපී සුවඳ හමන්නට පාරමී පුරාගෙන කැලයේ පීදුනු මල් පොහොට්ටුවක් මෙන් වූ අපේ පුංචි ආදරය . . . පිපී සුවඳ හමන්නටත් ප්‍රථම රුදුරු දෑතකට මැදිවී අකාලයේ පරවූවක් මෙන් . . දුප්පත් පොහොසත් කම් වලට මානුශික හැඟීමවලට වඩා වටිනාකමක් ඇතැයි සිතූ කුමුදු අක්කාගේ බලපෑමෙන් විනාශවී ඒ වන විටත් වැඩි කාලයක් ගතවී නොතිබුනි . ..

එය විශාල වේදනාවක් ගෙන දුන් වෙන්වීමක් නොවුනේ අප අතර නොබිඳිය හැකි බැඳීමක් ඇතිවන්නට ප්‍රථම එහි මුල් අවදියේදීම එය කැඩී විසිරුනු නිසාවෙන්මයි . . ඒ හේතුවෙන්ම යලිත් එවන් වෙන්වීමක් දරා ගැන්මට තරම් මගේ සිත සවිමත් නැති බව හදවතේ එක් පසෙකින් කොඳුරා කියද්දී . . . හදවතේ අනෙක් පස යලිත් එවන් සෙනෙහසක හෝ ඊට වඩා ප්‍රේමනීය සෙනෙහසක බැඳෙන්න්ට බලකරමින් සිටියා කීවොත් නිවරදියි . . .

එසේ හදවතේ සෙනෙහස ඉල්ලා කෑගසන කොටසේ මනදොල පිරීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස, සොයුරිය සමඟ ඔවුන්ගේ පාසැලේ ගැහැනු ළමෝ අඩු තක්සේරු කරමින් රන්ඩු වූවා වුවත් . . . ඔවුන්ගේ පාසැලේ මගේ සමවයසේ මානවිකාවන් අතුරින් ඕලුගේ හැඩහුරුකම් වලට සමාන, ඕලුට වඩා අහිංසක යුවතියක් යැයි හැඟුනු තාරුකා කෙරෙහි උනන්දුවක් ඇති වීම මට නොව යුවුන් වියට දඳුවම් ලබාදිය යුතු වරදක් ලෙස සිතුනු වාර අනන්තයි . . . . .

මා තාරුකා කෙරෙහි උනන්දුවෙන අතරවාරයේ දීම ඉමාශා හා මා අතරද අමනාපකම් දුරු වී මිතූකමක් ඇති වීම කෙසේ වෙතත් සතුරු කම් දුරුවීම මගේ මිතුරන් දුටුවේ මගේ සිතේ තාරුකාත්, ඉමාෂාත් අතර දෝලනය වන ප්‍රේමයක් ලෙසයි . . .

"මචං . . ඔන්න පිස්සන් කොටුවේ තද බල පිස්සු පොරක් හිටියලු . . හරිද . . " මිතුරන් කැල එකතු වී එලියේ විවේක කාල ගතරන අතරවාරයක තිලංශ පවසන්නේ මගේ දෙස හොර බැල්මක් හෙලමින් සාරංගටත් රුසිත්ටත් ඇසින් ඉඟි කරමින් . .

"ඉතින් . . "

"දවසක් ලොකු දොස්තරට ඕන වුනාලු මූව ටෙස්ට් කරන්න. ."

"ඒ මොකටද. . "

"මූට දැන් පිස්සු හොදයිද?? මූව ගෙදර යවන්න පුලුවන්ද කියලා බලන්න . . "

"හ්හ් . . ම් ම් ම්.. "

"ලොකු දොස්තරයා මූව ගෙනල්ල කිව්වලු . . . තමුසෙට දැන් සනීපයි . . . කියලා . . "

"මිනිහට හෙන හැපී වෙන්න ඇති . . "

"තමුසෙ ඉතිං ගෙදර ගිහින් මොකද කරන්න බලාපොරොත්තුව කියල දොස්තර ඇහුවලු . . "

"ජීවත් වෙන ක්‍රමේ. . ?"

"ඔව් . . මිනිහ ටිකක් කල්පනා කර කර ඉඳල කිව්වලු . . මම ගෙදර ගිහින් අඩු වියදමෙන් මී කතුරු හදන ව්‍යාපාරයක් පටන් ගනවා කියලා . . "

"දොස්තරට හරි සතුටු හිතෙන්න ඇති . . "

"ඊට පස්සේ ඇහුවලු අඩු වියදමෙන් කිව්වේ . . කියලා. . "

"පොර කිව්වලු මට ඕන කරන්නේ ලී කෑල්ලකුයි, කම්බි කෑල්ලකුයි, ඇන දෙකකුයි . . . කරවල කෑල්ලකුයි . . පොල් කෑල්ලකුයි විතරයි කියලා . . "

"දොස්තර හොල්මන් ලු යකඩෝ මේවායින් කොහොමද මී කතුරු හදන්නේ කියල . . "

"පස්සේ ඇහුවලු ඉතිං කොහොමද ඕවායින් මී කතුරක් හදන්නේ කියලා "

"මිනිහ කිව්වලු . . ලී කෑල්ලට ඇන දෙක පරතරයකින් ගහල, කම්බි කෑල්ල ඇන දෙකට ගැට ගහලා, දෙපැත්තේ කරවල කෑල්ලයි පොල් කෑල්ලයි තියනවා කියලා . . "

"දොස්තර ඇහුවලු ඉතිං මනුස්සයෝ එකෙන් කොහොමද මීයෝ මරන්නේ කියලා . . "

"පොර කිව්වලු මීයා ඇවිත් කම්බි කෑල්ල උඩ බෙල්ල තියල කරවල කෑල්ල කනවද . . පොල් කෑල්ල කනවද කියල දෙපැත්ත බල බල ඉන්නවා. . . එතකොට කම්බියට බෙල්ල කැපිලා මීයා මැරෙනවා කියලා . . "

"දොස්තර දැන ගත්තාලු මූට තාම හොඳටම පිස්සු කියලා ආ හරි හරි තමුසේ ආපහු වාට්ටුවට යනවා කියල හරෝලා යැව්වලු . . ."

"ඉතිං මචන් ඔය මීයා කරවල කෑල්ලද . . පොල් කෑල්ලද කියලා බෙල්ල කැපෙනකම් දෙපැත්ත බල බල ඉන්නේ නැතුව දෙකෙන් එකක් කෑවා නම් ඉවරයි නේද . . " සාරංග අසන්නේ මුකුත් නොදන්නා ගානට . .

"මේකනේ මචන් . . . පොල් කෑල්ල නම් පැනල දෙනවානේ . . . මීයට කලින්ම හිත ගියේ කරවල කෑල්ලටනේ . . " රුසිත් කරවල හා පොල් විශ්ලේශනයක . .

“හිත ගියේ කරවල කෑල්ලට වුනත් මීයා බයෙන් ඉන්නවානම් කරවල වල කටු තියෙයිද, පෙරේත කමට කන්න ගිහින් කරෝල කටු උගුරේ හිරවේද මරෙන්න වෙයිද වගේ කියල . . .එතකොට මොකද කරන්නේ . . “ මම හෙමීට කියන්නේ මේ කතාව මාට සම්බන්ධයක් නැති කතාවක් ලෙසට . . .

"ඉතිං දැන් තියෙන්නේ කරවල කටු ඇන ගන්න හරි කියල, ඇනිල මැරිච්චාවේ කියලා හිතල හරි කියල හිතලා කරෝල කෑල්ල කන එක තමයි" තිලංශ කථව නිමා කරන්නේ මට හෝ අපේ කාටවත් සම්බන්ධ කොට කියූ කතාවක් නොවේ යැයි හඟවන්න මෙන් . . .

තාරුකා හා සබඳ කමක් ඇති කර ගැනීමට හෝ අඩු තරමින් මිතුරෙකු ලෙස ලංවීමට හෝ ඇගේ යෙහෙලියක වූ මගේ අසල්වැසි මිතුරියකගේ සහය ලබාගැනීම හැර වෙන විකල්පයක් නොවූයෙන් මිතුරිය අත ඇයට ලිපියක් යැව්වේ ඒ වනවිට මා බලා තිබූ නවකතාවල අඩංගු ව තිබූ අලංකාරී වචනද, යොවුන් වියේ දඟකාර වචන හරඹයන් ද සමඟින් (ඔබට තිබෙන ආදරේ මම කියාලා දෙන්න . . . ) ලිපියේ ඉහලින් ගීතයක කොටසක් ද ලියා තබමින් යැවූ ලිපියට පිලිතුරක් බලපොරොත්තු වූ මට ඈ ඇතුලු ඔවුන්ගේ මිතුරින් නඩයෙන්ම ලැබුනේ ජීවිතයටම අමතක නොවන දඬුවමක් . .

මා ලිපියේ සඳහන් කල ගීතය ඈ ඇතුළු ඔවුන්ගේ සියලු මිතුරින් සියලුම දෙනා එක්වරම මා පංතියට ඇතුලු වන විටම එක වරම ගායනා කර මා කිසිදා නොවිඳි අපහසුවකට මා පත් කල පසු තාරුකා ගැන මගේ හිතේ ඉපදුනු සෙනෙහස උපන්ගෙයිම මියෑදුනු සෙනෙහසක් බවට පත්වූ හෙයින් ඉන් මතු මා ඈ දෙස බැලීම පවා නතර කිරීමට සිතුවූ සිදුවීම මා තවදුරටත් ඉමාෂාගේ නෙත් දැහැනේ ම පැටලෙන්නට ඉඩසලසා දුන් සිදුවීමක් වුනා . . .

කෙසේ හෝ අවසන මා අහස පොලොව ගැටලන්නට මෙන් කල්පනා කරමින් සිට ඇගේ සමරු පොතේ කුඩා සටහනක් තැබුවා . . .

“පුන් කලස් මතුපිට පහන් දල්වනු විලස . . .
නොනිමි පහනක් වන්න සදහට අහිංසක හදකට . . . “


මතු සම්බන්ධයි . . .

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails