Wednesday, September 21, 2016

උඹලා නැති ලොව අපිට මොකටද ?


පුතුන් දෙදෙනා මුහුදට බිලිවූ සොවින් මව සහ පියා එල්ලී මියයති
දිවයින පුවත් පත 2016 සැප්තැම්බර් 20

ලොකු පුතේ උඹ උපන් දා මට
සුරබි දේනුව වගේ දැනුනා
උදේ හවහට නමස්කාර දී
දුර්ගා දේවිට පහන් තිබ්බා

කහටෙ පෙඟවූ පාන් වාටිත්
හරිම රස යැයි අපිට හිතුනා
මනියේ සද්දෙට දුවල ඇවිදින්
කිරි තනේ උඹේ කටේ එබුවා

පොඩි පුතේ උඹේ දාංගලයට
උඩහ ගෙදරින් බැනුම් ඇහුවා
උඹේ හුරතල් කිරි හිනාවට
පපුව සතුටින් නැටුම් නැටුවා

බාර් එක ලඟ තැග් ගැහුනු පා
විදුලි වේගෙන් ගෙදර දිව්වා
තියෙන විදිහට බෙදාගෙන කා
එකට පැදුරේ තුරුළු වූවා

ඉලන්දාරින් ලෙසට යස හැඩ
හැදෙනු දැක අපි උදම් වූවා
සතුට උහුලනු නොහැකි විටකදි
සරොම් වාටියෙ කඳුලු පිස්සා

සුනිල් මල්ලී දුවල ඇවිදින්
පනිවිඩේ අපේ කනේ තිබ්බා
පපුවේ සද්දේ නතර වුනු බව
ඒ වෙලාවෙම අපිට දැනුනා

ලේන් ජෝඩුවෙ දුකට පිහිටට
සක්‍ර දෙයියෝ පිහිට වූවා
සක්‍ර දෙයියට වැඩත් වැඩි ඇති
අපිට ඒ බව දැනිලා තිබ්බා

උඹලා නැති ලොව අපිට මොකටද
පපුව පැලිලා ලේත් ගැලුවා
ගහේ කොල අතු අපේ දුක දැක
අහක බලමින් කඳුලු සැලුවා !

Pic from : http://tinybuddha.com/

Monday, September 19, 2016

වැලි කැට පුපුරන කතරේ ගිම්හානයට දිය බිඳක් !

තනි කෝටුවක් දෙකට නැමූ විට පහසුවෙන් කඩා දැමිය හැකි නමුත් කෝටු මිටියක් එසේ කැඩීම පහසු නොවේ යැයි සරල ප්‍රයෝගික උදාහරණ මඟින් පෙන්වා දී කෝටු මිටියක් මෙන් එකට බැඳී යහලු යෙහෙලියන් සමඟ සමඟියෙන් සිටින්නැයි යන පාඩම දෙමාපියන්ගෙන් අප කුඩා කල උගත්තෙන්මු.

කුරුළු දඩයම්කරුගේ දැළ් උගුලේ අසුවුනු කුරුළු රෑන එහි සිටි ඥානවන්ත කුරුළු නාම්බාගේ ගුරුහරුකම් මත සියලු කුරුල්ලෝ එක වර එකට පියඹා ගොස් ජීවිත බේරා ගත් කතා පාසලේදී හෝ දහම් පාසලේදි උගත්තෙමු.

එයින් සාමූහිකත්වයේ හැඟීමෙන් ඔද වැඩී දහම් පාසැල් සංවත්සර උත්සව, කළා උළෙලවල්, සිංහල - ඉංග්‍රීසි භාශා දින, වාණිජ දින, විද්‍යාදින, නාට්‍ය තරඟ, නැටුම් තරඟ ආදිය සාමූහිකව සංවිධානය කර සාර්ථක අවසානයන් ලැබූවන් වෙමු.

එයින් නොනැවතී සාමුහිකත්ව (Team Work) හැඟීමෙන් ඔකඳවී ගමේ යෞවන සමිතියට බැඳී දහසක් ක්‍රියාකාරකම් වල යෙදුනෝ වෙමු.

ගමේ පිංළිඳ ඉසීම, මාවතේ දෙපැත්තේ පාරට නැමුනු පඳුරු ගලවා දමා කානු සුද්ද කිරීම, ළමා නිවාස වලට දාන දීම, පෝයදාට සිල් ගන්නා ඇත්තන්ට දාන - ගිලන්පස ලබාදීම, පැදුරු පාර්ටි දැමීම, විවිධ ප්‍රසංගයේ අංගයන් ඉදිරිපත් කිරීම, අවුරුදු උත්සව සංවිධානයට උදව් ලබාදීම, වෙසල් පොසොන් උත්සව වලදී සහයෝගය දැක්වීම, දන්සල් පැවැත්වීම, ඔලුබක්කෝ නැටවීම ආදී කී නොකී දහසක් ක්‍රියාකාරකම් මේ අතර ඇත.

අප බොහෝ දෙනෙක් වර්ථමානයේ රැකියා ස්ථානයේදි හෝ සමාජීය ජීවිතයේදි ද බොහෝ සාමුහික ක්‍රියාකාරකම් වල යෙදෙන්නේ ඒ අතීත සුවඳ සිතින් මකාලීම අපහසු නිසා යැයි කීවොත් එකඟ නොවේද?

රැකියාවක් කරමින් ස්වාධීන ලෙස ජීවත්වෙන්න පටන් ගත් පසු උපයා ගන්නා දෙයින් කාබී නිදහසේ ජීවත් වීම යනු "ජීවිතය" නොවේ කියා සිතා, තම කාලය - මුදල් - ශ්‍රමය තවත් අය වෙනුවෙන් යෙදවිය හැකි අය වෙත් නම් ඔවුන් ඇත්තෙන්ම විසල් හදවත් ඇත්තෝම වෙති.

මැදපෙරදිග ජීවත්වන ප්‍රමාණ සමීක්ෂකයින්ගේ (Sri Lankan Quantity Surveyor's Association) සංගමයේ ක්‍රියාකාරීන් එවැනි විසල් හදවත් ඇත්තන් ලෙස මම හඳුන්වමි.

තමන්ගේ සහෝදර ශ්‍රී ලාංකික වෘත්තිකයින්ගේ වෘත්තීය දැනුම වැඩි දියුනු කිරීම සඳහා සම්මන්ත්‍රණ, වැඩමුලු, පාඨමාලා සංවිධානය කිරීම; ස්වේච්ඡා කතිකාචාර්‍යවරුන් ලෙස ඒවායේ දේශන සඳහා නිවාඩු දවස කැප කරමින් කිලෝ මීටර් සිය ගනන් තමන්ගේම වාහනයෙන් ගොස් තම අත්දැකීම් පිරි දැනුම ලබාදීම එසේ විසල් හදවත් ඇත්තවුන් හැර වෙන කවුරු නම් කරයිද?

මැද පෙරදිග සේවය කරන සියළුම ශ්‍රී ලාංකික පමාණ සමීක්ෂකයින් (Sri Lankan Quantity Surveyors) සාමාජිකයින් ලෙස බඳවාගන්න එම සංවිධානයේ තව බොහෝ සාමූහික ක්‍රියාකාරකම් ඇත.

වාර්ෂික ක්‍රිකට් ක්‍රීඩා තරඟ සංවිදානය; ලේ දන්දීමේ පුන්‍යකර්ම, අවුරුදු උත්සව - වෙසක් උත්සව සංවිදානය; සහ අනෙක් අය සංවිධානය කරන එවැනි කටයුතු සඳහා සාමාජිකයින්ගේ පූර්ණ සහයෝගය ලබාදීම; වාර්ෂික සුහද හමු සංවිධානය ආදිය ඒ අතර කැපී පෙනෙයි.

එක්සත් අරාබි එමීරයේ SLQS - UAEසංවිධානය විසින් එහි සාමාජිකයින්ගේ කුසලතාවන් එලිදැක්වීමට වේදිකාවක් සාදා දීම සහ නව සාමාජිකයින් හඳුනා ගැනීම සියල්ලන් අතර සුහදතාව වැඩිදියුනු කිරීම ආදී කරුනු සැලකිල්ලට ගෙන 2016 ගිම්හාන  ඍතුවේ මැද භාගය වන මේ දිනවල Mid Summer Get-together නමින් සුහද හමුවක් සංවිධානය කර ඇත.

තව දින 4කින් එය ඩුබායිහි රැඩිසන් බ්ලූ හෝටලයේ සවස 6.30සිට පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සකස් කරමින් පවතිනවා.

වාර්ෂිකව සංවිධානය කරන මේ සුහද හමුව මෙවර වෙනදාට වඩා විශේෂිත ආකාරයන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බව සංවිධායක මන්ඩලය දැනුම් දී තුබුනා.

තරු හෝටලක කෑම බීම සමඟින් වැඩිහිටියන්ට ඩිරාහ්ම්ස් 115ක මිලක ටිකට් පතක්ද අවුරුදු 12ට අඩු දරුවන් සඳහා ඩිරාහ්ම්ස් 50ක ටිකට් පතක් ලෙසද ටිකට් මිල සඳහන් වී ඇත.

මෙවර ෆේස්බුක් හරහා සාමාජිකයින්ගේ ෆොටෝග්‍රැෆි තරඟයක් මඟින් ආරම්භ කල මෙය එදිනට ගීත ගායනා, නාට්‍ය, නැටුම්, වැයුම් පිරි සුපිරි ප්‍රසංගයක් වන බව පසුගිය වසර වල මෙන්ම මෙවරද මෙම මධ්‍ය ගිම්හාන සුහද හමුවට සහභාගී වූ පිරිස සාක්ෂි දරනවා නොඅනුමානයි.

එදිනට ලබාදෙන සමරු කලාපයට සාමාජිකයින් විසින් එවන ලද කවි නිසඳැස් පෙලගැස්වීමේ කටයුතුද මේ දවස්වල සිදුවෙමින් පවතින බව දැනගන්නට ලැබුනා.

මෙම මධ්‍ය ගිම්හාන සුහද හමුවට සහභාගී වී නටන ගයන වයන මිතුරු මිතුරියන්ව දිරිමත් කරමින් ඔවුනුත් ගීගයා වයා නටා කාබී ප්‍රමුදිත වෙන්න එක්වන්නැයි එක්සත් අරාබි එමීරයේ සියළුම ප්‍රමාණ සමීක්ෂකයින්ට SLQS - UAE සංවිධානය ආදරයෙන් ආරාධනා කරයි . . !

ප්‍රසංගයට එකකල නවතම අංගයක් ලෙස මම, මගේ ප්‍රිය බිරිඳ ඇතුලු 10 දෙනෙකුගේ කන්ඩායමක්ද කපිරිඤ්ඥා නැටුමක් නටන්න බලාපොරොත්තු වන බව පවසන්නේ තුටින් !

Monday, August 29, 2016

අනුන්ගේ ලියුම් හොරෙන් කියවන්නෝ !


ඉස්සර ගෙදර ඉන්න කාලේ අපේ අම්මගේ හරිම කැත පුරුද්දක් තිබ්බා. කාට ලියුමක් ආවත් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ එයා කඩලා කියෝනවා.

අනිත් අය තදබල විරෝධයක් දක්වපු බවක් මතක නෑ - මම නම් ගේම ඉල්ලුවා.

"කවුරු එවනවද මොනව තියනවද කවුද දන්නේ" වගේ ලාචෝර් හේතු දැක්වුවාට මම නම් කියලම හිටියේ අනුන්ගේ ලියුම් කියෝන එක මානසික රෝගයක් කියලා.

අවුරුදු 13-14 යෞවන කාලේත් දහම් පාසලේ මම යාලුවෙලා හිටපු ගෑනු ළමයට වෙන එකක්  "මේ ලියුමඅන්න අරයට දෙන්න මල්ලීකියලා දුන්නු වෙලාවකත් තරහින් උනත් ඒ ලියුම කඩලා මොනවද ලියලා තියෙන්නේ කියලා නොකියවපු එකෙක් විදිහට මට සදාචාරාත්මක අයිතියක් තිබුනා කියලා මම විස්වාස කලා ඒ විදිහට කතා කරන්න.

පහුගිය ටිකේ මම පාවිච්චි කරපු HTC ෆෝන් එකේ සිංහල පේන්නේ නැතුවායින් නදීෂාගේ ෆෝන් එක ඉල්ලගෙන යාලුවෝ සිංහලෙන් ලියපු පෝස්ට් කියෙව්වේ.

ඒ වෙලාවක වුනත් ෆෝන් එකේ නොකියවපු මෙසේජ් තිබ්බත් කියවමින් ඉන්න වෙලාවක මම නාඳුනන නදීෂාගේ මිතුරෙක් මෙසේජ් එකක් එව්වත් "මෙන්න ඔයාට මෙසේජ් ආවා" කියලා ෆෝන් එක දෙන්නේ හැම දෙනාටම තමන්ගේම කියලා පුද්ගලිකත්වයක් තියෙන්න ඕන කියලා මම තදින්ම විස්වාස කරන නිසා.

කෙනෙක් කැමැත්තෙන් "මේ බලහන් මේ ලියුමේ තියෙන දෙවල්, මේ මෙසේජ් එකේ තියෙන දේවල්" වගේ පෙන්වන එක වෙනම දෙයක්. එහෙම කරනවා නම් කරන්නේ එහෙම කරන එකෙන් කිසි කෙනෙක්ට හානියක් නොවේ කියලා විස්වාසනම්නේහ්.

ෆෝන් එකකට සොෆ්ට්වෙයාර් එකක් දාන්න, නොදන්න සෙටින්ග්ස් මොනව හරි හදන්න මොකක් හෝ හේතුවකට, ඒ නැතත් ලඟම විස්වාසදායි කෙනෙක් කියල කෙනෙක්ට ෆෝන් එකක් දෙන්නේ විස්වාසයක් ඇතුව.

අර පහුගිය ටිකේ එහෙම ෆෝන් හදන්න දුන්නු කෙනෙක් ෆෝන් එකේ තිබුනු වීඩියෝ අන්තර්ජාලෙට මුදා හැරලා ඒ මිනිස්සුන්ගේ ජීවිත අන්ත අසරන තත්වෙකට පත් කලා මතකයි නේහ්.

හැබැයි ඒ සිදුවීමට විරෝධය දක්වපු ඊනියා නෝනලා මහත්වරු අතරෙත් ඇති මේ වගේ අනුන්ගේ ෆෝන් එකක් අතට ලැබුනාම අනුන්ගේ මෙසේජ් කියවන ජාතියේ උන්.

විස්වාසයක් ඇතුව කෙනෙක් තමන්ගේ අතට දුන් ලියුමක හෝ ෆෝන් එකක ඇති දෙයක් හොරෙන් කියවන ජාතියෙ අසීලාචාර කෙනෙක්ට ලබා දෙන්න ඕන දඬුවම මොකද්ද??

අම්මා, තාත්තා, සහෝදරයෝ, මිතුරෝ, නෙමේ දෙයියාන්නාසේ උනත් - ඒ සම්බන්ධය මුලු හිතින්ම අයින් කරන එක තමයි හොඳම දඬුවම කියලා මම හිතන්නේ.

Wednesday, August 24, 2016

මේ අපේ අම්මාය . !


කොතෙක් කියවීද කියවා නිමකළ නොහී කවියක් බඳු, කෙතෙක් නම් ලිව්වද ලියා නිම කල නොහැකි රචනාවක් බඳු කොටින්ම කොතෙක් සිතුවද සිතා නිම කල නොහැකි යමක් වේද ඒ නම් අම්මා මිස වෙන කිසිවක් නොවේ.

අව්වට වේලී පාට පිච්චුනු එකම චීත්තයක් සහ අවපැහැ ගැන්වුණු හැට්ටයක් ඇඳ නෙරියේ ගොටුකොළ පෙනෙල පලා සමඟින් අල්ලේ වෙරළු අහුරක්ද රඳවාගෙන හිසින් බර දරමිටියක් ඔසවාගෙන එන්නී අම්මාය.

ටයිට් ස්කර්ට් එකක් සහ පාටැති බ්ලව්ස් එකක් ඇඳ හයි හීල්ස් දෙකක් දාගෙන ලිප්ස්ටික් ගා දෙතොල්ද කියුටෙක්ස් ගා නියද ෆවුන්ඩේෂන් ගා මුහුණද පාටකර අයිෆෝනය අතකින් දරා පාටැති හෑන්බෑගයද සමඟින් කැට් වෝක් ගමනින් එන්නී වුවද මවක් නම් ඇයද අම්මාය.

කලින් සඳහන් කල අම්මාගේත් ඒ අම්මාගේත් වටිනාකම් සසඳන කල කිසිදු අඩුවක් නොවේ. අම්මා නම් අම්මාය.

නන්දා මාලනිය ගයන සේ කළුවර රෑ අහස ආලොකමත් කරන පසළොස්වක සඳක් මෙන් අපේ දිවිය එකලු කරන්නී ඇයයි. ජීවන සුවය සදන්නී ඇයයි.

වික්ටර් රත්නායකයන් ගයන සේ මහලුව මියෙන මොහොතක වුවද සිහිනෙන් ගෑ කිරි සුවඳක් මෙන් දැනෙන්නේ ආදරයේ උල්පත වූ ඇගේ ආදරයයි, දයාවයි.

දරුවන් තනන්නට පමණක් නොව දරුවන්ගේ දරුවන් පවා තනන්නට මහාපොළොව සේ දුක්ගිනි උහුලන්නී ඇයයි.

සියලු දුක්ඛ දෝමනස්සයන් සිතින් දරා සිත පතුලේ සඟවා දරුවන්ට සිනා මුහුණක් පෙන්වා සිනා නගන්නී ඇයයි.

කෑමට ඇත්තේ පීට්සාද බත්ද කුමක් වුවත් දරුවන්ට දිය හැකි හොඳම දෙයක් දී වලඳේ දංකුඩ බුදින්නී ඇයයි, පීට්සා වාටි අහුලන්නී ඇයයි.
_________________________

මාස කීපයකට පෙර මුහුණු පොතේ සරන විටෙක ගතේ හීගඩු නංවන්න සමත් අම්මා ගැන කවියක් ඇස ගැටුනේ අහම්බෙන්.

ගල්ලැහැ පන්මිටිය හුම්මේ ඔසවාන
නියරේ මාව වත්තන් කොට අල්ලාන
පිම්මේ ආපු හැටි මට මතකයි තාම
අම්මේ ඔත්පොලයි මගේ හිත හොඳටෝම

පැදුරු ආණ යටලීයේ ඔරවාන
මකුළු දැල් රටා උහුලයි කරබාන
වියපු පන් රටා පරණයි නුඹ සේම
වාටි ලිහීලා දිවියට නොදැනීම

පෑළ ආකහේ පඬු ඇඳලා මන්ද
මූණ සේම නුඹ වරුවක් ඉකි බින්ද
හීත දුරුත්තෙත් උණු කඳුලැලි මන්ද
පේන දුරක නිවනක් තාමත් නැද්ද?

මගේ දරුවන්ගේ අම්මා, අම්මාවරුන් වූ මගේ සොයුරියන්, මිතුරියන්, හිතවතියන්, ඥාතී සොයුරියන් කොටින්ම මගේ අම්මාද, නැන්දම්මාද ඇතුලු වර්ථමාන අම්මලා බොහෝ දෙනෙක් ඒ කවියේ විස්තර කරන පරිසරයක ජීවත් නොවෙනවා වුනත් අම්මලා සැමට ඒ කවියේ සඳහන් කරන කාරනා අදාලයි නේද කියා සිතුනා ඒ නිමේෂයේම.
_________________________

//ගල්ලැහැ පන්මිටිය හුම්මේ ඔසවාන
නියරේ මාව වත්තන් කොට අල්ලාන//

දරුවන්ගේ ටැබ්ලට් පීසී, ඒවායේ චාජර්, බෙහෙත්, කෑම, වතුර බෝතල්, හුළං පුරවන බෙල්ලට තබන කොට්ට, අදී සියලු සබ්බ සකලමනාව පුරවා ගත් හෑන්ඩ්බෑග් එකකත් සැමියාගේ ජීවන අරගලයට උරදෙන්න පැදුරක් වට්ටියක් වියන්න කියා එකතු කරගත් ගල්ලැහැ පන් මිටියේත් වෙනසක් ඇද්ද?

ශොපින් මෝල් එකක, මහ පාරක වේවා අත අත නෑර දරුවෝ වත්තම් කරගෙන සිටීමත් මඩ පිරුණු පටු නියරේ කුඹුරට වැටෙන්න නොදී වත්තම් කරගෙන සිටීමත් එකම නොවේද?
________________
එදාත් අදත් වෙනසක් නොමැත. තටු ලැබුණු, තටු සවිමත් වුණු කුරුළු පැටවුන් කැදැලි හැරදා පියඹා යයි.

එතැන් පටන් ඔවුන් තමන්ගේ ජීවන අරගලය සමඟ පොරබදමින් සිටිද්දී කුඩා කල ඔවුන් වෙනුවෙන් මුලු ජීවිතයම කැප කල අම්මා තාත්තා ඉඳහිටක හෝ මඟ හැරෙන්න ඉඩක් නැතිවෙයිද?

//පිම්මේ ආපු හැටි මට මතකයි තාම
අම්මේ ඔත්පොලයි මගේ හිත හොඳටෝම//

ජීවන අරගලය සමඟින් පොරබදමින් පිම්මේ දුවන ඔබට කවදා හෝ ආපසු හැරී බලන්න සිදුවෙනවා සත්තයි. එදාට ඒ මඟ හැරුණු යුතුකම් සිහිවී හිත ඔත්පලවීම කෙසේ නම් වලකාලන්නද?

සැබෑ ජීවන අරගයල පසෙකලා අනෙකාට නැති දේවල් අයිති කරගැනීමේ තරඟයක දුවන අය බොහෝ වෙත්. සතුට ඇත්තේ භෞතික දේවල් වැඩි වැඩියෙන් අත්පත් කරගන්න තරමටයි, නිවසේ තට්ටු ගාන වැඩි වෙන තරමටයි, ගරාජ් එකේ නවතා තිබෙන වාහන ප්‍රමානය වැඩි වෙන තරමටයි සිතා නොනවතින රේස් එකක දිවා රෑ පිම්මේ දුවන්නෝ නොවෙත්ද?

සැබෑ සතුට ඔවුන් පිටුපස සාක්කුවේ සඟවාගෙන සතුට කෝ කෝ කියා ඉබාගාතේ දුවන්නේ දුබල දෙමාපියන්ගේ දුක සැප බැලුවා නොබැලුවා කෙසේ වෙතත් මුනුබුරු මිනිබිරියන්ගේ බරත් අම්මාගේ උරේ එල්ලා වීම කෙතරම් ඛේදවාචකයක්ද?
___________________

//පෑළ ආකහේ පඬු ඇඳලා මන්ද
මූණ සේම නුඹ වරුවක් ඉකි බින්ද
හීත දුරුත්තෙත් උණු කඳුලැලි මන්ද
පේන දුරක නිවනක් තාමත් නැද්ද//

නමුත් දරුවන්ගේ සතුට වෙනුවෙන් මුනුබුරු මිනිබිරියන්ගේ අත්තම්මා නොව සැබෑ අම්මා වන ඇයගේ වරුවක් ලෝකෙට හොරා ඉකිබිඳ පෑල දොහේ පඬු පැහැ ආකාසේ මෙන් සෝකෙන් බර වත දකින්නේ කවුරුන්ද? කවදාද? පිම්මේ දුවන රේස් එකේදි ඇගේ තෙහෙට්ටුව ශෝකය ගැන කනගාටුවෙන්න කාලයක් කොයින්ද?

මහාපොළොව සේ සියලු දේ උහුලන ඇයට නිවනක් පේන දුරක නැත.
___________________________

//පැදුරු ආණ යටලීයේ ඔරවාන
මකුළු දැල් රටා උහුලයි කරබාන
වියපු පන් රටා පරණයි නුඹ සේම
වාටි ලිහීලා දිවියට නොදැනීම//

ශිෂ්‍යත්ව පන්ති, අපොස සාපෙළ - උසස්පෙළ පන්ති, කැම්පස් - ටෙක්නිකල් කොලේජ් මේ සියල්ල ඇය අපි වෙනුවෙන් එදා ගෙත්තම් කල පැදුරු රටා සේය. පඩිපෙළේ එකින් එක නැගගොස් ලබාගත් දැනුම සහ සහතික කේවල් කොට දරුවෝ ඉහල රැකියාවලය.

බසයෙන් බසයට මාරුවෙවී ආරක්ෂාවට අතින් අල්ලාගෙන පන්තියක් පන්තියක් ගානේ ඈ රැගෙන ගිය මතකය අතීතයට එක්වූ මතකයක් පමණක්මය. ඒවා පැදුරු ආනක එල්ලී ඇති වාටි ලිහී ගිය රටා දැමූ පැදුරු මෙනි. ඒ මතකයන්ට තවමත් වටිනාකමක් ඇතිදැයි සොයා බලන්න වත් ඉසුඹුවක් නැත.
______________________________

මාස ගණනකට කලින් ඇසගැටුණු කිවියර නයනසේන වන්නිනායක විසින් රචිත මේ කවියේ පහළින් මෙය ගීතයක් ලෙස ශාස්ත්‍රපති ලක්මිණී උඩවත්තයන් ගේ ගායනයෙන් ලඟදීම එළිදක්වන බව දන්වා තිබුණා.

දන්වා තිබූ ලෙසින්ම ශාස්ත්‍රපති ලක්මිණී උඩවත්ත ගේ ළයාන්විත කටහඬින් ගායනා කරන ගීතයේ යූ ටියුබ් වීඩියෝව ඇයගේ මුහුණුපොතේ බෙදාගෙන තිබුණායින් අසන්න ලැබුණා.

කිවියර නයනසේන වන්නිනායක විසින් රචනාකොට, විශාරද දර්ශන වික්‍රමතුංග විසින් සංගීතවත් කොට සඳරු ගමගේ ගේ නාද ශික්ෂණය සමඟින් ශාස්ත්‍රපති ලක්මිණි උඩවත්ත විසින් ගයන ඒ කෙතරම් ගැයුවත් ගයා නිමකළ නොහැකි ගීතය - "මේ අපේ අම්මාය" ගීතය අසන්න ඔබ සියලු දෙනාට මා අරාධනා කරන්නේ කඳුළු පිසින්න ලේන්සුවක්ද රැගෙන එන්නයි සිහි කැඳවමින්.

Sunday, August 14, 2016

සතුට මිසක දුක මොකටද ??


මේඛලා ගමගේ ගේ අහන් ඉන්න අහගෙන ඉන්න ගීතයේ "සතුට මිසක දුක මොකටද" කොටස හැමදාම මගේ හිත කොහේදෝ ලෝකෙක අතරමං කරනවා කියා මට සිතේ.

දෑසින් ලෝකය දකින්නට වරම් නොලද ඇය "සතුට මිසක දුක මොකටද" කියා අසන වාරයක් වාරයක් පසා මගේ හිත මගෙන් පිලිතුරක් නැති ප්‍රශ්නයක් අසයි.

කිසියම්ම වූ ශාරීරික අඩුපාඩුවක් සමඟ ලෝකයට පා තැබූ අය සියල්ලෝමත් ඒ අඩුපාඩු අමතක කොට ජීවිතයේ ගෙවෙන හැම මොහොතක්ම සතුටින් ගතකරන්න උත්සාහ කරද්දී . . . කිසිම අඩුපාඩුවක් නොමැතිව ලෝකයට බිහිවූ බොහොමයක් දෙනා නැති ප්‍රශ්න සාදාගෙන ජීවිතයෙන් සතුට බැහැර කරන්න උත්සාහ කරන්නේ ඇයි.

කිසිම වූ අඩුපාඩුවක් නැති අපි බොහෝ දෙනෙක් බොහෝ විට අඩුපාඩුවක් නැති කම ගැන වද වෙනවාද? සමහරවිට අවධානය, ආදරය හෝ අනුකම්පාවක් නැතුව ස්වාධීනව ජීවත්වීම අපහසුයි කියා සිතනවා වත්ද?

ලෝ වැඩ සඟරාවේ "පන නම් තණ අග පිණි බිඳු වැන්නේ" කියා සටහන්ව ඇත. ඒ බැව් අප බොහෝ දෙනෙක් දන්නා නමුදු එවැනි යමක් කෙදිනක වත් අසා නැත්තවුන් සේ ජීවත් වීමට අප උත්සාහ කරන්නෙමු.

අපි සෑහෙන දෙනෙක් කිසිවෙකුගෙන් නොයැපී ස්වාධීනව උපයාගෙන ජීවත් වුවත් අප අපට සරි ලෙස නොව අනෙක් උන් අපි මෙසේ ජීවත්විය යුතුයැයි බලාපොරොත්තුවේ යැයි අපි සිතා සිටින ලෙසකට ජීවත්වන්න කැමැත්තෝ වෙමු.

අපේ සතුට උන් වෙනුවෙන් අනිවාරතේ පුදකර සතුටු වෙන්න ලැබෙන අවස්ථා මඟහරිමින් ජීවත් වෙන්නෝ වෙමු. අසතුටෙන් ජීවත්වෙන්න කරුනු එකතු කරමින් සිටින්නෝ වෙමු.

බොහෝවිට සැබෑව නම් අනුන්ගේ දේවල් සෙවීම තමන්ගේ ජීවිතයේ එකම කාරිය කරගත් අල්පයක් හැරුනු කොට බහුතරයකට අනුන්ගේ දේවල් සොයමින් ඉන්න කාලයක් හෝ උවමනාවක් නැති බව අපිම අමතක කරදැමීමයි

අනුන්ගේ දෙවල් සොයන අනුන්ගේ හරි හෝ වැරදි දේට සිනාවෙන කට කැඩුනු කතා යැයි අප සිතන දේවල් කියන අය අනුන්ට නොරිදවීමේ අදහසකින් එසේ කරනවා විය නොහැකිද.

තමන්ගේ හෝ අනුන්ගේ සිනාවෙන්න ඕන දෙයකට සිනාවීමෙන් කතා කීමෙන් ඔවුන් තනිවමත් අන් අය සමඟත් ලබන්නේ සතුටක් වෙන්න බැරිද?

එසේ නම් අන් අයට සතුටක් ලබා දීම වෙනුවෙන් ඉඳහිටක හෝ තමන් කාරනාවක් වීම මහා භයානක පාපයක්ද?

උදාහරණයක් සිතුවොත් අපි සමහරු භාවිතා කරන මූනුපොතේ අපි ගිය ගමනක පින්තූරයක්, මුන ගැහුනු හිතවතෙක් සමඟ ගත් සෙල්ෆියක් පලකරන්න කලින් හිතන්නේ "දකින මිනිස්සු හිතයිද දන්නේ හැම මගුලම ෆේස් බුක් එකේ දාන පිස්සෙක් කියලා - ඔන්නොහේ ඕන්නෑ" කියායි.

එසේ නොසිතා "මගේ මූනු පොත මම කැමති දේ මම දානවා. බලන්න අකමැති අය ඉඳී නම් අන්ෆ්‍රෙන්ඩ් කරයිනේහ්" කියා සිතා තමන්ට කැමති (තමන්ට සිතෙන අයුරින් සමාජයට හෝ ලෝකයට හානියක් නැති ) දේවල් පලකරන්නෝ ඒ පලකල දේවල් වසරක් පාසා යලි යලිත් දකිද්දී ලබන සතුට එසේ නොකරන අය කෙසේ දැනගන්නද?

අනුන්ගෙන් ණයට ඉල්ලාගෙන හදිසියේ ගෙන ආවක් නොව දුක් කම්කටොලු බාදක පවා මැදින් පරිස්සමින් ගෙනයන ජීවිතයේ ඒකායන ප්‍රාර්ථනය සතුට පමනයි කියා සිතන්නෝ මෙතරම් විරල ඇයි!

ඇත්තෙන්ම සතුට මිසක දුක මොකටද කියා අපි අපෙන්ම අසා සතුට මිසක වෙන කිසිදෙයක අගයක් නැතෙයි සිතා අපි අපිට ඕන විදිහට ජීවත්වෙන්න පටන් ගන්නේ කවදාද . . ???

Pc From : www.pexels.com

Tuesday, August 9, 2016

ඇසට - ඇසක් . . . දතට - දතක් . . !


වෙලාවකට අපරාදෙත් වගේ

මයිල් කෙලින්වෙන ත්‍රාසජනක කොමෙන්ට් 

ඇඟකිලි පොලා යන වාග් ජවනිකා

මගහැරෙනවා නේද හිතුවාම

අත්හැරීම හුරුවෙලාද

මෛත්‍රී කරන්න පුරුදු වෙලාද

මොකද්දෝ මගුලකට

ඉස්සර වගේ 

ඇසට - ඇසක්, දතට - දතක් 

න්‍යායෙන් ඇරගන්න නොගිහින්

අනේ ඉතින් අපිට පාන්ද කියා

දැක්කා නොදැක්කා වගේ ඉන්න ඇහැක් වීම

වෙලාවකට අපරාදෙත් වගේ

ඒත් මේ සතුට සැනසුම

දාහෙන් සම්පතයි ඊට වඩා හා නැද්ද ?

Thursday, July 14, 2016

සඳුදා උදේ !


අඩේ අද සඳුදා, 6.50හේ බස් එකේ එයා ගියාද දන්නෙත් නෑ, අපරාදේ තව ටිකක් කලින් එන්න තිබ්බා, ප්‍රදීප්ගේ බොක්කු කට නිසා ඔෆිස් එකේ මීටින් දවස සඳුදට මම කලින් යනව කියලා එයත් දන්නවනේ. ඒ නිසා එයත් හැම සඳුදම 6.50හේ යන්න එන නිසා මම බස් එක ඇතුලේ කියලා හිතලා එයා ඒකට නැග්ගද දන්නේ නෑ

“ඕයි මෝල් . . බස් එකට නගින්නේ නැතුව මනෝ ගහ ගහ ඉන්නැතුව එල්ලියන් ෆුට් බෝඩ් එකේ. උඹේ සීන කුමාරි හන්දියේ බලන් ඇති උඹ මේ බස් එකේ එනකම්”

“නෑ බන් එයා 6.50හේ යන්න ඇති”

“මං හිතන්නේ නෑ එයා උඹව නොදැක්කොත් බස් එකට නගින්නෙ නෑනේ”

“අන්දිය බයින අය ඉෂ්ෂරාට එන්ඩෝ . . .”

“මෙහ් උඹයි මායි උඩට යමන්, බන්ඩට ෆුට් බෝඩ් එකේ ඉන්න කියමු. එයා 6.50 නොගිහින් උඹම එනකම් ඉන්නවද කියලා පොඩ්ඩක් ඇතුලට වෙලා බලන් ඉමු.”

“කෂ්ටිය ඉක්මනට බයින්ඩ බයින්ඩ . . .”

“අඩෝ අර ඉන්නේ - 6.50හේ ගිහින් නෑ, පව් ඕයි 7.10හේ ගිහින් ඉස්කෝලේ යන්නත් පරක්කු වෙනවා ඇති.”

“ඒක තමයි බන් හෙට ඉඳන් 6.50හේ එන්න ඕන . . උඹලා දෙන්නත් 6.50ටම සෙට් වෙයන් හරී.”

“අන්න බලහන් අන්න බලහන් එයා බස් එකේ නගින්නේ නැතුව ඉස්සරහ ඉඳන් පිටිපස්සටම ස්කෑන් කරනවා. මළ පෙරේතයා තෝව හොයන්න. තව පොඩ්ඩක් මට කවර් වෙයන්”

“ඕයි බූරුවෝ බස් එක අද්දන්න කලින් ඔය ජනේලෙකින් තොගේ හොම්බ දාපිය එලිය, නැතිනම් කෙල්ලට ඉකෝලේ යන්න වෙන්නේ නෑ අද . . ”

“ඒයි බන්ඩා ෆුට් බෝඩ් එකේ ඉන්නෙ නැතුව උඩට නැගලා අපි ඉන්න තැනට වරෙන්.”

“අනේ බන් බොරුවට බන්ඩාට කතා කරන්න වගේ තොගේ හොම්බ එලියට දැම්මයින් කෙල්ල නැග්ගා බස් එකට - ඔන්න එනවා ඔන්න එනවා ”

“ආව් ආව් පැනි හිනා දෙන්නගේ . . . ”

“ඕයි ප්‍රදීප් උඹේ ඔය බෝක්කුව වහගන්නවකෝ බස් එකේ මිනිස්සුත් හිනාවෙනවා . .”

“හරි හරි මම කට වහගන්නම් ඔච්චර හිනා වෙන එකේ ලව් බැලුම් දාන එකේ අදවත් කතා කරහන් බූරුවෝ ”

“කොහේ කතා කරන්නද ඕයි - ඇහෙන්නේ නැද්ද ඩහ් ඩහ් ගාන සද්දේ . . .. ”

“බන්ඩයි මායි නම් ඉස්කෝලේ යන උන් කිව්වෑකි තෝ මේ රස්සාවක් කරන එකා වෙලත්.. ”

“අනික ඒ ලමයා ස්කූල් යුනිෆෝම් එකෙන්නේ බන් . . හරි නෑනේ බන්”

“අනේ පොල් බූරුවා, මීහරකා, ගොන්වස්සා .. අනිත් උන්ගේ ලව් වලට චන්ඩියා වගේ කතා කරන  එකාට මේ තරම්ම ඕකේ එක දෙන කෙල්ලට කතා කරන්න ගට්ස් නෑනේ .. ලැජ්ජයි ඕයි . . ”

“අනුන්ගේ ඒවට කතා කලාට අපි තමා කිරිකෝඩු පොරවල් බන් . . හෙටම කතා කරනවා . .”

“අනේ උඹේ හෙට . .”
________________________________ 

සඳුදා උදේ දුර එද්දී මා - වැට ගාව ඔබ ඉන්නවා
රහසින් බලා නොකියා කියූ - ඔය රහස මම දන්නවා
සඳුදා ඉඳන් හැමදා උදේ මග මම් බලා  ඉන්නවා
සුරතල් මුවේ හිරිමල් හිනා දෙනදාක පිලිගන්නවා.

පාසල් වියේ පුංචි අපි නම් අනේ
අඳුන්නන්නේ නෑ ආදරේ
ඔබමයි හිතින්  ඉඟි පා නෙතින්
පවසන්නේ ප්‍රේමාදරේ

මේ ගේ ලඟින් යද්දී පැටලෙයි දෙපා
නුහුරුයිනේ මට ආදරේ 
කිරිකෝඩු මං මේ පෙම් රටේ
අපි තාම පොඩි උන් වගේ . .

සඳුදා උදේ දුර එද්දී මා . .

ගායනය - නිරන්ජලා සරෝජනී සමඟ ජාලිය රණතුංග



Pic From : colorful.bigbangfish.com

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails